රුසියානු මහා ගත්කරු මැක්සිම් ගෝර්කි පිළිබඳව දැන ගනිමු



රුසියානු මහා ගත්කරු ලෙස විරුදාවලිය ලත් මැක්සිම් ගෝර්කි(ඇලෙක්සේයි මක්සිමොවිච් පෙෂ්කොච්ගේ ආරූඩනාමය) 1968දී හිෂ්නි නොච්ගොරොද් හී(දැන් ගෝර්කි නගරය) උපන්නේය. ඔහුගේ පියා දිළිඳු වඩුවෙකි. පුංචි ඇලෙක්සේයි හතරවන අවුරුද්දට පා තබත්ම සිය පියා කොළරා රෝගයට ගොදුරු වී මිය ගියේය. මව මිය යන විට ඔහුගේ වයස අවුරුදු 10කි. මෙසේ මව්පිය දෙදෙනාම අහිමිවූ පුංචි ඇලෙක්සේයි සිය සීයා ලඟ ඇතිදැඩි විය. ඔහුගේ සීයා එනම් මවගේ පියා කුඩා තීන්ත සාප්පුවක අයිතිකරුවෙක් විය. ක්ෂිරින් නමින් හැදින්වුණු හෙතෙම මසුරෙකි. නිතර කිපෙන්නෙකි. කුරිරු ගති ඇත්තෙකි. ගොරහැඩියෙකි. සිය මුණුබුරා කෙරෙහි දැඩි ගතියක් පෑ ඔහු සමහර විට ඔහුට තදබල ලෙස දඩුවම් කළේය. ආච්චි අම්මා ඉතා කරුණාවන්ත කෙනෙකි. කතාගෙතීමෙහි සමත් ඈ සුරංගනා කතා ඉතා අනර්ඝ ලෙස ගොතා කීවාය. කෂිරින් ගෙදර අනාථ කොලුවාගේ ජීවිතය අලංකාර කලේ ඒ කතාය. පුංචි ඇලෙක්සේයි පෙෂ්කොච්ට තුන්වැනි පංතිය දක්වා පමණක් ඉගෙනීමට ලැබුණි. සිය සීයාගේ ව්‍යාපාරය පරිහානියට යාම හේතුවෙන් ඔහුට ජනතාව වෙත යාමට සිදුවිය.


ඉක්බිති අවුරුදු කිහිපයක්ම නොයෙක් රැකියාවල යෙදීමට මේ අනාගත ගත්කතුවරයාට සිදුවිය. කඩයක “ආවතේව කාරයෙකු වශයෙන්ද” නෑයෙකුගේ ගෙදර “බෝයි කොලුවෙකු වශයෙන්ද, රැකියාවල්හි නිරත විය. මෙසේ විවිධ තැන්වල රැකියා කරමින් ජීවිතයේ තිත්ත අරුත දැන ගත්තේය. එහෙත් හොඳ මිනිසුන්, අවංක හදවත් ඇතිඅයවුන් මුණ ගැසීම නිසා ඔහු තුළ, ඔහුගේ ආත්ම විශ්වාසය ඇතිවිය. 1884දී ඔහු පෙෂ්කොච් කසාන් නගරයේ විප්ලවවාදී සංවිධානයට බැදුනේය. 1889දී ඔහු සිරගත විය. ඒ විප්ලවවාදී වැඩ නිසාවෙනි. ඉන් නිදහස ලැබූ හෙතෙම 1891දී රුසියාව පුරා ඇවිද්දේය. ඒ අතරතුරදී තම සිත තුළ ඇදී ගිය චිත්‍ර ගත්කරුගේ පළමු කතාවලට වස්තුබීජය විය. “ඉසෙර්ශීල් මැහැල්ල” “රාජාලි ගීතය” “වැහිලිහිණියා” “එමිල්සාන්පිල්‍යායි” “කනවාලම්” “විල්කාෂ්” ආදී කතා මින් ප්‍රකට විය. 1892දී “මකාර්චුද්‍රා” ලියූ හෙතෙම එදා රුසියාව නොදත් මැක්සිම් ගෝර්කි නමින් එය පළ කළේය. එදා පටන් කෙමෙන් රුසියාව පුරා පැතිරී ගිය ගෝර්කි නාමය ලොව පතල විය. කෙටිකතා, නවකතා, නාට්‍ය ආදී කෘතීන් එකපිට එක පළවිය.


(මෙම ලිපිය කේ.ආර්.ආරියසිංහ මහතාගේ ලොවේ ශ්‍රේෂ්ඨයෝ කෘතියේ උපුටා ගැනීමකි)


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න.......


මේ වන විට ලෝකයේ හොදම හා වේගවත්ම කාර් 10 ගැන දැන ගන්න කැමතිද?

කාර් එහෙමත් නැතිනම් මෝටර් රථ පිළිබඳව ලොකු කුඩා අප හැම කවුරුත් උනන්දුයි. ඉතින් අපි හැමෝගෙම පුංචි හරි බලාපොරොත්තුවක් තිබෙනවා කවදා හෝ සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා ගන්නට
මීට ටික කාලයකට පෙර විදේශීය බ්ලොග් අඩවියක් පරිශීලනය කළ අපට ඉතාමත් ආකර්ෂණීය ලිපියක් කියවීමට හැකියාව ලැබුණා. එහි දැක්වුනේ ලෝකයේ මේ වන විට(2017) හොදම කාර් 10 පිළිබඳවයි.
ඉතින් අපිත් හිතුවා අපේ බ්ලොග් අඩවියේත් මේ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්නට, පහතින් දැක්වෙන්නේ එම ලොව හොදම කාර් 10 පිළිබඳවයි.


1)      KOENIGSEGG AGERA R


පැයට කිලෝමීටර 440ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය L-Liter Turbocharged V8 DOHC එන්ජිමකින් සමන්විතය. මෙය මිලෙන් ඇමරිකානු ඩොලර් 2.1 පමණ වේ.





2)      HENNESSEY VENOM GT


පැයට කිලෝමීටර 435ක උපරිම වේගයක් සහිත මෙම මෝටර් රථය සතුව 7.0 Liter-Turbocharged V8 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් 1.3ක් පමණ වේ.



3)      BUGATTI VEYRON SUPER SPORT


පැයට කිලෝමීටර 431ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව 8-Liter Quad-Turbo W16 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක් පමණ වේ.



4)      9FF GT9-R


පැයට කිලෝමීටර 415ක උපරිම වේගයක් සහිත මේ මෝටර් රථය සතුව 4.0 Liter Flat6 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් මිලියන 1ක් පමණ වේ.



5)      SSC ULTIMATE AERO


උපරිම වේගය පැයට කිලෝමීටර 412ක් වන මේ මෝටර් රථයෙහි 6.3-Liter Twin-Turbocharged V8 එන්ජිමකි. මෙහි මිල ඇමරිකානු ඩොලර් 850,000ක් පමණ වේ.





6)      KOENISSEGG CCR


පැයට කිලෝමීටර 390ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම මෝටර් රථයෙහි 4.7-Liter V8 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් 800,000ක් පමණ වේ.



7)      MCLARN F1


පැයට කිලෝමීටර් 387ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව 6.1-Liter BMW M V12 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 8.47ක් පමණ වේ.



8)      ZENVO ST1


උපරිම වේගය පැයට කිලෝමීටර 375කි. 6.8-Liter V8 එන්ජිමකින් සමන්විතය. මෙහි මිල ඇමරිකානු ඩොලර් 1.8ක් පමණ වේ.



9)      PAGANI HUAYRA


පැයට කිලෝමීටර 370ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව Twin-Turbo V12 6-Liter එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වේ.



10)  ASTON MARTIN ONE_77


පැයට කිලෝමීටර 355ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම මෝටර් රථයෙහි 7.3-Liter V12 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වේ.


මෙම ලිපිය ඉතා ආසාවෙන් ඔබ රසවින්දේ නම් ඔබගේ මිතුරන්ටත් මේ ලිපිය බැලීමට Facebook,Twitter,Google Plus හා Linkedin යන සමාජ ජාල වෙතට පහතින් බෙදා ගන්න
 

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න.................





ගුවන්විදුලිය හා එහි අද දක්වා විකාශනය විමසා බලමු

 “ගුවන්විදුලිය හෙවත් රේඩියෝව යන්න බ්‍රිතාන්‍යය විශ්වකෝෂය හදුන්වා දී ඇත්තේ මෙලෙසය. සන්නිවේදන සංඥාවන් සම්ප්‍රේෂණය(වායුගෝලය තුලින් සරල රේඛීයව හෝ අයන ගෝලය තුල පරාවර්තීයව හෝ චන්ද්‍රිකා මගින් හෝ) කිරීමට හැකි උපකරණය රේඩියෝව නම්, මේ සංඥා විද්‍යුත් චුම්බක තරංගය.”

රේඩියෝව බිහිකළේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනිය. එහෙත් ඊට පදනම වැටුනේ මයිකල් ෆැරඩේ විසින් විද්‍යුත් ධාරාවකට චුම්බක ක්ෂේත්‍රයක් සැකසිය හැකිය යන අදහස ඉදිරිපත් කිරීමෙන් පසුය. 1864දී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් මේ විද්‍යුත් විභේදනයක් යම් දුරක සිට නිර්ණය කළ හැකි බවද පෙන්වා දුන්නේය. 1888 හෙන්රික් හර්ට්ස් තමා කළ පරීක්ෂණ වලින් පෙන්වා දුන්නේ මැක්ස්වෙල්ගේ පෙරැයීම් කෙටි දුරවලට සාධාරණ බවය. රේඩියෝ තරංග සොයා ගැනීමේ හා සම්ප්‍රේෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ හර්ට්ස්ය.


ගුග්ලිමෝ මාකෝනි



ගුග්ලිමෝ මාකෝනි උපත ලද්දේ 1874දී ඉතාලියේය. හර්ට්ස්ගේ හා මැක්ස්වෙල්ගේ පරියේෂණ වලින් ලබා ගත් ප්‍රථිඵලද මැක්ස් කේතයද උදව් කර ගනිමින් පරියේෂණ පැවැත්වූ මාකෝනි 1894දී කිලෝමීටර 2.4 දුරට රේඩියෝ සංඥා නිකුත් කිරීමට සමත් විය. 1896දී මේ දුර කිලෝමීටර 15ක් තරම් වැඩි කර ගැනීමට ඔහු සමත් විය.


බෝට්ටු තරගය ගුවනෙන්
1899 ඇමරිකානු කුසලාන බෝට්ටු පැදීමේ තරගය සජීවීව ගුවනෙන් ප්‍රචාරය කිරීම සදහා මෝකෝනි ඉදිරිපත් විය. මෙහිදී ඇත්තෙන්ම සිදුවූයේ සීමිත පිරිසකට(පුවත්පත් වලට හා ආරාධිත පිරිසට) ඒ තරග තොරතුරු ගුවන් විදුලිය සංඥා හරහා ලබාදීමය.


සරුංගලයක් කම්බියක් ලෙස යොදා ගනිමින්
සැබෑ රේඩියෝ පණිවුඩ ක්‍රමය ඇරඹුණ වසර ලෙස සැලකෙන්නේ 1901ය.



ගුවන් විදුලියේ ගමන් මග

ගුවන් විදුලි මාධ්‍ය මෙලොව බිහිවී අද වනවිට වසර දහසක් ඉක්මවා ගොසිනි. මිනිසා හා ජනමාධ්‍ය අතර වඩාත් සමීප බවක් ඇතිවූයේ ශබ්ද මාධ්‍ය හෙවත් ගුවන් විදුලිය බිහිවී එය ප්‍රචලිත වීමත් සමගය.

ගුවන් විදුලිය හැදින්වීම සදහා වර්තමානයේ රේඩියෝ(Radio) යන්න භාවිතා කලද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස්(Wireles) යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතුවූවා යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.

අද අපට නිවෙස්වල ඇති ගුවන් විදුලි යන්ත්‍රය ලගට ගොස් ස්විචයක් ක්‍රියාත්මක කරවූ සැනින් මෙම මාධ්‍ය පරිහරණය කිරීමට හැකිවුවද එහි මූලික පරියේෂණ සිදුකරමින් අද පවතින තත්වයට ගෙන ඒමට ඇප කැප වූවෝ රාශියක් සිටිති.

1844දී සැමුවෙල් එෆ්.බී. මෝර්ස් විසින් සොයාගන්නා ලද ටෙලිග්‍රාප් පණිවිඩ යැවීමේ ක්‍රමය ගුවන් විදුලිය ආරම්භයට මූලික පදනම වූ බව කිව හැක. එසේම 17 වන සියවසේ විසූ බව සැලකෙන ලන්දේසි ජාතික විද්‍යාඥයකු වන හියුජන්ස්(Hugens) නැමැත්තෙකු විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද එක්තරා න්‍යායක් අනුව ආලෝක තරංග මාලාවක් ආකාශයට යැවීමත් සමග එක් තැනක සිට තවත් තැනකට පණිවිඩයක් යැවිය හැකි බව සොයා ගන්නා ලදි. මෙම සොයා ගැනීමට අනුව මයිකල් ෆැරඩේ නැමැත්තෙකු විසින් විද්‍යුත් චුම්බක ශක්තිය පිළිබඳ අත්හදා බැලීම් සිදුකොට ඇත. ඉන්පසු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්(James Clerk Maxwell) 1873 වසරේදී එම න්‍යාය ගණිතමය සිද්ධාන්තයක් බවට පත් කරමින් අදෘශ්‍යමාන විද්‍යුත් චුම්බක තරංග මගින් ප්‍රයෝජන ගත හැකි බවත් ඒවා එවකට හදුනාගෙන තිබූ ආලෝක තරංගයන්ගෙන් වෙනස්වන බවත් සොයා ගන්නා ලදි. එසේම චුම්බක තරංග හා ආලෝක තරංග අතර වෙනස වේගය අනුව පවතින්නක් බවද අවබෝධ කරගත්තේය.

මැක්ස්වෙල්ගේ න්‍යාය 1888 වසරේදී ජර්මානු ජාතික විද්‍යාඥ හයින්රිච් හර්ට්ස්(heinich Hertz) විසින් ප්‍රායෝගිකව ඔප්පුකොට දැක්වීමට සමත්විය. ඒ අනුව ඔහු චුම්බක තරංග නිෂ්පාදනය කොට ඒවායේ තරංග ආයාමයන් මනිනු ලැබීය. හර්ට්ස්ගේ මේ සොයා ගැන්වීම සිහිගැන්වීම සදහා තරංග සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා හර්ට්ස්(HZ) යන්න භාවිතා කෙරේ. 1897 වසරේදී විලියම් කෲක්ස්(William Crooks) නැමැත්තා විද්‍යුත් චුම්බක තරංගයන්ගේ සංඥා යැවිය හැකි බව පෙන්වා දෙන ලද බව වාර්තා වේ. ඉන් අනතුරුව එඩුවාඩි බ්‍රැන්ලි(Eduard Branly) නම්, ප්‍රංශ ජාතික විද්‍යාඥයා කල පරියේක්ෂණයක් අනුව ලෝහ කුඩු දැමූ වීදුරු නළයක දෙපැත්තෙන් විද්‍යුත් ධාරාවක් යොමුකළ විට එම ලෝහ කුඩු එකට එකතුවන බව සොයා ගත්තේය.
ඔලිවර් ලෝප්(Oliver Lodge) 1884 දී හර්ට්ස් සහ එඩුවාඩි බ්‍රැන්ලි දෙදෙනාගේ පරියේෂණ ගුරු කොට ගනිමින් නිර්මාණ කරන ලද එක්තරා විද්‍යා උපකරණ මගින් පැහැදිලි වූයේ යැවූ තරංග යළිත් ග්‍රහණය කරගත හැකි බවයි. ඒ අනුව කිසියම් සංඥාවක් එක් තැනකින් තවත් තැනකට යැවූ විට තෙවනුව කී තැනදී එය ග්‍රහණය කරගත හැකි බව සොයා ගත්තේය. ඒ අනුව ස්ටොනොවිච් පොපොප් විසින් යවන ලද සංඥාවක් ග්‍රහණය කරගත හැකි ඒරියල් ක්‍රමයක් සොයාගන්නා ලදී.

ඉහත පරියේෂණ ශබ්ද මාධ්‍යය ගුවන් විදුලි තරංග බවට පත් කිරීමට හැකි ක්‍රම පිළිබඳව කරන ලද පරියේෂණ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි නැමැත්තාටය(Guglielmo Marconi) මොහු මෝර්ස් විසින් හදුන්වාදුන් වයර් යොදා ගැනුණු ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉක්මවා යමින් වයර් රහිතව උත්පාදනය කල රේඩියෝ තරංග ඔස්සේ සංඥා යැවිය හැකි ක්‍රමයක් පිළිබඳ අත්හදා බැලීම් කරන ලදී. මාකෝනිගේ මෙම අත්හදා බැලීම් සදහා ඔහුගේ සහයකයා වූ ඉතාලි ජාතික මහාචාර්‍යවරයකු වූ රිගී(Rigie) නැමැත්තාගෙන් අනගි සහයක් ලැබුනි. මාර්කෝනි සිය දෙමාපියන්ට අයත්වූ වතු යායක කළ මේ අත්හදා බැලීම සාර්ථක වූයෙන් ඩොමී ඇන්ඩ් ඩෑෂ් හෙවත් තිත් සහ ඉරි මාර්ගයෙන් සන්නිවේදන කටයුතු සිදුවන වයර රහිත ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉතාලි රජයට හදුන්වා දීමට හැකිවිය.

එහෙත් ඉතාලි රජය මේ පිළිබඳව එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූයෙන් සිය අත්හදා බැලීම් 1896දී එංගලන්තයට හදුන්වා දෙන ලදී. නමුත් වාණිජත්වයට බරවූ වෙළදුන්ගෙන් තම පරියේෂණ මුදා ගැනීම සදහා නිර්මාණ අයිතිය ලබා ගැනීමට වූයෙන් ලන්ඩන්හි මහ තැපැල් කාර්‍යාලයේ ප්‍රධාන ඉංජිනේරුවා වූ සර් විලියම් ප්‍රිස්ට(Sir William Preece) තම පරියේෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මාර්කෝනිට සිදුවිය.
කෙසේවුවද 1890-1896 අතර කාලය තුල මාර්කෝනි විසින් ශබ්දය විද්‍යුත් චුම්බකත්වයට හරවා අඩි 30ක් දක්වා දුරක් යැවීමට සමත්විය. ඉන්පසු එය අඩි 300 දක්වා දීර්ඝ කිරීමට හැකිවූ අතර ඉතාම කෙටි කාලයකින් සැතපුම් 2ක් පමණ දුරක් යැවීමට සමත් විය. මේ අනුව ඉංග්‍රීසි ඕඩය හරහා ගුවන් විදුලි සංඥා යැවීමට ඔහුට හැකියාව ලැබුනි.

1897 ජුලි මස 20 වන දින මාර්කෝනිගේ ජීවිතයේ ඉතාම වැදගත් සංධිස්ථානයක් විය. එදින ඔහු වයර්ලස් සිග්නලින් කොම්පැනි නමින් සමාගමක් පිහිටුවා ගත්තේය. පසුව එය Marconi’s Wireless Telegraph Company Ltd නමින් හදුන්වනු ලැබීය. වයර්ලස් උපකරණ නිෂ්පාදන කටයුතු මෙන්ම ජනතාව වයර්ලස් ටෙලිගාෆ් සේවාවක් සැපයීම පූර්වෝක්ත සමාගම විසින් සිදු කරන ලදි.

1988දී ඔහු කුඩා ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන ලදි. එනම් අයිල් ඔෆ් වයිට් හි අලම් බේ හි සහ බර්නමත්හිදීය. මාර්කෝනි විසින් නිපදවූ උපකරණ භාවිතා කොට සරුංගලයක් මත සවිකරන ලද ඒරියලයක් මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේ ක්‍රමය 1901දී සොයා ගන්නා ලදී. පොල්ඩු නැමැති ස්ථානයේ සිට නිව් සවුන්ඩ්ලන්ඩ් නැමැති ස්ථානයට මෙසේ පණිවුඩ යැවීම කරන ලදී. මෙම ක්‍රමය Point to Point Signalling යනුවෙන් හැඳින්වේ.

මාර්කෝනි ගුවන් විදුලි තාක්ෂණය සොයාගත් සේම එය ලොව පුරා ව්‍යාප්ත කිරීමටද වෙහෙසුනු පුද්ගලයෙකි. ඒ අනුව මාර්කෝනි සමාගමේ ශාඛාවක් ඇමරිකා එක්සත් ජනපදයේද පිහිටුවීය. එය ඇමරිකන් මාර්කෝනි ලෙස නම් කරන ලදි. වර්ෂ 1899 පිහිටවූ මෙම ශාඛාව 1913 වන විට එහි වයර්ලස් සන්නිවේදනයේ ඒකාධිකාරීත්වයක් ගොඩනගා ගැනීමට පවා සමත් විය.

මාර්කෝනිගේ මෙම අපූර්වතම මාධ්‍යය ඉතාමත් ප්‍රයෝජනවත් සහ වැඩිපුරම භාවිතා වූයේ නාවික කටයුතු සදහාය. 1899 වසරේදී ඊස්ට් ගොඩ්වින් නැව ආර්.එෆ්.මැකිවුස් නැවේ හැපීමෙන් විනාශ විය. ඒ අවස්ථාවේ නැවේ සිටි පිරිසගේ දිවි ගලවා ගතහැකි වූයේ මාර්කෝනි උපකරණ භාවිත කරමින් අදාල අංශ වෙත ඒ පිළිබඳ දැන්වීමට හැකිවූ නිසාය. එසේම 1912දී අත්ලන්තික් සයුරේ ගමන් කරමින් තිබූ ටයිටැනික් මගී නෞකාව සයුරේ පාවී ආ අයිස් කුට්ටියක හැපී ගිලී යන්නට වූ අවස්ථාවේදීද විශාල පිරිසකගේ දිවි ගලවා ගැනීමට හැකිවූයේ ගුවන් විදුලි සංඥා උපකාරයෙනි.

මාකෝනිගේ පළමු ගුවන් විදුලි යන්ත්‍රය 


19 වන සියවසේ මුල් අවධියේ ජනතාවගේ අවධානයට යොමුවූ මේ නව මාධ්‍යය ලොව විශාල ලෙස ප්‍රචලිත වීමට එක් හේතුවක් වූයේ පලමුවන ලෝක සංග්‍රාමයයි. යුද්ධයේදී රහස් සංඥා ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීමට ගුවන් විදුලි තරංග ඉතාම උචිත මාධ්‍යයක් විය. මේ නිසා එවකට පැවති බලවත් රටවල විශේෂ අවධානයක් මේ අපූර්ව වූ නව මාධ්‍යය කෙරෙහි යොමුවිය. මේ මාධ්‍යයේ දියුණුවට අවශ්‍ය නව උපකරණ නිෂ්පාදනය වැනි කටයුතු ඉතා සාර්ථකව හා සීග්‍රයෙන් සිදුවූ නිසා මෙම මාධ්‍යය ලෝකයේ විශාල ලෙස පැතිරී ව්‍යාප්ත වන්නට විය.

1930 දශකයේ ගුවන් විදුලිය 

1960 දශකයේ ගුවන් විදුලිය 


1920 පමණ වන ව්ට ගුවන් විදුලිය එවකට පැවති අනෙකුත් සියලුම බහුජන මාධ්‍ය සියල්ලම අභිබවා ප්‍රබල ලෙස දියුණු විය.

1990 දශකයේ ගුවන් විදුලිය 

(උපුටා ගැනීම - මහේල සිරිවර්ධන මහතාගේ සන්නිවේදන ප්‍රවේශය කෘතිය ඇසුරෙනි)


මෙම ලිපිය ඇසුරින් ඔබ යම් දැනුමක් ලබා ගන්නට ඇතැයි අපි විශ්වාස කරමු. මේ ලිපිය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියවීමට පහතින් Share කර අපගේ බ්ලොගයට සහයෝගය ලබා දෙන්න..................



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න ................


අරුම පුදුම චුම්භකයේ ඉතිහාසය විමසා බලමුද?




චුම්භකත්වය යනු අදෘශ්‍යමාන බල විශේෂයකි. පෘථිවියෙහි ඇති බොහෝ ප්‍රදේශවල ඇති ලෝහ නිධිවලින් හමුවන යකඩවල ඔක්සයිඩ විශේෂයක් වන මැග්නටයිට්(magnetite) හෙවත් ලෝඩිස්ටෝන්(loodistone) නමැති පාෂාණ වර්ගයෙහි(Fe3O4) චුම්භක ලක්ෂණ ගබඩා වී ඇති බව ඉතා ඈත අතීතයේ සිටම මිනිසා දැන සිටි බවට සාක්ෂි ඇත. මෙම මැග්නටයිට් පාෂාණ කොටස් “ස්වභාවික” චුම්භක ලෙස හදුන්වනු ලැබීය. පළමු වරට මෙම පාෂාණ විශේෂය, අතීතයේ මැග්නේසියා(magnesia) නමින් හදුන්වනු ලැබූ ප්‍රදේශය අවටින් සොයා ගනු ලැබූ නිසා එම අදෘශ්‍යමාන බල විශේෂය සම්බන්ධ විෂයය ක්ෂේත්‍රයට “මැග්නටිසම්” හෙවත් චුම්භකත්වය යන නම හිමිවී ඇත.

මෙම බල විශේෂය හේතුකොටගෙන චුම්භක මගින් පෙන්නුම් කරනු ලබන පහත සදහන් ලක්ෂණ පිළිබඳව ක්‍රි.ව 121 දී පමණ චීන ජාතිකයින් දැන සිටි බවට සාධක ඇත. චුම්භකයක් අසලට ගෙන එනු ලබන සමහර ද්‍රව්‍ය එයට ආකර්ෂණය නොවේ. යකඩ වැනි චුම්භකවලට ආකර්ෂණය වන ද්‍රව්‍ය ස්වභාවික චුම්භකයක බලපෑමට යටත් කර චුම්භක බවට පත් කළ හැකිය.ඒවාට කෘතීම චුම්භක යැයි කියනු ලැබේ. එලෙස චුම්භකයක් බවට පත්කළ වානේ දණ්ඩක් නිදහසේ එල්වූ විට හෝ ඇබයක ගැට ගසා ජල පෘෂ්ඨයක් මත පා කළ විට හෝ එය සැමවිටම නිශ්චිත දිශාවක් ඔස්සේ සමතුලිත වේ. මෙම දිශාව පොළොවේ උතුරු දකුණු දිශාවයි. මෙම ලක්ෂණ භාවිතා කරමින් 11 වන ශතවර්ෂය පමණ වන විට චුම්භක බවට පත්කළ වානේ දඩු යොදාගෙන මාලිමා කටු නිර්මාණය කළ අතර ඒවා නාවික කටයුතුවලදී දිශා මාපක ලෙස භාවිතා කර ඇත. 13 වන ශතවර්ෂයේදී චුම්භකවල ගුණ පිළිබඳව පීටර් පෙලිග්‍රීනස්(Peter Peligrinus) විද්‍යාඥයා අධ්‍යනය කර ඇති අතර චුම්භකයකට ධ්‍රැව දෙකක් පවතින බවත් ඒවාට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පවතින බවත් සහ විජාතීය ධ්‍රැව එකිනෙක වෙත ආකර්ෂණය වන බවත් සජාතීය ධ්‍රැව එකිනෙකින් විකර්ෂණය වන බවත් පෙන්වා දී ඇත. මෙම චුම්භක ගුණ නැවත වරක් 16 වන ශතවර්ෂයේදී ගිල්බර්ට්(Gilbert) විද්‍යාඥයා විසින් සොයා ගනු ලැබීය. මෙම විද්‍යාඥයා චුම්භකත්වය සහ ස්ථිති විද්‍යුතය පිළිබඳව පරීක්ෂණ ගණනාවක් සිදුකළ පුද්ගලයකු ලෙස ප්‍රකට වන අතර ඔහු විසින් පළමු වරට පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ ස්වභාවය පිළිබදව ආකෘතියක් ඉදිරිපත් කරනු ලැබීය.

ඉහත සදහන් කර ඇති ආකාරයට ස්වභාවික චුම්භක යොදා ගනිමින් තනනු චුම්භක, චුම්භකත්වය පිළිබඳව අධ්‍යනය කටයුතු සදහා 1819 දක්වා යොදා ගනු ලැබීය. 1819 වර්ෂයේදී විද්‍යුතය සහ චුම්භකත්වය අතර සම්බන්ධතාවයක් පවතින බව ස්කැන්ඩිනේවියානු ජාතික හාන්ස් අස්ටර්ඩ්(Hans Oested) විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී.



සන්නායක කම්බියක් අසල චුම්භකයක් එල්වා කම්බිය තුළින් චූම්බකයක් එල්වා කම්බිය තුළින් විද්යුත් ධාරාවක් ගලා යාමට සැලැස්වූ විට චුම්බකය උත්ක්‍රමයක් පෙන්නුම් කරන බව ඔහු විසින් නිරීක්ෂණය කර ඇත. මෙම සොයා ගැනීම විද්යුත් චුම්බකත්වය(Electromegnetism) පිළිබඳ ආරම්භය විය. වර්ෂ 1831දී ඉංග්‍රීසි ජාතික මයිකල් ෆැරඩේ(Michael Faraday, 1791-1867) විද්‍යාඥයා විසින් කාලය සමඟ විචලනය වන විද්යුත් ධාරාවක් ගලා යන පරිපථයක් මගින් ඒ අසල තබා ඇති වෙනත් පරිපථයක් තුල විද්‍යුත් ධාරාවක් ජනිත කල හැකි බව පෙන්වා දෙන ලදි.

මෙම ප්‍රථිඵලයම කාලය සමග විචලනය වන විද්‍යුත් ධාරාවක් ගලා යන පරිපථයක් වෙනුවට චලනය කරනු ලබන චුම්බකයක් මගින්ද ඇති කල හැකි බව කෙටි කාලයකට පසු සොයා ගනු ලැබූ අතර එම ප්‍රථිපලය විද්‍යුත් චුම්බක ප්‍රේරණය(Electro Magnetic Induction) ලෙස හදුන්වනු ලැබීය. එම සොයා ගැනීම් වර්ෂ 1832 දී පමණ ඇමරිකානු ජාතික ජෝසප් හෙන්රි(Joseph Henry, 1797-1878) විද්‍යාඥයා විසින් නැවත පෙන්වා දෙනු ලැබීය. අස්ටර්ඩ්ගේ සොයා ගැනීම් වලට අනුව චලනය වන විද්‍යුත් ආරෝපණ මගින් චුම්බක ප්‍රථිඵල ඇති කල හැකි බවත් ෆැරඩේගේ හා හෙන්රිගේ සොයා ගැනීම් වලට අනුව චලනය වන චුම්බක මගින් ධාරා විද්‍යුත් ප්‍රථිපල ඇති කල හැකි බවත් පැහැදිලි වේ.

විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳව ෆැරඩේගේ සොයා ගැනීමෙන් පසු ඔහු විසින් චුම්බක ප්‍රතිඵල සම්බන්ධයෙන් වූ දුරස්ථ ක්‍රියා සදහා “ක්ෂේත්‍රය”(field) යන අදහස ඉදිරිපත් කර ඇත. මෙම අදහස ගණිතානුකූල ස්වරූපයට පරිවර්තනය කර ක්ලාර්ක් මැක්ස්වෙල්(Clerk Maxwell) විසින් විද්‍යුත් චුම්බක තරංග(Electromagnetic Waves) පිළිබඳව පුරෝකතනය කර ඇත. විදුලි මෝටරය(Electric Motor), ධාරා ජනකය(dynamo) සහ පරිනාමකය(transformer) ෆැරඩේගේ සොයා ගැනීමෙන් පසු නිර්මාණය කෙරුණු ඉතා වැදගත් උපකරණ කිහිපයකි.

වර්ෂ 1882දී එඩිසන්(Edison) විසින් පළමු විදුලි ජව පොලක්(electric power station) ඉදිකර නිව්යෝක් නගරයේ පරිභෝජනය සදහා යෙදවීය. ඊට ටික කලකට පසු ටෙස්ලා(tesla) විසින් ප්‍රේරණ මෝටරය(Induction Motor) නිපදවීය. වර්ෂ 1887දී හර්ට්ස්(Hertz) විසින් ගුවන් විදුලි තරංග(Radio Waves) නිපදවනු ලැබීය.

ස්වභාවික චුම්බක ලෙස හදුන්වනු ලබන මැග්නටයිට් පාෂාණ කොටස් මෙකල කිසිදු කටයුත්තක් සදහා භාවිතා කරනු නොලබයි. චුම්බක ගුණ වැඩි වශයෙන් ගබඩා වන පරිදි කෘතීම චුම්බක තැනිය හැකි නිසා බහුල ලෙස කෘතීම චුම්බක භාවිතයට ගනු ලැබේ. එහෙත් මෙම චුම්බක දෙවර්ගයටම සර්වසම චුම්බක ගුණ පවතී.

(මෙම ලිපිය ආචර්ය පී.ගීකියනගේ මහතාගේ විද්‍යුතය සහ චුම්බකත්වය -3 කොටස ග්‍රන්ථයේ උපුටා ගැනීමකි. මෙම ලිපියේ සියලු ගෞරව එතුමන්ට හිමිවන බව සලකන්න.)



අපගේ ජනප්‍රියම ලිපි