පාංශු වයනය පිළිබඳව දැන ගනිමු




පාංශු වයනය ලෙස හැදින්වෙන්නේ පසේ ඇති විවිධ විශාලත්වවලින් යුත් වැලි, මැටි හා රොන්මඩ අංශුවල සාපේක්ෂ ව්‍යාප්තියයි. මේ අනුව පසක රළු බව හෝ සියුම් බව තීරණය වේ.

යම්කිසි පසක ඇති පස් අංශු වර්ග අතුරෙන් වඩාත් බහුලවම ඇති අංශු වර්ගය සලකා බලා එම පසෙහි වයනය නම් කරනු ලැබේ.

මේ අනුව සාපේක්ෂව වැලි ප්‍රතිශතය වැඩි පස් “වැලිපස” ලෙසත් සාපේක්ෂව මැටි ප්‍රතිශතය වැඩි පස් “මැටි පස” ලෙසත් මැටි, වැලි හා රොන්මඩ අංශු වර්ග තුනෙන් කිසිම අංශු වර්ගයක ලක්ෂණ ප්‍රමුඛව නොපෙන්වන පසක් “ලෝම පස” ලෙසත් හැදින්වේ.

එමගින් වැලි පසක රළු වයනයක්ද, මැටි පසක සියුම් වයනයක්ද, ලෝම පසක මධ්‍යස්ථ වයනයක්ද ඇතැයි තීරණය කළ හැකිය. කෘෂිකාර්මික කටයුතු සදහා වඩාත් සුදුසු වන්නේ ලෝම පසයි.



රෝල් ක්‍රමය ඇසුරෙන් පසෙහි වයනය නිර්ණය කිරීම

මෙහිදී ඔබ වයනය නිර්ණය කිරීමට බලාපොරොත්තු වන පසෙහි ස්වල්පයක් අත්ලට ගෙන ඊට ජලය එකතු කර සෙන්ටිමීටර එකක පමණ විෂ්කම්භය ඇති ගුලියක් සකස් කිරීමට උත්සහ කරන්න. එහිදී ඔබට ගුලියක් ලෙස සකස් කළ හැකි වූයේ නම් එය මිලිමීටර 3-4 පමණ විෂ්කම්භයක් සහිත දණ්ඩක් ලැබෙන තුරු අත්ල තුළ රෝල් කරන්න. එලෙස රෝල්කළ හැකිවූයේ නම් එය මුදුවක් ලෙස නැවීමට උත්සහ කරන්න.

එමගින් පහත නිරීක්ෂණවලට එළැඹිමට අපට හැකිය
1.      පස් ගුලියක් ලෙස සකස් කළ නොහැකි නම් එය වැලි පසකි
2.      රෝල් කරන විට කැඩේ නම් එය වැලි ලෝම පසකි
3.      මුදුවක් ලෙස නවන අවස්ථාවේ කැඩේනම් එය මැටි ලෝම පසකි
4.      පස් රෝල මුදුවක් ලෙස සැකසිය හැකි නම් එය මැටි පසකි




පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම


1)      පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම සදහා
මැටි අධික පස්වල ජලය රැදෙන අතර එවැනි මැටි පස් සදහා කංකුන්, කොහිල ආදී බෝග වර්ග සුදුසුය. වැලි අධික පස්වල ජලය රැදීම අඩු අතර ඒ සදහා අල බෝග හා රටකජු යන බෝගවර්ග සුදුසුය.

2)      වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා
වැලි අධිකව ඇති පසකට කොම්පෝස්ට් එකතු කිරීම තුළින්ද, මැටි අධික පසකට වැලි එකතු කිරීම මගින්ද වයනය දියුණු කිරීම කළ හැකිය.

3)      බිම් සැකසීමට සුදුසු උපකරණ තෝරා ගැනීමට
වැලි පසක් හා ලෝම පසක් සමඟ සංසන්දනය කිරීමේදී මැටි පසක් තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීම සදහා තැටි නඟුල්, මෝල්බෝඩ් නඟුල් වැනි වැඩි බලයක් යෙදිය හැකි උපකරණ යොදා ගැනීම සුදුසු වේ.

4)      පාත්තිවල උස තීරණය කිරීම සදහා
සාමාන්‍යයෙන් වැලි පසක ජලවහනය වැඩි බැවින් උසින් අඩු පාත්තිද, මැටි පසක ජලවහනය අඩු නිසා උසින් වැඩි පාත්තිද සැකසීම සුදුසු වේ.

5)      උචිත ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සදහා
වැලි පස් සහිත භූමිවලට මතුපිටින් ගලායන ජල සම්පාදන ක්‍රම සුදුසු නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ඉතා යෝග්‍ය වේ.

6)      පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සදහා
වැලි පස අධික ලෙස ඛාදනයට ලක්වන නිසා සංරක්ෂණ ක්‍රම වැඩියෙන් යෙදීම අවශ්‍ය වේ.



(මෙම ලිපිය සැකසුණේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙනි)



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න.




Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි