ක්‍රිඩාවල බිහිවීමට අදාල අපූරු ඉතිහාසය සොයා බලමු


පෙරළි මැදින් පෙරට ආ ක්‍රිකට්


            ක්‍රිකට් ක්‍රීඩාවේ උපත පිළිබඳව නිත්‍ය සටහනක් නැත. මධ්‍යතන යුගයේදී එංගලන්තයේ භාවිතා වූ “ක්‍රිකෙ” යන දණ්ඩ, පොල්ල යන අර්ථයක් දෙන වචනයෙන් සෑදුණු වචනයක් ලෙස ක්‍රිකට් සැලකේ. 13 වන ශතවර්ෂයේ සටහනක පිත්තකින් හා බෝලයකින් ක්‍රීඩා කරන මිනිසුන් දෙදෙනෙකුගේ රූප සටහනක් හමුවී ඇත.

            ක්‍රිකට් පිළිබඳව නියමිත සටහනක් පළවැනි එඩ්වඩ් රජුගේ මාළිගයේ විය හියදම් වලට ඇතුළත්ව ඇත. වේල්ස්හි කුමාරයාට “ක්‍රියේග්” සදහා වූ වියදම් එහි දක්වා ඇත. මීට ශතවර්ෂ දෙකකට පසු 1550 ගණන්වල ක්‍රිකට්(Crickett) ගිල්ෆඩ් නිදහස් පාසලේ ක්‍රීඩා කළ බව සදහන් වේ. ක්‍රිකට් යන්න ලියා ඇත්තේ අමුතු විදියකට බව ඔබට පෙනෙනු ඇත. එම යුගයේ ක්‍රිකට් පිත්ත හොකී පිත්තක් මෙන් අග මදක් වක්ව තිබුණි. විකට්ටුවට තිරස්ව එය ඇල විය යුතුවිය. කඩුල්ල වූයේ පිටියේ වූ වලකි. ක්‍රීඩකයෙකු දවාලිය හැක්කේ දෙවිධියකටය. දුවද්දී හෝ උඩ පන්දුවක් ඇල්ලීමෙන් පමණි. පසුකාලයේ කඩුල්ල වෙනුවට භාවිතා කළ වළ වෙනුවට ඉණි දෙකක් පමණක් සිටුවන ලදී. ඉණි දෙක අතරින් බෝලය ගියත් ක්‍රීඩකයා දැවී ගියේ නැත. දැවීමට නම් ඉණි දෙකෙන් එකක හෝ ඒවා මත තිබූ හරස් ලී කැබැල්ලේ පන්දුව වැදිය යුතු විය. පන්දුව අත යටින් බිම දිගේ යවනු ලැබිණි. ඒ වේලාවේ සිටින සංඛ්‍යාව අනුව පිළේ ක්‍රීඩක සංඛ්‍යාව නියම විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශයින් වැදගත් පියවරක් තැබූයේ 1744 දීය. මෙම වසරේදී එතෙක් නොතිබුණේ යැයි සිතිය හැකි නීති රීති නිසි අයුරින් සකස් කෙරුණි. 1775දී තවත් ඉන්නක් මැදට එක්කරනු ලැබිණි. මෙයට හේතුව වූයේ හැම්බල්ඩන්හි පස්දෙනෙකුද හා කෙන්ට්හි පස් දෙනෙකු අතර තරගයේදී කෙන්ට්හි ස්ටීවන්සන්ගේ පන්දු කිහිපයක්ම ජෝන් ස්මෝල්ගෙන් මග හැරී ඉණි දෙක අතරින් යාමයි. එය මහත් අසාධාරණයක් සේ කවුරුත් දුටහ. මෙය මැද ඉන්න යෙදීමට හේතු විය. ස්ටීවන්සන්ගේ පන්දුවලට වකුටු පිත්තෙන් පහරදීම අසීරු විය. 1786දී තෝමස් ලෝඩ් මුල්ම ක්‍රිකට් පිටිය විවෘත කළේය. 1787දී ඇම්.සී.සී සමාජය ඇරඹුණි. 1788 දී ක්‍රිකට් නීති යළි සැකසුණි.


වර්තමාන ලෝඩ්ස් පිටිය 


            1808 ලෝඩ් තම පිටිය නෝත් බෑන්ක් වෙතත් ඉන් වසර හයකට පසුව සෙන්ට් ජෝන්ස් වූඩ් වෙතත් ගෙන යන ලදී. අද ලෝඩ්ස් පිටිය ඇත්තේ එතැනය. 1828දී අත කරකවා පන්දු යැවීම නීතිගත කෙරුණි. ඒත් අත එසැවිය හැකි වූයේ වැලමිටේ ප්‍රමාණයට පොළොවට සමාන්තරවය. 1835දී අත උරහිසට උඩින් ඔසවා පන්දු යැවීමට අවසර දෙන ලදී. අවසාන වශයෙන් 1862දී අද පවතින තත්වයෙන් පන්දු යැවීම නීතිගත කෙරුණි. 1846දී එංගලන්ත කණ්ඩායමක් සකස් කෙරුණු අතර ජෝන් විස්ඩන් එයට ඇතුළත් විය. 1848 සිට 1859 දක්වා කාලය තුළ විකට් 2707ක් ගනිමින් ඔහු එම යුගයේ හැටියට පන්දු යැවීමෙන් අසීමිත දස්කමක් පෙන්වා ඇත. විස්ඩන් අද ලෝක ප්‍රකටව ඇත්තේ ඔහු ඇරඹූ ක්‍රිකට් පිළිබඳව විස්තර ඇතුළත් වාර්ෂික ප්‍රකාශනයක් වන විස්ඩන් ක්‍රිකට් ඔල්මැනක් නිසාය. අද පවතින අන්දමින් පන්දු යැවීම නීතිගත කළ වසරේම ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතයත් වර්තමානයත් යා කළ ක්‍රීඩකයා කලඑලි බැස්සේය. ඒ දොස්තර ඩබ්ලිව්.ජී.ග්‍රේස්‍ය. ඔහු පන්දුවට පහරදීම කලාවක් බවට පත්කර ක්‍රිකට් වඩාත් ජනප්‍රිය කිරීමට උපකාරී වූ පුද්ගලයා ලෙස සැලකේ.

            කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී ඇත්තේ 1745දීය. ක්‍රිකට් ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පැතිර ගිය ක්‍රීඩාවකි.


අළු බඳුන උපන් හැටි


එංගලන්තයත්, ඕස්ට්‍රේලියාවත් ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන විට එය අළුබදුන සදහා පැවැත්වෙන තරගය ලෙස හදුන්වනු ලැබේ. වෙනත් රටවල් අතර තරග මෙසේ අළු බදුනක් සදහා නොපැවැත්වේ. තරග මාලාව අවසානයේ වැඩි තරග ගණනක් ජයගත් කණ්ඩායම අළු බදුන හිමිකරගත් බව හැම තැනකම සදහන් වේ.

මේ අළු බදුන පිළිබඳව කෙරෙන කතාව ක්‍රි.ව 1882දී සිදුවූ සිද්ධියක් නිසා ඇති වූවකි. එංගලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර ටෙස්ට් තරග ඇරඹුණේ 1877දීය. ඒ ටෙස්ට් තරගවල ආරම්භයයි. අළු බදුනේ ආරම්භය 1882දී සිදුවිය. එංගලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර 1882 එකම ටෙස්ට් තරගය එංගලන්තයේ ඕවල් පිටියේදී පැවැත්විණි. ඉතා දුර්වල කණ්ඩායමක් ලෙස ගණන් ගෙන සිටි ඕස්ට්‍රේලියානුවෝ ලකුණු හතකින් කිසිවෙකු නොසිතූ නොපැතූ පරිදි තරගයෙන් ජය ගත්හ. එම ජයග්‍රහණය කාගේත් කතාබහට ලක්වන්නක් විය.

“1882 අගෝස්තු 29 දින ඕවල්හිදී මියගිය ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාව ආදරයෙන් සිහිකිරීමයි. මෙයට දැඩි ලෙස හඩා වැළපෙන බොහෝ දෙනා සහ දුකට පත් මිත්‍රයන් විශේෂයෙන් සලකන්න. සිරුර ආදාහනය කර ඕස්ට්‍රේලියාවට ගෙන යනු ඇත.”

මේ දැන්වීම කෙරෙහි ක්‍රිකට් ලෝලි කාගේත් සැලකිල්ල යොමු විය. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස සටහන් වී ඇති ඩබ්ලිව්.ජේ.ග්‍රේස් ද පරාජිත කණ්ඩායමට ඇතුලත් විය. මාස ගණනකට පසු එංගලන්ත කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා ආවේ ඕවල්හි පරාජයෙන් සිදුවූ ලැජ්ජාව අකා මකා දමා කෙසේ හෝ තරග ජයගෙන යාමේ තිර අදිටණි. යුගයේ දක්ෂ ක්‍රීඩකයකු වූ ග්‍රේස්ට එම සංචාරයට එක්වීමට නොහැකි විය.

එංගලන්තයේ ගෞරවය රැකගැනීමේ අටියෙන් පැමිණි ක්‍රිකට් කණ්ඩායම මෙල්බර්න්හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් විය. ඊට දින කිහිපයකට පසු එම පිටියේදීම ඕස්ට්‍රේලියාව ඉනිමකින් පරාජය කළේය. මෙම ජයග්‍රහනයෙන් පසුව මෙල්බර්න්හි කාන්තාවෝ කිහිපදෙනෙක් එකතුව එංගලන්ත කණ්ඩායමේ අයිවෝ බ්ලයිට කුඩා මැටි බදුනක් පිරි නැමූහ.

ඒ තුළ වූයේ ජයගත් තරගයේ පාවිච්චි කළ බේල්ස් පුළුස්සා ගත් අළුය. අළු බදුනේ උපත සිදුවූයේ ඒ අයුරිනි. අයිවෝ බ්ලයි පසුව සාමි පදවියකින් පුදනු ලැබූ අතර හේ ඩොන්ලී සාමි විය. ඔහුගේ මරණයෙන් පසු අළු බදුන 1928දී එවකට සිටි ක්‍රිකට් බලධරයන්ට තෑගි කරනු ලැබිණි. එදා සිට අද දක්වාම එය විශේෂ වීදුරු පෙට්ටියක ආරක්ෂා සහිතව එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කෙම්බිම ලෙස සැලකෙන ලෝඩ්ස්හි තැන්පත් කර ඇත.


ටෙනිස් ක්‍රීඩාවේ උපත


සමහර විශේෂඥයන්ට අනුව ටෙනිස් ක්‍රීඩාව මුලින්ම පැවතියේ ඊජිප්තුවේ, පර්සියාවේ හා අරාබියේය. ඒ චාලිබේන් කිරුළු පැළදීමටත් පෙරය. “ටෙනිස්” යන වචනය “ටෙනෙස්” යන ප්‍රංශ වචනයෙන් බිදී ආ එකකි. එහි තේරුම ගන්න ක්‍රීඩා කරන්න යන්නය.

            ක්‍රිව. 1300දී මෙම ක්‍රීඩාව ලා බවුඩ් නමින් හදුන්වන ලදී. 14 වන සියවසේදී එය මුළු ප්‍රංශය පුරාම ව්‍යාප්ත විය. ප්‍රංශ වංශාධිපතිහූ මෙම ක්‍රීඩාවට ඉතාමත්ම ලැදිවූහ. X වන ලුවී රජු මියගියේ ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියදී වැළදුනු සන්නි රෝගයකිනි. ප්‍රංශයේ හා එංගලන්තයේ රාජකීයයෝ ටෙනිස් ක්‍රීඩාවට මහත් උනන්දුවක් දැක්වූහ. I හෙන්රි රජු ප්‍රංශයේ දක්ෂතම ටෙනිස් ක්‍රීඩකයා ලෙස ප්‍රකට වූයේය. XIV ලුවී රජු තම ටෙනිස් පිටි නඩත්තුවට පූර්ණ කාලීන සේවක පිරිසක් යොදවන ලදී. ක්‍රි.ව. 1529දී VIII වන හෙන්රි රජු ගොඩනැගූ හැම්ප්ටන් පිටිය අද පවා භාවිතයේ ඇත. ටෙනිස් ක්‍රීඩාව ඇමරිකා එක්සත් ජනපදයට හදුන්වා දෙන ලද්දේ 1870 දශකයේය.

පිටියේ ටෙනිස් හෙවත් Lawn Tennis හඳුන්වා දෙන ලද්දේ මේජර් වින්ග්ෆීල්ඩ් නම් ඉංග්‍රීසි ජාතිකයෙක් විසිනි. ඒ 1873 දීය. වියදම් සහිත ගෘහස්ත ක්‍රීඩාගාරයක් වෙනුවට දැලක් සහ තැනිතලා තණ පිටියක් ක්‍රීඩා කළ හැකි ලෙස ක්‍රීඩාවට නව මුහුණුවරක් ලැබිණි. අද ටෙනිස් පිටි තණ පිටි රහිත පිටිවල වැඩිපුරම සකස් වී ඇත. ටෙනිස් ක්‍රීඩාවේ ලෝක පූජිත තරගය ලෙස සැළකෙන විම්බල්ටන් ශූරතා තරගය අරඹන ලද්දේ 1877දීය.



කේන්තිකාරයෙකු නිසා බිහිවූ රගර්


රගර් ක්‍රීඩාව බිහිවූයේ හිතේ ඇතිවූ හදිසි කෝපයක් නිසාවෙනි. රගර් බිහිවීමට 1823 දී එංගලන්තයේ රග්බි විද්‍යාලයේ පැවති පාපන්දු තරගයක් හේතුවිය. පාපන්දු ක්‍රීඩාවේ බෝලය ඇල්ලීමට වරම ඇත්තේ ගෝල රකින්නාට පමණි. විලියම් එලිස් නම් ක්‍රීඩකයා පාපන්දුවට පයින් පහරක් එල්ල කිරීමට ගත් උත්සහය වැරදුණු විට ඔහුගේ හිත අවුල් විය. ඔහු පාපන්දුව අතින් ගෙන විරුද්ධ පිලේ ගෝලය වෙත දුවන්නට වූයේ ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන්ද මවිතයට පත් කරමිනි.

            රග්බි විද්‍යාලයේ ඒ තරගය වසර ගණනාවක්ම සාකච්ඡාවට භාජනය විය. අවසානයේදී 1939දී ක්‍රේම්බ්‍රිජ්හි ශිෂ්‍ය ආතර් පෙල් නව ක්‍රීඩාවක් නිර්මාණය කළේය. එම ක්‍රීඩාව 1841දී රග්බි විද්‍යාලය මගින් නීත්‍යානුකූලව පිළිගැනිණි. එය රග්බි ෆුට්බෝල් නමින් හැදින්විණි. එසේම ඵලකයක් නිරාවරණය කළේය. එහි මෙසේ සදහන් විය.

“පාපන්දු ක්‍රීඩාවේ නීති නොසලකා විලියම් වෙබ් එලිස් පාපන්දු තරගයකදී පන්දුව අතින් ගෙන දුවමින් රග්බි ක්‍රීඩාව නිර්මාණය කිරීමට මූලික ලක්ෂණය විදහා පෑ අවස්ථාව සිහිවීම පිණිසයි”



පාපන්දු ගැසූ හැටි


පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය ග්‍රීකවරුන් සහ රෝමවරුන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදී යයි. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කිසියම් දෙයකට පයින් ගසමින් කිසියම් දුරකට හෝ ස්ථානයකට හෝ ගෙන යාමට වෙර දරා ඇත. ඇතැම් විට මේ සදහා මිනිස් හිස් කබලක් භාවිතා කොට ඇත. අතීතයේ සිට ආ මේ හුරුව අනුව ඇතැම් රටවල මුලු මහත් ගමම මෙයට සම්බන්ධ වී ඇත.

16 වන සියවසේදී මෙබදු තරග දක්නට ලැබිණි. එම යුගයේදී ලී බෝලයක් භාවිතා කෙරිණි. තරගවල අරමුණ වූයේ ගම් දෙකක් මැදදී ඇරඹි තම ගම වෙත බෝලය ගෙනයාමට උත්සහ දැරීය.

බොහෝ දෙනා මෙම තරගවලදී තුවාල ලැබූහ. බ්‍රිතාන්‍යයේ වේල්හි තිබූ මෙබඳු ක්‍රීඩාවක් “නැපන්” නමින් හැදින්විණි. මෙම තරගවලට 2000ක් පමණ ක්‍රීඩකයෝ සහභාගී වූහ. ආරවුල් ඇතිවූ නිසා මෙම තරග ඇතැම් අවස්ථාවල රජයෙන් තහනම් කරනු ලැබිණි. 1863දී පාපන්දු නීතිරීති සැකසුණි. 20 වන සියවසේදී පාපන්දු ලොව පුරා ජනප්‍රිය විය. එසේම ක්‍රමයෙන් පාපන්දු ලොව ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් විය.


(මෙම ලිපිය සැකසුණේ ජයන්තා සමණබැද්ද, මුතුහර සඟරාව -2009 අප්‍රේල් ඇසුරිණි)


මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් බැලීමට Facebook, Twitter, Linkedin යන සියලුම සමාජ ජාල වෙත share කිරීමට අමතක නොකරන්න 


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න......... 


වැව් වල බිහිවීමට අදාල රසවත් ඉතිහාසය සොයා බලමු 

අවුකන බුදු පිළිමය පිළිබඳ තොරතුරුයි මේ 

මානව පරිණාමවාදයේ කතාවයි මේ 

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි