ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස් ගේ කතාවයි මේ




1400-1500 කාලය වන විට යුරෝපය තුළ බොහෝ දාර්ශනිකයන් මෙන්ම ගණිතඥයන්ද බිහිව තිබිණි. ඔවුන් විසින් ලෝකය පිළිබද නොයෙකුත් අදහස් හා මතවාද ඉදිරිපත් කළහ. ඒ වන විට යුරෝපීයෝ ආසියාවට පිවිසීමට නොහැකිව එක් අතකට අතරමං වී සිටි බව කිවහොත් වරදක් නැත. මේ නිසාම ඔවුන් ආසියාවට පිවිසීමට හා නව යටත් විජිත සොයා යෑමට පුරුදුව සිටියහ. මෙකල ලෝකය පිළිබදව දාර්ශනිකයන් විවිධ මත පළ කළ නිසාම සාගරය තරණය කොට මේ ලෝකයේ ඇත්ත කුමක්ද සෙවීමට මිනිසුන් යොමු කළා කිවහොත් නිවැරදිය. මේ සදහා රාජ්‍ය අනුග්‍රහය පවා හිමිවූ අතර, එහිදී පෘතුගාලය හා ස්පාඤ්ඤය යන රටවල් පෙරමුණ ගත්හ.

ස්පාඤ්ඤයේ උපන් ක්‍රිස්ටෝපර් කොළොම්බස් ද මේ ලෝකය තුළ ඇත්ත කුමක්ද සෙවීමට යොමුවූ දේශගවේෂකයෙකි. 1451දී උපත ලැබූ කොළොම්බස්ගේ පියා වෘත්තීයෙන් රෙදි වියන්නෙකු වූ නිසා ඔහුද සිය පියා සමග එක්ව කර්මාන්තය දියුණු කරමින් ජීවත් වූයේය. මූලාශ්‍ර ඔහුගේ කුඩා අවදිය පිළිබඳව සඳහන් නොකරයි.

මූලාශ්‍ර සදහන් කරන අන්දමට ඔහු කුඩා කළ ඉතා දිළිදුව සිටි බවත්, බාල වියේදීම මුහුදු ගමන් යෑමට ඇලුම් කළ බව සදහන් වේ. නාවික ශිල්පය හා මුහුදු ගමන් පිළිබඳව පොත් පත් කියවූ නිසාම කොළම්බස්ගේ සිත ඒ දෙසට යොමු වූ අතර යුරෝපයේ සිට බටහිරට යාත්‍රා කිරීම තුළින් ඉන්දියාවට මෙන්ම වෙනත් පෙරදිග රටවලට ඉතා ඉකමනින් යාමට හැකිවේ යයි යන්න ඔහු එකල විශ්වාස කළේය.

එකළ විසූ මිනිසුන්ගේ දැනීම් හා සිතුවිලි නිසා සමහර උගතුන් මෙන් කොළම්බස්ගේද විශ්වාසය වූයේ පෘථිවිය පැතලි එකක් නොව ගෝලාකාර එකක් බවයි. කෙසේවෙතත් ලෝකය කෙතරම් විශාල දැයි ඔහු දැන සිටියේ නැත. හෙතෙම මුහුදු ගමනින් නව ගොඩබිමක් සොයාගත්තද ආසියාව ඊට සැතපුම් දහස් ගණනක් ඈතින් බව ඔහු එකල දැන සිටියේ නැත. මේ නිසාම ඔහුගේ අභිප්‍රාය වූයේ බටහිරට යාත්‍රා කොට පෙරදිගට පැමිණීමට අළුත් මගක් සොයා ගැනීමයි. මෙහිදී ඔහු මුහුණ පෑ බැරෑරුම්ම ප්‍රශ්නය වූයේ අවශ්‍ය මුදල්, නැව්, නාවිකයන් හා ආහාරපාන ආදිය ලබා ගැනීමයි. ඒ සදහා ඔහු මුලින්ම ජිනීවා නගරයේ ධනවතුනට සිය සැලැස්ම ඉදිරිපත් කල විට ඔවුන්ගෙන් ලැබුණේ අයහපත් ප්‍රතිචාරයකි.

එයින් නොනැවතුනු ඔහු සිය අදහස පෘතුගාලයේ රජු වෙතද ඉදිරිපත් කළ මුත් එහිදීද ලැබුණේ සතුටුදායක නොවන ප්‍රථිපලයකි. පසුව එංගලන්තයේ හත්වන හෙන්රි රජතුමාටද සිය අදහස ඉදිරිපත් කළ මුත් ලැබුණේ අයහපත් ප්‍රතිචාරයකි. මෙලෙස කෙතරම් බාධක පැමිණියද කොළොම්බස් සිය උත්සහය අත්හැරියේ නැත.
පසුව ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩි රජතුමා හා ඉසබෙලා රැජින හමුවූ කොළොම්බස් සිය අදහස ඔවුන් වෙතද ඉදිරිපත් කළේය. නමුත් මේ වන විට ස්පාඤ්ඤ රජු යුද්ධයක පැටලී සිටි නිසාම එම ඉල්ලීමද කිහිප වරක්ම ප්‍රමාද විය. මේ අතර ඔහුට වෙනත් බාධක කිහිපයකටද මුහුණ පාන්නට සිදුවිය. එකල ස්පාඤ්ඤයේ පැවැති මුදල් හිඟයත්, රජවාසල අමාත්‍යවරුන් ඔහු කෙරේ දැක්වූ ඊර්ෂ්‍යාවත්, ෆර්නැන්ඩි රජතුමා මේ වෑයමේ සාර්ථකත්වය කෙරේ දැක්වූ සැකයත් ඒවා අතර ප්‍රධාන වූයේය. අවසානයේදී ඉසබෙලා රැජින ඔහුගේ යෝජනාව පිළිගෙන ඔහුට උදව් කරන්නට කැමැත්ත පළ කලා සේම අවශ්‍ය මුදල් ලබා දීමට සිය ආභරණ පවා උකස් තැබීමට කැමැත්ත පළ කල බව මූලාශ්‍ර සදහන් කරයි.


කොළොම්බස් හා ඔහුගේ නැව් 


            1492 අගෝස්තු 3 වන සිකුරාදා දින කොළොම්බස් ස්පාඤ්ඤයේ කේඩිස් වරායෙන් සිය ඓතිහාසික ගමන ආරම්භ කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 41 විය. මේ ගමන සදහා රජතුමා නැව් 3 ක් යෙදවීය. ඉන් විශාලතම නැව වූ ශාන්ත මරියා ටොන් 100 බර වූවකි. එහි නෞකාධිපති වශයෙන් කොළොම්බස් ක්‍රියා කළේය. ටොන් 50 ක් පමණ වූ පින්ටා නමැති නැව ඇලන්සෝ පින්සන් භාරයේද, ටොන් 40ක් වූ නීනා, පින්සන්ගේ සොහොයුරා වූ වින්සන් පින්සන් භාරයේද යාත්‍රා කෙරිණි. නැව් 3 ම නාවිකයෝ 100ක් පමණ වූහ.

තෙරක් නොමැති මහ සයුරේ ගමන් ඇරඹූ ඔවුහු, නැවක් අළුත්වැඩියා කරගැනීමටත්, අවශ්‍ය වෙනත් ආහාර හා ජලය ලබා ගැනීමටත් මසක පමණ කාලයක් කැනරින් දූපතේ නැවතී සිටියහ. ඉන්පසු යළි ගමන් අරඹා මහා සාගරයේ බටහිර දෙසට යාත්‍රා කරන්නට වූහ. මෙසේ දින 21ක් ගමන් කළද ගොඩබිමක සේයාවක්වත් නොදුටු හෙයින් සමහර නැවියන් ගොඩබිමක් නැතැයිද සිතූහ. මෙසේ ගමන් කිරීමෙන් පැතලි පෘතුවියේ අවසානයේ ඇති මහා පාතාලයකට ඇද වැටිය හැකියැයිද බියෙන් පසු වූහ. ආපසු නොයන්නේ නම් මුහුඳට ඇද දමා හෝ ආපසු යන බවට තර්ජනය කළහ.

            එහෙත් කොළම්බස් ඒ කිසිවකට නොසැලුණේය. ඔහුට සහයට පින්සන් සොහොයුරන් හා තවත් කීපදෙනෙක් වූහ. එය කොළොමබස්ට මහත් ධෛර්‍යයක් විය. මෙසේ යාත්‍රා කරන විට මුහුදේ පාවෙන වියළි පරඬලාද අහසේ පියාසර කරන මුහුදු ලිහිණියන්ද දැකීමෙන් ධෛර්‍යයමත් වූ නැවියෝ තව තවත් ඉදිරියටම යාත්‍රා කරන්නට වූහ. සතුටට පත් කොළොම්බස් ප්‍රථමයෙන් ගොඩබිම දුටු තැනැත්තාට තෑග්ගක් දෙන බවට ප්‍රකාශ කළේය.



            1492 ඔක්තෝබර් මාසයේ එක් රාත්‍රියක ඉතා ඈත දිලෙන පහන් ආලෝකයක් කොළම්බස් දුටුවේය. ඊට පසු දින එනම් 1492 ඔක්තෝබර් 12 වන දින අළුයම පින්ටා නැවේ සිටි රොඩ්‍රිගූද ක්‍රියානා නම් නාවිකයාට පළමුවෙන්ම ගොඩබිමක් දිස් විය. හෙතෙම සෙසු නාවිකයන්ටද එය දන්වා කාල තුවක්කු වෙඩි හඩකින් අනෙක් නැව් දෙකට දැනුම් දුන්නේය. නැවියෝ සතුටින් ඉපිල ගියහ. ඒ අවස්ථාවේ පළමුවෙන්ම දුටු ගොඩබිම ඇමරිකා මහද්වීපයට අයත් කුඩා දූපතකි. කොළොම්බස් හා ඔහුගේ නාවිකයෝ එම දිවයිනට ගොඩ බැස දණින් වැටී දෙවියන්ට යාඥා කළහ. ස්පාඤ්ඤ ධජය එසවූහ. එම දිවයිනට ශුද්ධ වූ ගැලවුම් කරු යන අර්ථය ඇති “සැන්ට් සැල්වදෝර්” යන නම තැබූහ. එම දිවයිනෙන් නික්මූණු ඔවුහු කියුබා දිවයිනටද, එස්පැනියෝලා නමින් හදුන්වන දිවයිනටද යාත්‍රා කළෝය. මෙම දිවයින් ඉන්දියාවට නුදුරුව පිහිටී යැයි සිතූ කොළොම්බස් එම දිවයින්වල වැසියන් සමදේශිකයන්, ඉන්දියානුවන් යැයි සිතූහ. කැරිබියන් මුහුදේ පිහිටා ඇති මේ දූපත් බටහිර ඉන්දියානු දූපත් වශයෙන් අද ව්‍යවහාර වේ.

1493 මාර්තු 15 වන දින නීනා නැවේ ගමන්ගත් කොළොම්බස් සහ නැවියෝ ස්පාඤ්ඤයේ පැලෝස් වරායට සේන්දු වූහ. රටවැස්සෝ ඔවුන් මහත් හරසරින් පිළිගත්හ. මේ නැවියන් ලබාගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පිළිබඳව අතිශයින් ප්‍රීතියට පත් ෆර්නැන්ඩි රජ හා ඉසබෙලා රාජණිය ඉතාමත් උසස් රාජ්‍ය ගෞරව දක්වා, ස්පාඤ්ඤයේ වංශවතෙකුට ලැබෙන උසස් පදවියකින්ද බොහෝ වස්තුවෙන්ද කොළොම්බස් පුදනු ලැබීය.

ක්‍රිස්ටෝපර් කොළොම්බස් නැවත 1492, 1493, 1498, 1502 යන වර්ෂවල බටහිර දෙසට යාත්‍රා ගමන්හි යෙදුනේය.

(උපුටා ගැනීම - ලොවේ ශ්‍රේෂ්ඨයෝ - කේ.ආර්.ආරියසිංහ)



ඔබගේ දැනුම වැඩි කරගැනීමට අපගේ අනෙකුත් ලිපිත් කියවන්න



(මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට හැකිතරම් Facebook,Twitter,Google Plus වලට පහතින් share කරන්න)



Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි