හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය ගැන සොයා බලමු


පිහිටීම හා ස්ථාපිත කිරීම

නුවරඑළිය - පට්ටිපොළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 32ක් පමණ පැමිණීමෙන්ද, හපුතලේ ඔහිය මාර්ගය ඔස්සේ කිලෝමීටර 38ක් පැමිණීමෙන්ද හෝර්ටන්තැන්නට පිවිසිය හැකිය.
ක්‍රි.1969 දෙසැම්බර් 05 දින දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි විශාලත්වය හෙක්ටයාර 3,160 වේ. (වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්ෂිත බිම් ලැයිස්තුගත වාර්තාව)

භෞතික හා දේශගුණික ලක්ෂණ

හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර 2,300ක් උසින් පිහිටයි. වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 15ක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2,540 පමණ වේ.
උසම තැනිතලා ප්‍රදේශය වන හෝර්ටන් තැන්නේ කිරිගල්පොත්ත(මීටර 2,398), තොටුපළ කන්ද(මීටර 2,351) වේ පිහිටා ඇත. වළාකුළු වනාන්තර, ලෝකාන්තය, දිය ඇළි වන බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල මෙහි ඇති දර්ශනීය ස්ථාන වේ.
අධික සුළං හේතුවෙන් මෙම ශාක නිදහසේ නොවැඩෙයි. එබැවින් කුරුවී ඇත. හෝර්ටන් තැන්නේ වනාන්තරය ඇතුළත වාතය වැඩි සිසිල් බවකින් හා වැඩි ආර්ද්‍රතාවයකින් යුක්තය. මෙහි ඇති ශාකවලින් සෙවණ සලසා දෙන අතරම එබැවින් තණ බිමේ සිට වනාන්තරයට ඇතුළු වූ සැණින් සිසිලක් දැනෙන අතරම ජල වාෂ්ප රඳවා ගනිමින් හිරු රශ්මියෙන් පොළොව ආරක්ෂා කිරීමටත් උපකාර වෙයි.
මෙම භූමියෙන් මහවැලි, වලවේ, කැළණි යන ගංගාවල ශාඛාවන් වන බගවන්තලාව ඔය, බෙලිහුල් ඔය, ආගර ඔය ආරම්භ වේ.

ශාක විවිධත්වය

එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් සෑදුණු සංකීර්ණ පරිසර පද්ධතියකි. කඳු හා නිම්නවලින් සෑදුණු මෙම පරිසර පද්ධතිය අර්ධ ඝර්ම කලාපීය පරිසර පද්ධතියකි. මෙහි තෙත් සදාහරිත වනාන්තරද පවතියි.
 හෝර්ටන් තැන්නේ වනාන්තර ඇතුළත අඳුරු ස්වභාවයක් උසුලන අතර ශාක ආලෝකය ලබා ගැනීම සදහා තරඟ වදියි. ඒ සදහා පොළොව මත නොවැඩී ශාක මත වැඩෙන අපි ශාක හෝ උඩවැඩියා විශේෂ හදුනාගත හැකිය. මෙම ශාකවලට වෙනත් ශාක මත වැඩීම නිසා ජලය ලබා ගැනීමේ දුෂ්කරතා පවතියි.
හෝර්ටන්තැන්න පුරා අපි ශාක බහුලව පැවතීමට හේතුව වළාකුළු මගින් ඒවාට අවශ්‍ය අධික ජල සැපයුමක් ලබාදෙන බැවිනි. කාෂ්ඨාරෝහක ශාක හෙවත් මුල් පොළොව මත පිහිටි නමුත් වෙනත් ශාකයක ආධාරයෙන් ඉහළට එතී වැඩෙයි.
නිරන්තරයෙන් පරිසරයේ දැකීමට නොහැකි ශාක විශේෂ කිහිපයක්ම හෝර්ටන්තැන්නේ දැකිය හැකිය. එවැනි වඩාත් කැපීපෙනෙන ශාක විශේෂයක් වන රොඩෝඩෙන්ඩ්‍රන් ශාකය(Rhododendron arboretum) මහරත්මල් යනුවෙන් හදුන්වයි. අප්‍රේල් සිට ජුලි මාසය දක්වා මෙම රතු පැහැයෙන් දැකිය හැකිය.
මෙයට අමතරව කීන, වල්කදුරු, බිනරමල්, වල්කපුරු, මහ මීවන, බෝවිටියා, නෙළුද, වගුරු බිම්වල කුරු උණ(Arundinariadensi folia) දැකිය හැකිය.

ආක්‍රමණික ශාක විශේෂ

හෝර්ටන්තැන්න පුරා ආක්‍රමණික ශාක විශේෂ දෙකක් පැතිර තිබෙනු දැකිය හැකිය.
1) කහ පැහැති මල් හටගන්නා පඳුරු විශේෂයක් වන Eulax ශාකය
2) වරැල්ල යනුවෙන් හදුන්වන දීප්තිමත් කොළ පැහැයෙන් යුතු පර්ණාංග ශාකයකි.

මෙකී ආක්‍රමණික ශාක දෙවර්ගයම ශාක දෙවර්ගයම දේශීය ශාක විශේෂයන්ට තර්ජනයක් වෙමින් භූමිය පුරා පැතිරෙයි. මෙම ආක්‍රමණිකයන් පාලනය කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
යුලෙක්ස් ශාකයේ ඉතා තියුණු කටු පවතින බැවින් මල් වල පැණි බීමට ඇදෙන මී මැස්සන්ගේ විලෝපිකයන් වන කළු කොපුල් කටුස්සන් සහ උකුස්සන්ගෙන් ආරක්ෂාව ලැබීම නිසාද යුලෙක්ස් ශාකයේ පරාගණය වේගවත්ව සිදුවේ. එබැවින් මෙම ආක්‍රමණික ශාකයන් පැතිරීම වේගවත්ව සිදුවෙයි.
හෝර්ටන්තැන්නේ සෑම වසර 07 සිට 12 දක්වා කාලයකදී අපූර්ව සුන්දරත්වයක් ඇති කිරීමට හේතුවන, රෝස-දම්, නිල් පැහැයෙන් අලංකාර ලෙස නෙලූ මල් විකසිත වෙයි. ඉතා කෙටි ජීවිත කාලයක් සහිතව පිපෙන මෙම නෙලු, මල් දරා බීජ හටගැනීමට වසර 08ක් 11ක් පමණ ගතවෙයි.

සත්ත්ව විවිධත්වය

පක්ෂීන් මගින් පරාගණය වේ. ආවේණික පක්ෂීන් විශේෂ 14ක් හමුවේ. එබැවින් හෝර්ටන්තැන්නේ මල් ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වන ශ්‍රී ලංකා සිතැතියා(Zosterops ceylonensis), ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා(Pycnonotus pennicillatus), ශ්‍රී ලංකා නිලන මැසිමාරා(Eumyias sordids) ශ්‍රී ලංකා වන රැවියා(Bradypterus palliseri) වැනි පක්ෂි විශේෂ දැකගැනීමට හා උන්ගේ හඩ ඇසීමට සුදුසුම ප්‍රදේශය හෝර්ටන් තැන්නයි. ගෝන රංචුද, දිවියා, වදුරා, වැලි මුවා, දඬුලේනා, බළල් දිවියා, හාවා වැනි ක්ෂීරපායින් හමුවෙයි.
දේශීය කුරුලු විශේෂ 50ක් ද, සංචාරක කුරුල්ලන් 11ක්ද ඇත. එමෙන්ම සමනළ වර්ග හා ආවේණික උරග විශේෂයක් වන අං කටුස්සා ද හමුවේ.(ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන,ටී.බී.අරංගල්ල,2004)
ශ්‍රී ලංකාවට ආවේණික වදුරු විශේෂයක් වන වලස් වඳුරා(Trachypithecus vetulus monticola) මෙම වනාන්තරවලදී දක්නට ලැබෙයි.
(Image Source: www.dreamislandtravels.com)

ක්‍රියාකාරී වළාකුළු වනාන්තර

මෙම වනාන්තර ලොවේ ඉපැරණිම වනාන්තරවලින් පැවත එයි. වසර මිලියන ගණනාවකට ඉහතදී ඇන්ටාර්ක්ටික් මහද්වීපය සමගින් ශ්‍රී ලංකා මහද්වීපය බැඳී පැවතුණු අතර මහාද්වීප තල පාවීමේ ප්‍රථිපලයක් ලෙස මෙම භූමිය සමකයෙන් උතුරට ගමන් කර ආසියාව හා නොගැටී පැවතියේය. එබැවින් ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය කඳු මුදුන්වල අදටත් නොනැසී පැවතීම තුළින් අතීතය හා පවතින දිගු සම්බන්ධතාවය පැහැදිලි කරයි. හෝර්ටන් තැන්නේ වළාකුළු වනාන්තර ලොවේ ඉපැරණිම වනාන්තරවලින් පැවත එයි.(වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හෝර්ටන්තැන්න කාර්‍යාලය)
හෝර්ටන් තැන්න ක්‍රියාකාරී වළාකුළු දැකගැනීමට ඇති සුදුසුම ස්ථානයයි. කඳුමුදුන්වල පහළ මට්ටමේ සිට ඉහළ නගින ජලවාෂ්ප රැගත් උණුසුම් වාතය කඳුමුදුන්වල ගැටී ඝනීභවනය වී වළාකුළු බවට පත්වන අතර වළාකුළු සවස් කාලයේදී කඳු ආවරණය කර ගැනීමෙන් වැස්ස ඇතිවේ.
ලෝකාන්තයේදී මෙසේ ඝනීභවනය වී ජලවාෂ්ප, ජලබිංදු වශයෙන් ශාක දිගේ වෑස්සීම සිදුවෙයි. මෙම ජල බිංදු වෙනත් ශාක මත වැඩෙන ශාක වර්ධනයට උදව් දෙන අතර මෙවැනි ශාක පිහිටීම හේතුවෙන් මෙම ශාක විසින් ජලය රදවා ගන්නා බැවින් මෙම ජලය පසට ලබා දීමෙන් ජනාවාස පෝෂණය කිරීමට වැදගත් වන ගංගා නිර්මාණය කරයි.

හෝර්ටන්තැන්නේ සුන්දර ස්ථාන


ලෝකාන්තය


මීටර 870ක් පමණ පහළ බෑවුමකි. එහි පහත බැලූවිට තේවතු යායක්ද උඩවලව ජාතික උද්‍යානය පෝෂණය කරනු ලබන්නා වූ වලවේ ගඟට දිවෙන කිරිකැටි ඔය දැකගත හැකිය. එමෙන්ම පරිසරය පැහැදිලි දිනයන්හිදී ඈතින් මුහුදද පෙනෙයි.

බේකර්ස් ඇල්ල

මනස්කාන්ත සිසිල් දිය බිඳිතිවලින් ඉවුරු අද්දර පෝෂණය වන අතර මෙම තෙතමනයට ලොල්වූ පාසි ඇල්ගී වැනි ශාක ප්‍රජාවන් මගින්ද මෙම භූමිය සශ්‍රීක වේ.
මීවන ශාකද ආවේණික කුරු කටුස්සන්ද මෙහිදී දැකගත හැකිය. මෙම දිය ඇල්ල මගින් බෙලිහුල් ඔය පෝෂණය කරයි.

(මෙම ලිපිය උපුටා ගත්තේ ජෛව විවිධත්ව ලේකම් කාර්‍යාලය,මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය-ජෛව විවිධත්වය හා බැදුණු රක්ෂිත බිම් කෘතිය අසුරෙන් බව සලකන්න)

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න


මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට පහතින් Facebook,Twitter,Google Plus වලට බෙදාගන්න )

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි