ඔබගේ වෙළඳ දැන්වීම් සදහා අමතන්න...0766200392.

1 week = Rs 200/= 1 Month = Rs 500/=

වස්ගමුව ජාතික වනෝද්‍යානය ගැන දැන ගනිමු



වස්ගමුව ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ඇති ඉපැරණි මහා වනාන්තර වලින් එකකි. පළාත් තුනක් හා ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක දෙකක් පුරා මේ වනාන්තරය පැතිරී පවතිනවා. එහි මායිම් පහත ලෙස දැක්විය හැකිය

උතුරු සීමාව - පරාක්‍රම සමුද්‍රය, අඹන් ගඟ
බටහිර සීමාව - ඇළහැර හා බකමූණ ප්‍රදේශ
දකුණු සීමාව - මහවැලි ගගේ අතු ගංගාවක් වන දුනුවිල ඔය
නැගෙනහිර සීමාව - මහවැලි ගඟ

කඳු පල්ලම්, ගිරි දුර්ග හා ජල දුර්ග හරහා මායිම්ව පැවතීම නිසා වස්ගමුව ජාතික වනෝද්‍යානයට පිවිසීම ඉතා අපහසු කටයුත්තකි. ප්‍රධාන වශයෙන් මෙහි පිවිසුම් මාර්ග දෙකක් දැකිය හැකිය. එක් මාර්ගයක් වන්නේ මහනුවරට පැමිණ මහියංගන මාර්ගයේ හසලක මංසන්ධියෙන් හැරී කිලෝමීටර 45ක් ගමන් ගන්නා වූ මාර්ගයයි. අනෙක් මාර්ගය වන්නේ මාතලේ ලග්ගල විල්ගමුවට පැමිණ කිලෝමීටර 16ක් ගමන් කර පිවිසෙන මාර්ගයයි. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට පොළොන්නරුවට ඇති දුර කිලෝමීටර 10කි.
මෙම වනාන්තරයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය කරා දිව යයි. වසර දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූවා යැයි සැලකෙන රාවණා රජුගේ රාජධානිය හා ඔහුගේ වාර්ගිකයන් වූ යක්ෂ ගෝත්‍රිකයන් වස්ගමුව හා සම්බන්ධ ජන කතා හා පුවත් රැසකි.

වස්ගමුව වනෝද්‍යානයට ආසන්න ලග්ගල ප්‍රදේශයේ එකල යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් විය. මහාචාර්‍ය විල්හෙල්මි ගයිගර්ට අනුව “ලංකා ගිරි” හා “ලංකා පබ්බත” ලෙස පාලි වංශ කතාවල හැදින්වෙන්නේ ලග්ගල ප්‍රදේශයයි. මහාචාර්‍ය විජය විමලසූරියට අනුව යක්ෂ ගෝත්‍රිකයන්ගේ “ලංකා නගරය” පිහිටා ඇත්තේ වස්ගමුවට නුදුරු ලග්ගල ප්‍රදේශයේය. එසේම විජය කුවේනි පුරාවෘත්තයේද මෙම ලග්ගල පිළිබඳව සදහන් වේ.

එසේම දුටුගැමුණු රජු හා වස්ගමුව සම්බන්ධ වන කතා රැසක්ද ඇත. දුටුගැමුණු රජු එලාර සමඟ යුද්ධයට අනුරාධපුරයට යන අවස්ථාවේදී ද්‍රවිඩයන් සමග සටනක් කරන්නට සිදුවී ඇත. එහිදී ද්‍රවිඩ සේනාව අන්ත පරාජයට පත් කරන්නට දුටුගැමුණු රජු සමත් වී ඇත.

වස්ගමුව වනාන්තරය තුළ ඇති මාලගමුව වැව ධාතුසේන රජු විසින් ඒ අවට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහය ඇතිව කළ බව ඉතිහාසයේ සදහන් වනවා. මහවැලි ගඟ හරස් කොට වේල්ලක් බැද එමගින් මාලගමුව වැවට හා පොළොන්නරුව ප්‍රදේශයේ අමුණු වලට ජලය හරවා සපයා ඇත. ධාතුසේන රජතුමා යක්ෂ ගෝත්‍රිකයන් ලවා වේල්ල බැදි ස්ථානය අද යකුන්දාව ලෙස හැදින්වෙන අතර වර්තමාන මිනීපේ ඇල එකල “යකුන් බැදි ඇළ” ලෙස හැදින්වී ඇත.

පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජතුමා මහවැලි ගඟ, අඹන් ගඟ හා කළු ගඟ ආශ්‍රිතව ඉදිකළ හා පිළිසකර කළ වැව් රැසක් වස්ගමුව හා සම්බන්ධ වේ. වස්ගමුවේ උතුරු සීමාවේ ඇති පරාක්‍රම සමුද්‍රය, කාලිංග යෝධ ඇළ, විල්මිටිය වැව, කඳුරුපිටිය වැව හා දික්පිටිය වැව ආදී වාරිමාර්ග එකළ පරාක්‍රමබාහු රජු විසින් කරවූ නිර්මාණයන්ය.



1940 වර්ෂයේදී රජය විසින් දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස මෙම වනාන්තරය නම් කරන ලදී. එම යුගයේදී වර්ග සැතපුම් 112.5ක් හෙවත් අක්කර 72,036 වපසරියක් වස්ගමුව සතු වූයේය. 1945 වර්ෂයේදී නැවත වර්ග සැතපුම් 12.5ක ප්‍රමාණයක් එයට එකතු වූයේය. 1984 වර්ෂයේදී වාර්තා වූ වාර්තාව අනුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වපසරිය දැක්වුනේ හෙක්ටයාර 37,036.9ක් ලෙසය. 1938 වර්ෂයේදී ප්‍රථම වරට රක්ෂිතයක් ලෙසත් මෙම වනාන්තරය නම් වූයේය.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1650 සිට 2100 අතර ප්‍රමාණයක පවතී. එය එහි ශාක ප්‍රජාවේ පැවැත්මටද අතුගංගා හා ඔයවල් පෝෂණය කිරීමටද දායක වේ. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 27C – 29C අතර පවතී. මෙම වනාන්තරයේ ඇති පස් වර්ග හතක් හදුනාගෙන ඇති අතර රතු දුඹුරු පස හා ඇලුවියන් පස ප්‍රධාන වේ.

ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා වර්ගීකරණය සලකා බලන විට වස්ගමුව අයත් වන්නේ අතරමැදි කලාප වර්ගීකරණයටයි. සදාහරිත නිවර්තන වනපෙත්, තණබිම්, වගුරු හා පදුරු සහිත ලඳු බිම් මෙම වනාන්තරය තුළ අන්තර්ගතය. මේ නිසා මෙය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් ලෙස හැදින්වේ.

වස්ගමුව වනයේ ගස් විශේෂ 70ක්, පැළෑටි විශේෂ 26ක්, පදුරු විශේෂ 27ක් සහ වැල් විශේෂ 11ක් පමණ ඇතැයි සැලකෙනවා. වැවරණ, මිල්ල, කළුවර, කුඹුක් සහ පළු යන ගස්, කටුපිල, කැප්පෙටිය, කුකුරුමාන් හා නෙලු යන පදුරු විශේෂත් කහඹිලියා, කල, වල්පිච්ච හා ඔලිඳ යන වැල්ද ඒවායින් ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවට ආවේනික අතූඋඩියන්, ඇටඹ හා ගල් සියඹලා යන ශාක මේ වනාන්තරයේ ඇත.

වස්ගමුව තුළ ලොකු කුඩා කදු ගැට කිහිපයක්ම ඇත. සුදු කන්ද, එළුනේ කන්ද, බොම්බරගල, දෙමටගල, වෙහෙරගල, වලස්ගල හා තවලම්ගල යන කදු ඒ අතර ප්‍රධාන වේ.

මේ වනාන්තරය තුළින් ගලා බසින්නා වූ වස්ගමුව ඔය, එලගොල්ල ඔය, කරපනේ ඔය, කන්ද බිදුණු ඇළ, වැද්දිගේ ඇළ හා යෝධ ඇළ යන ජල ධාරාවන්ගෙන් මහවැලි ගඟ, කළු ගඟ, අඹන් ගග හා දුනුවිල ඔය පෝෂණය වීම සිදුවේ.

රජවරුන් කරවූ ඇළ මාර්ගවලින් පෝෂණය වන හා ස්වභාවික ජල ධාරාවන්ගෙනුත් පෝෂණය වන්නා වූ වැව් රාශියක් වස්ගමුව තුළ ඇත. කදුරුපිටිය, විල්මිටිය, දම්බරාව, දික්පිටිය, කොක් එබේ, යුදගනාපිටිය, මහ රොටවැල, කුඩා කරමලවැව, මහා තරමලා වැව හා මාලගමුව යන වැව් ඒ අතර ප්‍රධාන වේ.



වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඇති ක්ෂීරපායී සතුන් අතර අලි ඇතුන්, වලසා, ගෝනා, තිත් මුවා, දිවියා, අදුන් දිවියා, සිවලා, ඕලු මුවා, මීමින්නා, දඩු ලේනා, කබල්ලෑවා, ඉත්තෑවා සහ හාවා යන සතුන් ප්‍රමුඛ වේ. එසේම ලංකාවට ආවේනික කොළ වදුරා, රිළවා සහ රන් හෝතඹුවා යන සතුන්ද මෙහි වාසය කරති.

මුදුන් බොර දෙමලිච්චා, හිස කළු කොණ්ඩයා, වත රතු මල් කොහා සහ හබන් කුකුළා යන ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන් මෙන්ම බටගොයා,මොනරා, පොරෝ කෑදැත්තා, කළු රාජලියා හා වැව් රාජලියා යන සාමාන්‍ය පක්ෂීනුත් මලයානු මැටි කොහා, ඉන්දියානු අවිච්චියා හා ලය දුඹුරු මැයි මාරා යන සංක්‍රමණික පක්ෂී විශේෂ වස්ගමුව තුළදී දැකිය හැකිය.

නයා, තිත් පොළගා, පිඹුරා සහ ඇහැටුල්ලා යන සර්පයන් බහුලව වස්ගමුව තුළදී දැකිය හැකිය. කිඹුලා, කටුස්සා, සිකනලා, තලගොයා හා කබරගොයා යන සතුන්ද මෙහි දැකිය හැකිවේ.
වැව් හා ජලාශවල ගල් පාඬියා, වලයා, අංකුට්ටා, ලූලා, කාවයියා හා තෙලියා, පුලුට්ටා සහ පෙතියා යන මසුන් ප්‍රමුඛව දැකිය හැකිවේ.

බ්ලූ ග්ලාස් ටයිගර්(Blue Glass Tiger), කොමන් ඉන්දියන් ක්‍රෝ(Common Indian Crow), බ්ලූ ඕක් ලීෆ්(Blue Oak Leaf), බ්ලූ මෝමන්(Blue Morman) සහ කොමන් රෝස්(Common Rose) එහි හමුවන සුලබ සමනල වර්ග ලෙස දැක්විය හැකිය.



අද වන විට වස්ගමුව අවට වෙහෙරගල යාය, තේප්පලවල පිටිය, හදුන්ගමුව, දුනුවිල පිටිය, රත්තොට පිටිය, පාළු පිටිය, කුඹුක්කන් ඔය හා තුන්හිරියාය යන ග්‍රාම නිළධාරී කොට්ඨාස අටකට අයත්වන කුඩා ගම්මාන 22ක් පමණ ඇත. එහි අවම ජන සංඛ්‍යාව වන 240 වාර්තා වන්නේ කුඹුක්ඔය වසමෙනි. ඉහළම ජනසංඛ්‍යාව වාර්තාවන වෙහෙරයාය වසමේ 990ක් පමණ ජන සංඛ්‍යාවක් දැකිය හැකිය. ගම්මාන සංඛ්‍යාවෙන්, පවුල් සංඛ්‍යාවෙන් ජනසංඛ්‍යාව අතින් පහළම ස්ථානය හිමිවී ඇත්තේ කුඹුක්ඔය ප්‍රාදේශීය වසමටයි. මෙම සියලුම ගම්මානවල ජනතාව සිය ජීවනෝපාය කරගෙන ඇත්තේ මඩ ගොවිතැන හා හේන් ගොවිතැනයි.

වස්ගමුව පිළිබඳව තොරතුරු රැස්කළ පුද්ගලයන් අතර ජෝන් ඇඩම්ස්, නෙල්සන් බෝඩ් හා ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ සර් හෙන්රි වෝඩ් යන යුරෝපීයන් සදහන් කළ යුතුමය. 1858 වර්ෂයේදී වස්ගමුවේ සති කිහිපයක් ගෙවා දැමූ ජෝන් ඇඩම්ස් හා නෙල්සන් බෝඩ් මෙහි තුළ වූ වාරි කර්මාන්ත පිළිබඳව විශේෂයෙන් සොයා බැලූහ.

සරත් කොටගම හා ඩග්ලස් රණසිංහ යන ලාංකික විද්වත්හුද මෙම වනාන්තරය පිළිබඳව සොයා බලා වාර්තා ඉදිරිපත් කළහ.

වස්ගමුව ජාතික වනෝද්‍යානය අද වන විට දේශීය හා විදේශීය සංචාරකයන්ගේ එක් විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්ව හමාරය. මෙහි ඇති විශේෂත්වය වන්නේ රාවණා යුගයේ සිට දුටුගැමුණු, ධාතුසේන හා පරාක්‍රමබාහු යන රජවරුන් සම්බන්ධ වූ ඉතිහාසයට සම්බන්ධ වී තිබීමයි. තවද වස්ගමුව මගින් ඇදෙන්නා වූ දියවර හේතුවෙන් මහවැලි ගංගාව පෝෂණය වීමද මෙම වනාන්තරයෙන් ඉටුවන්නා වූ සුවිශේෂී සේවයකි.

ඔබ කවදා හෝ වස්ගමුවේ සංචාරය කරන්නේ නම් මේ මහා වනාන්තරයෙහි සුන්දරත්වය හා එහි වන සතුන්ට හානි නොවන ලෙස කටයුතු කිරීමට සිහියේ තබා ගන්න


(මෙම ලිපිය සැකසීමේදී සරත් රණවීර මහතාගේ “ශ්‍රී ලංකාවේ වනාන්තර” කෘතිය යොදාගෙන ඇත)





අපගේ අනෙකුත් ලිපිත් කියවන්න....................




Share on Google Plus

About Dilan Janaka

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment