ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලිය විමසා බලමු

කලකට පසුව Sinhala Subjects Blog අඩවියට ලිපියක් ගෙන ඒමට අප තීරණය කළෙමු. මේ දිනවල අපගේ අධික කාර්‍යය බහුලත්වය නිසා බ්ලොගය යාවත්කාලීන වන්නේ ඉතාම අඩුවෙන්. ඒ පිළිබඳව අපගේ සියළු පාඨකයන්ගෙන් සමාව අයදිමි.

අද දිනයේ අප ඔබට ගෙන එන්නේ රසායන විද්‍යාව විෂයට අදාල පාඩමක්. එනම් කාර්මික රසායනය යටතේ ඇති එක්තරා වැදගත් පාඩමක් වන ඇමෝනියා නිෂ්පාදනය පිළිබඳවයි. මෙය උසස් පෙළ රසායන විද්‍යාව හදාරන නංගිලා මල්ලිලාට ඉතා වැදගත් පාඩමක් වේ යැයි අප විශ්වාස කරමු. එසේනම් කියවා ඔබේ දැනුම වැඩි කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.



ඇමෝනියා නිෂ්පාදනය



නයිට්රජන් සහ හයිඩ්රජන් ප්‍රතික්‍රියා කරවා ඇමෝනියා නිපදවා ගත හැකි බව පරීක්ෂණාගාර ක්‍රමයක් ලෙස පළමුව සොයා ගන්නා ලද්දේ පීට්ස් හේබර් විසිනි.මේ ක්‍රමය පසුව මහා පරිමාණ කර්මාන්තයක් බවට වැඩි දියුනු විය .

ඇමෝනියම්  නිෂ්පාදනය කරන ක්‍රමවේදය හේබර් ක්රමය ලෙස හදුන්වනු ලැබේ.මෙහිදී නයිට්රජන් හා හයිඩ්රජන් නියමිත අනුපාතයට අනුව මිශ්‍ර කිරීමෙන් ඇමෝනියා නිෂ්පාදනය කරයි.

ඇමෝනියා නිෂ්පාදනය කිරීමට හේබර් ක්රමයේදී යොදා ගන්නා නියමිත උෂ්ණත්ව, පීඩන හා උත්ප්‍රේරක පිළිබඳව සොයා බලමු.



උෂ්ණත්වය

ඇමෝනියා නිපදවන ප්‍රතික්‍රියාව තාප දායක ප්‍රතික්‍රියාවක් වන නිසා වැඩි ඇමෝනියම් ඵලදාවක් ලබාගැනීමට ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය අඩු කල යුතුය .එහෙත් උෂ්ණත්වය අඩු කරන විට සීග්‍රතාවය අඩු වන නිසා විවිධ උෂ්ණත්වය පීඩන යොදා අත්හදා බැලීමෙන් ඉහළම ඇමෝනියම් ඵලදායක් ලබා ගැනීමට සුදුසු වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 450ක් පමණ වන බව සොයාගෙන ඇත. මේ නිසා ඇමෝනියම් නිෂ්පාදනයට හේබර් ක්රමයේදී සෙල්සියස් අංශක 450ත් 550ත් අතර උෂ්ණත්වයක් යොදාගනු ලබනවා. ප්‍රතික්‍රියාව තාප දායක වන නිසා මෙවැනි උෂ්ණත්වයක් යොදන විට දිගින් දිගටම උෂ්ණත්වය වැඩි වී ඇමෝනියා ඵලදාව අඩු විය හැකි නිසා පිටතින් සිසිල් කර අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගත යුතුය.


පීඩනය

ඇමෝනියා නිපදවන ප්‍රතික්‍රියාව වායුමය අණු සංඛ්යාව අඩු වන දිශාවට සිදුවන්නක් බැවින් ලේචැට්ලියර් මූලධර්මය අනුව පීඩනය වැඩි කිරීමෙන් ඉහළ ඇමෝනියා ඵලදාවක් ලබා ගත හැකිය. එසේ වුවත් අධි පීඩන උපකරණ වල මූලික වියදම මෙන්ම නඩත්තු පිරිවැයද අධික වේ.මේ නිසා වායු ගෝල 250ත් 350ත් අතර පීඩනයක් යොදා ගනු ලබයි.



උත්ප්‍රේරක 

යම් ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරක යෙදීමෙන් එහි සීග්‍රතාවය වැඩි කර ගත හැකියහේබර් ක්‍රමයේදී උත්ප්‍රේරක ලෙස යකඩ කුඩු යොදා ගන්නා අතර උත්ප්‍රේරක වර්ධක ලෙස කුඩා ප්‍රමාණ වලින් පොටෑසියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් භාවිතා කරයි.

ඇමෝනියම් සෑදෙන විට නිෂ්පාදන කුටිය තුල ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි වීමෙන් ප්‍රතික්‍රියා සීග්‍රතාවය අඩුවන නිසා වැඩි පීඩනයක් යටතේ සෑදුන ඇමෝනියා ද්‍ර කර ඉවත් කර ගැනීමෙන් ඇමෝනියා ඵලදාව තව දුරටත් වැඩි කර ගනු ලබයි.ඇමෝනියම් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස නයිට්රජන් වායුව සහ හයිඩ්රජන් වායුව යොදා ගනියි. මේ සඳහා නයිට්රජන් යොදා ගන්නේ වාතය ද්‍ර කර භාගික ආසවනය කිරීමෙනිහයිඩ්රජන් වායුව ලබාගන්නේ නැප්තා හෝ භූමි වායුව මගිනිනැප්තා වලින් ලැබෙන හෙක්සේන් හෝ භූමි වායුවෙන් ලැබෙන මීතේන්, හුමාලය මගින් හයිඩ්රජන් බවට පරිවර්තනය කිරීමෙනි.


මීට අමතරව ඔක්සිජන් මගින් අර්ධ වශයෙන් ඔක්සිකරණයෙන්ද හයිඩ්රජන් වායුව ලබා ගත හැකිය.


ඇමෝනියා නිෂ්පාදන ක්‍රියාවලිය 



ඇමෝනියා වල ප්‍රයෝජන 


නයිලෝන් , ප්ලාස්ටික් වැනි බහු අවයව නිපදවීමට.

ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිපදවීමට.

යූරියා, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් නයිට්රේට් වැනි පොහොර වර්ග නිපදවීමට.

බොර තෙල් වල ආම්ලික සංරචක උදාසීන කිරීමට .

සල්ෆර්  අඩංගු ඉන්ධන දහනයේදී පිටවන සල්ෆර්  ඔක්සයිඩ් උදාසීන කිරීම සඳහා ඇමෝනියා පිටාර පාලක පද්ධති වලට යොදා ගැනේ.

අප ජලය පිරිපහදු කිරීමේදී PH පාලකයක් ලෙස සහ ද්‍රාවණ තත්වයේදී දුබල ඇනායන හුවමාරු රෙසින පුනර්ජනනය සඳහාද භාවිතා කරයි.

රබර් නිෂ්පාදන කර්මාන්තයේදී ස්වභාවික සහ කෘතී රබර් කිරි වල අකාල කැටි ගැසීම් වලකා එවා ස්ථායිකරණය සඳහා යොදා ගනියි.

ආහාර පාන , පෙට්රො රසායන ද්‍රව්‍ය සහ සීත ගබඩා කර්මාන්ත ආශ්‍රි කාර්මික ශීතකරණ පද්ධති වල ශීත කාරකයක් ලෙස භාවිතා කරයි.


වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා දැන ගන්න කැමතිද?

 අපේ කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් තැනූ වැව් වලිනි. නිලට නිලේ වතුර පිරුණු වැව් වල ලස්සන විස්තර කරන්න බැරි තරම්, වැව ගැන ඇති ඉතිහාස කතාත් ඒ වගේම ලස්සනයි. මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයකි.

කලා වැව



කලා වැව හදන්නට මුල් වුණේ ධාතුසේන රජතුමාය. එය ඉදි කෙරුණේ කඩවර නම් තැනැත්තෙකු දුන් තොරතුරකට අනුවයි. ජලයෙන් පිරුණු තැනක් දුටු කඩවර ඒ බව රජතුමාට දන්වා සිටියා. රජතුමා ඒ තැන ගැන සොයා බැලුවා. වැවකට ඉතාමත් සුදුසු නිසා එතැන වැවක් හැදුවා. වැව හදලා වැවේ රාජකාරි සොයා බලන්න කඩවරට පැවරුවා. කඩවර ඒ රාජකාරිය ඉතාම හොදින් ඉටු කළා. රජතුමා සතුටු වී කඩවරට බව බෝග පවා තෑගි කළා.

            රජතුමාගෙන් සැලකුම් ලද කඩවර ටික කලකින් ධනවතකු බවට පත් වුණා. කාල සිටාණන් ලෙස ප්‍රකට වුණා. වැව නිසා රජුගෙන් පැසසුම් ලත් කඩවරට මැති ඇමතිවරුන් ඊර්ෂ්‍යා කළා. ඔවුන් වැව් බැම්ම විනාශ කරන්නට උපාය යෙදුවා. එයින් වැව් බැම්ම විනාශ වුණා. දුක උහුලා ගත නොහැකි වුණු කඩවර වැවට පැන සිය දිවි නසා ගත්තා. පසුව ඔහු කඩවර දෙවි යනුවෙන් ප්‍රකට වුණා. කඩවර දෙවියන් සෑම වැවක්ම ආරක්ෂා කරන බවට ජනප්‍රවාදවල සදහන් වෙනවා.



මින්නේරිය වැව


මින්නේරිය වැව මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. එය තනා ඇත්තේ රජුගේ ගව පට්ටියේ එළදෙන තණ කෑ ස්ථානයක් පාදක කර ගනිමිනි. එළදෙනගෙන් දොවාගත් කිරි ඉතා මිහිරි රසයකින් යුක්ත විය. ඇගේ කිරි එතරම් රසවත් ඇයි දැයි විමසා බලන්නට රජු නියම කළා. රජුට දැනගන්නට ලැබුණේ වැල් මී වැවී ඇති වගුරු බිමකින් ඇය තණ බුදින බවයි. සතුටට පත් රජතුමා වගුරු බිමේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට තීරණය කළා. එනමුත් වැවේ වැවේ වැඩ කෙසේවත් අවසන් කිරීමට නොහැකි වුණා. කොතැනකින් හෝ කැඩී විනාශ වුණා. රජතුමා නැකැත් කරුවන් ලවා ඒ ගැන සොයා බැලුවා. මේ කාර්‍යය සාර්ථක කර ගැනීමට නම් රජකුමරවකු වැවට බිලිදිය යුතු බව නැකැත් කරුවන් කියා සිටියා. එහෙත් මහසෙන් රජුගේ බිසව තම පුතු බිල්ලට දීමට අකැමැති වුණා. මේ නිසා රජතුමා කනස්සල්ලට පත් වුණා. රජුගේ වැඩිමහල් සොහොයුරිය වූ බිසෝමැණිකා කුමරිය තම පුතු බිලිදීමට කැමැත්ත පළ කළා.

කුමරු බිලිදීමෙන් පසුව වැවේ කටයුතු අවසන් කළ හැකි වුණා. එහෙත් මේ සිදුවීම පිළිබඳව රජතුමා ඉතාමත් දුකට පත් වුණා.අවසානයේ මහසෙන් රජු මියගොස් දෙවි කෙනෙකු වී ඉපිද වැව් ඉස්මත්තේ වාසය කරන බවට ගැමියන් විශ්වාස කරන්නට වුණා. මින්නේරිය දෙවියන් ලෙස අදටත් පුදනු ලබන්නේ මහසෙන් රජතුමාය.



කැකිරාව වැව

දුටුගැමුණු රජ දවස ජීවත් වූ ගොවියෙක් දිනක් හේනක ඇවිදිමින් සිටියා. හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැලී පොඩිවී තිබෙනු දුටු ඔහු ඊට හේතුව සොයා බැලුවා. දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුණා. එමෙන්ම කණගාටුවටද පත් වුණා. විශාල නාගයකු හා මුගටියන් දෙදෙනෙකු සටන් කරන අයුරු ඔහු දුටුවා. ගොවියාට නාගයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔහු මුගුරකින් පහර දී මුගටියන් පළවා හැර නාගයා බේරා ගත්තා. වතුර ගෙනැවිත් නාගයාට පෙව්වා. එදා රැයේ ගොවියා පැල් රැක්කා. රැයේ අදුර මකමින් එළියක් විහිදෙනු දුටුවා. ඔහු ඒ ගැන විමසිලිමත් වුණා. ඔහු දුටුවේ පුදුම දසුනක්. කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් නයා සිටි තැන තිබුණා. ඒ දැක බිය වුණු ගොවියා මේ පුවත දුටුගැමුණු රජුට සැල කර සිටියා. රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආවා. මැණික දුටු රජු අප්‍රමාණ සතුටට පත් වුණා.

            රජතුමා මැණික තිබූ තැන වැවක් තැනුවා. එය නම් කළේ කැකිරාව වැව නමින්. එළාර සමග කළ සටනින් පසුව ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකොට කැකිරි මැණික එහි නිදන් කළා. කැකිරාව වැවට එම නම් ලැබුණේ එලෙසින් බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ.



හල්මිල්ල වැව



කලා වැවට ආසන්නව දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් වුණා. බෙර වාදනය ගැන ඔවුන් ප්‍රකටව සිටියා. පෙරහැරවලට ඔවුනට නිතරම ආරාධනා ලැබුණා. දිනක් එගම් වැසියෙක් බෙර වාදනයට පිටත්ව ගියා. ඒ යන අතර මගදී රජතුමා මුණ ගැසුනා. ඔහු පෙරහැරට ඉඩදී යටහත්ව පාරෙන් ඉවත් වුණා. රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසු පිටේ හිදිමින්ම බෙරයට පයින් ඇන්නා. බෙර වයන්නාට කේන්ති ගියා. ඔහු අහින පදයක් වැයුවා. ඒ බෙර වාදනය අහන් ඉන්න අයට ඉබේම නැටවෙනවා. ඒ සද්දෙ ඇහිලා රජතුමා එතැනට දුවගෙන ආවා. 

මෙතරම් ලස්සනට බෙර වයන්නේ කොහොමද කියලා කල්පනා කළා. බෙර වාදනයෙන් සතුටු වුණු රජතුමා රහසේම ඒ ගමට ගියා. ඒ අවස්ථාවේදී බෙර වාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු යටතේ හල්මිල්ල කැලයට වැදී බෙර වාදනය පුහුණු වෙමින් සිටියා. ඒ දුටු රජතුමා පිරිසට හල්මිල්ල යාය පවරා දුන්නා. ඔවුනට වැවකුත් හදා දුන්නා. ඔවුන් ඒ වැවේ දියවරින් ගොවිතැන් කළා. හල්මිල්ල යායේ එදා හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට වුණා.



සොරබොර වැව



සොරබොර වැව දුටු ගැමුණු රජු විසින් ඉදි කෙරුණු තවත් වැවක්. දුටුගැමුණු රජු එලාර සමග සටන් සදහා පිටත්ව ගියා. ඒ යන අතරමගදී ඊශාන දිග වැස්සට හසු වුණා. මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට වුණා. මේ නිසා ගඟෙන් එතෙර වීමට නොහැකි වූවන් මහියංගනය අවට ලැගුම් ගත්තා. මහියංගනය චෛත්‍යය ගරා වැටී තිබෙන අයුරු ඔවුන් දුටුවා. දුටුගැමුණු රජතුමා චෛත්‍යය අලුත්වැඩියා කිරීමේ කටයුතු කළා. ඒ අවස්ථාවට විහාර මහා දේවියද සහභාගී වුණා.

දුටුගැමුණු රජුගේ මෙහෙකරුවන් අතර බුලත් සැපයීමට කෙනෙක් සිටියා. ඔහු බුලතා යෝධයාය. බුලත් මෙහෙවර කරන අතරතුර කඳු ගැට දෙකක් අතරින් ගලා බස්නා දොළ පහරක් දුටුවා. ඔහුට අපූරු අදහසක් පහළ වුණා.

බුලතා දොළ පහර හරස් කොට වැවක් තැනීමට පටන් ගත්තා. ඔහුගේ උදව්වට කිසිවෙකු සිටියේ නෑ. ඔහුගේ බිරිඳ පමණයි උදව්වට හිටියේ. ඇය හැදින්වූයේ යෝධී නමින්. ඇය ශක්තිමත් කාන්තාවක්. ඇය බුලතාට අවශ්‍ය ආහාර පාන දිනපතා ගෙන ආවා. ඇය ගමන්ගත් මාර්ගය ඉතාම දුෂ්කරයි. ගල්මුල්, කදුවැටි ආදියෙන් යුක්තයි.

දිනපතා බුලතාට ආහාර ගෙන එන අතරතුරදී දිනපතාට බුලතාට ආහාර ගෙන එන අතරතුරදී ඇය ගල් තබමින් මාර්ගයේ ගල් පඩිපෙළක් හදන්න පටන් ගත්තා. බුලතා වැවේ කටයුතු හමාර කරන විට ඇය පාර සාදා අවසන් කළා.

බුලතා යෝධයා අලුත් වැව රජතුමාට තෑගි කිරීමට කැමැත්තෙන් සිටියා. රජු පිරිවර සමඟ වැව බලන්නට පැමිණියා. නිල් දියවර පිරි වැව දුටු රජතුමා පුදුම වුණා. රජතුමා ‘හරබර’ වාරිකර්මාන්තය අන් අයටද ආදර්ශයක් බව පවසමින් බුලතා යෝධයාට ප්‍රශංසා කළා. එතෙක් වැවට නමක් තිබුණේ නෑ. රජතුමාගේ බස් ඇසූ අය වැවට හරබර වැව යැයි කියන්නට පටන් ගත්තා. පසුව එය සොරබොර වැව නමින් ප්‍රකට වුණා. බුලතා යෝධයාට හා බිරියට තෑගිත් ගම්වරත් ලැබුණා. එදා යෝධී ඉදිකළ මඟ අද දහ අට වංශුවයි.




ගෝණපතිරාව වැව

ධාතුසේන රජතුමාට මල් සැපයූ තැනැත්තා හැදින්වූයේ කඩඉම් රාල යනුවෙනි. ඔහුගේ ගම කඩඉම්ගල. ඔහු ගෙන එන මල් අතරේ ලස්සන රතු නෙළුම් මල් තිබුණා. එක යායට මල් පිපී ඇති මල් බලන්නට රජතුමාට ආසා හිතුණා. රජතුමා කාටත් රහසේ කඩඉම් රාලගේ ගමට ගියා. මල් පිපුණු වතුර පිරි වළ දුටුවා. ඒ වෙලාවේ වතුර වළෙන් වතුර බිබී උන් ගෝණා නාද කළා. නෙත දුටු සුන්දර දසුනත් කණ වැකුණු නාදයත් නිසා රජතුමා බොහෝ සේ ප්‍රීතියට පත් වුණා. රජතුමා ඒ ඉසව්වේ වැවක් තනන්නට කල්පනා කළා. ඒ කටයුත්ත කඩඉම් රාලට පැවරුවා. ඔහු ඒ රාජකාරිය අකුරටම ඉටු කළා. හැමදාම වැව අසල ගෝණුන් ප්‍රතිරාව නැංවූ නිසා වැවට ගෝණපතිරාව වැව නමින් කටවහර පුරුදු වුණා.




කනදරා වැව

කනදරා වැව මහසෙන් රජුගේ වාරි නිර්මාණයක්. රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කළා. බාණුවාපී වැවට ජනයා වැහැරුවේ කණා වැව යනුවෙනුයි. මහවැසි ඇද හැලුණා. මේ වැවේ හිටි කණයකු වැවේ සොරොව්වේ හිර වුණා. කණයා ඉවත් කරන්නට කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා රජු ඒ සදහා කෙනෙකු සොයා ගන්නට අණ බෙරයක් පිටත් කළා. අණ බෙරය කණ වැදුණු කදරා රාළ නම් තැනැත්තා ඒ කාරිය බාරගෙන රජවාසලට පැමිණියා. ඔහු නියමිත දිනයේදී කණයා අයින් කිරීමට සූදානම් වුණා. තමා වැවේ කිමිදී කණයා ඉවත් කළ පසු ගොඩට ගන්නැයි යහළුවෙකුට පැවැරුවා. කනදරා රාල වැවේ කිමිදුණා. කණයා කපා ඉවත් කළා. නමුත් යහළුවා ඔහු ඉහළට ගත්තේ නැහැ. සොරොව්වෙන් ගලා ආ දිය කඳට කනදරා රාල ගහගෙන ගියා. සියල්ල අවසානයේ තමා විසින් කණයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගිබෝග හා ගම්වර ලබා ගත්තා. කනදරා රාළ ගසාගෙන ගිය වැව පසුකාලයක කනදරා වැව ලෙස ප්‍රකට වුණා.



ඌරු සිටා වැව

මහානාග රජුට මනරම් මඟුල් උයනක් තිබුණා. දිනක් ඌරු රංචුවක් පැමිණ මේ උයන විනාශ කළා. කෝපයට පත් රජු සේවකයින් යොදවා ඌරු රැලේ අයිතිකරු අල්ලා ගත්තා. ඔහු කැලේම සිටි කෙනෙක්. කිසිදාක මිනිසුන් හා ඇසුරක් නොතිබුණු කෙනෙක්. එනිසා ඔහුට කතා කරවන්නට පුරුදු කරන්නට රජතුමාට සිදුවුණා. ඒ සදහා බොහෝ කාලයක් ගත වුණා. මේ කාලය අතරතුරදී රජතුමාගේ කෝපයත් සන්සිදුණා.
මේ තැනැත්තාට කතා කිරීමට හැකිවූ පසු රජු ඔහුගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු කැලයේ වතුර රැස්වී ඇති තැනක් ගැන විස්තර කළා. මේ පුවත ඇසූ රජතුමා එතැන වැවක් ඉදිකොට ඒ වැව ඔහුට පරිත්‍යාග කළා. වැවේ දියවර උපකාරයෙන් වගා කළ ඔහු ටික කලකින් ධනවතකු බවට පත් වුණා. ඉන්පසුව මේ තැනැත්තා ඌරු සිටුවරයා ලෙස ප්‍රසිද්ධ වුණා. පසු කාලයකදී රජතුමා ඔහු හා උරණ වුණා. වැව විනාශ කරන්නට කටයුතු කළා. මේ නිසා දුකට පත් සිටුවරයාත් දේවියත් වැවට පැන දිවි නසා ගත්තා. එදා සිට මේ වැවට ඌරු සිටා වැව නමින් වහරන්නට වුණා.



රන්තිසා වැව

මහසෙන් රජු බලසම්පන්නයි. ඒ වගේම ජනතාවගේ ගෞරවාදරයට පත්වූ රජ කෙනෙක්. මේ රජතුමාට සොහොයුරියන් දෙදෙනෙක සිටියා. එක් අයෙක් බිසෝ මැණිකාය. අනෙක් සොහොයුරිය ටිකිරි මැණිකාය. ටිකිරි මැණිකා කුමරිය පත්තා නම් වැදි නායකයා සමග විවාහ වී සීගිරිය ආසන්නයේ පදිංචි වුණා. ගම්වැසියන් ඇයට බොහෝ සේ ගෞරව කළා. ඒ ඇයගේ පුත් හිඟුරක්ගොඩ බණ්ඩාර මින්නේරිය වැව රැක ගැනීමට ජීවිතය පරිත්‍යාග කළ නිසා. බිසෝ මැණිකා කුමරිය ජනයා සමඟ එක්‍රැස්ව කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත්තා. ඒ එයට රන්තිසා වැව යැයි නම් කළා.

සිය සොහොයුරා වූ මහසෙන් රජු ඉදි කළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල වුණා. ඉන් ආඩම්බරයට පත් ඇය අයියා මින්නේරිය කියලා නැඹිලියක් හැදෙව්වා. මම ඒ නෑඹිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා. ඇය උඩගුවෙන් කියා සිටියා. මේ පුවත රජතුමාට සැලවුණා. ඉන් කෝපයට පත් රජතුමා රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළා. ඒ සදහා මිත්‍ර යක්ෂ පිරිසකගේ සහය ලබා ගත්තා. යක්ෂයන් මුවන්ගේ වේෂය ගෙන වැවේ වෑකන්ද විනාශ කළා. ඒ අවස්ථාව බිසෝමැණිකා කුමරියට සිහිනෙන් පෙනුණා. ඇය අවදිවී කෑ ගසාගෙන වැව් ඉස්මත්තට දිව්වා. සිදුවී ඇති හානිය දැක වාවාගත නොහැකි තැන ඇය වැවට පැන දිවි නසා ගත්තා. මේ පුවත ඇසූ රජතුමාට සොහොයුරිය ගැන දුක හිතුණා. දුරදිග නොබලා කළ දේ ගැන පසුතැවිලි වුණා. වරද නිවැරදි කරගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළා. සොයුරිය දේවතාවක්ව ඉපිද ඇතැයි විශ්වාස කළ මහසෙන් රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළා. ඒ රන්තිසා වැව අද හදුන්වන්නේ කවුඩුල්ල වැව නමින්.


(උපුටා ගැනීම විජය පුවත්පත - 2016 අගෝස්තු)



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න


පාංශු වයනය පිළිබඳව දැන ගනිමු




පාංශු වයනය ලෙස හැදින්වෙන්නේ පසේ ඇති විවිධ විශාලත්වවලින් යුත් වැලි, මැටි හා රොන්මඩ අංශුවල සාපේක්ෂ ව්‍යාප්තියයි. මේ අනුව පසක රළු බව හෝ සියුම් බව තීරණය වේ.

යම්කිසි පසක ඇති පස් අංශු වර්ග අතුරෙන් වඩාත් බහුලවම ඇති අංශු වර්ගය සලකා බලා එම පසෙහි වයනය නම් කරනු ලැබේ.

මේ අනුව සාපේක්ෂව වැලි ප්‍රතිශතය වැඩි පස් “වැලිපස” ලෙසත් සාපේක්ෂව මැටි ප්‍රතිශතය වැඩි පස් “මැටි පස” ලෙසත් මැටි, වැලි හා රොන්මඩ අංශු වර්ග තුනෙන් කිසිම අංශු වර්ගයක ලක්ෂණ ප්‍රමුඛව නොපෙන්වන පසක් “ලෝම පස” ලෙසත් හැදින්වේ.

එමගින් වැලි පසක රළු වයනයක්ද, මැටි පසක සියුම් වයනයක්ද, ලෝම පසක මධ්‍යස්ථ වයනයක්ද ඇතැයි තීරණය කළ හැකිය. කෘෂිකාර්මික කටයුතු සදහා වඩාත් සුදුසු වන්නේ ලෝම පසයි.



රෝල් ක්‍රමය ඇසුරෙන් පසෙහි වයනය නිර්ණය කිරීම

මෙහිදී ඔබ වයනය නිර්ණය කිරීමට බලාපොරොත්තු වන පසෙහි ස්වල්පයක් අත්ලට ගෙන ඊට ජලය එකතු කර සෙන්ටිමීටර එකක පමණ විෂ්කම්භය ඇති ගුලියක් සකස් කිරීමට උත්සහ කරන්න. එහිදී ඔබට ගුලියක් ලෙස සකස් කළ හැකි වූයේ නම් එය මිලිමීටර 3-4 පමණ විෂ්කම්භයක් සහිත දණ්ඩක් ලැබෙන තුරු අත්ල තුළ රෝල් කරන්න. එලෙස රෝල්කළ හැකිවූයේ නම් එය මුදුවක් ලෙස නැවීමට උත්සහ කරන්න.

එමගින් පහත නිරීක්ෂණවලට එළැඹිමට අපට හැකිය
1.      පස් ගුලියක් ලෙස සකස් කළ නොහැකි නම් එය වැලි පසකි
2.      රෝල් කරන විට කැඩේ නම් එය වැලි ලෝම පසකි
3.      මුදුවක් ලෙස නවන අවස්ථාවේ කැඩේනම් එය මැටි ලෝම පසකි
4.      පස් රෝල මුදුවක් ලෙස සැකසිය හැකි නම් එය මැටි පසකි




පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම


1)      පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම සදහා
මැටි අධික පස්වල ජලය රැදෙන අතර එවැනි මැටි පස් සදහා කංකුන්, කොහිල ආදී බෝග වර්ග සුදුසුය. වැලි අධික පස්වල ජලය රැදීම අඩු අතර ඒ සදහා අල බෝග හා රටකජු යන බෝගවර්ග සුදුසුය.

2)      වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා
වැලි අධිකව ඇති පසකට කොම්පෝස්ට් එකතු කිරීම තුළින්ද, මැටි අධික පසකට වැලි එකතු කිරීම මගින්ද වයනය දියුණු කිරීම කළ හැකිය.

3)      බිම් සැකසීමට සුදුසු උපකරණ තෝරා ගැනීමට
වැලි පසක් හා ලෝම පසක් සමඟ සංසන්දනය කිරීමේදී මැටි පසක් තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීම සදහා තැටි නඟුල්, මෝල්බෝඩ් නඟුල් වැනි වැඩි බලයක් යෙදිය හැකි උපකරණ යොදා ගැනීම සුදුසු වේ.

4)      පාත්තිවල උස තීරණය කිරීම සදහා
සාමාන්‍යයෙන් වැලි පසක ජලවහනය වැඩි බැවින් උසින් අඩු පාත්තිද, මැටි පසක ජලවහනය අඩු නිසා උසින් වැඩි පාත්තිද සැකසීම සුදුසු වේ.

5)      උචිත ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීම සදහා
වැලි පස් සහිත භූමිවලට මතුපිටින් ගලායන ජල සම්පාදන ක්‍රම සුදුසු නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ඉතා යෝග්‍ය වේ.

6)      පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සදහා
වැලි පස අධික ලෙස ඛාදනයට ලක්වන නිසා සංරක්ෂණ ක්‍රම වැඩියෙන් යෙදීම අවශ්‍ය වේ.



(මෙම ලිපිය සැකසුණේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙනි)



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න.




රේඩියම් සොයාගත් මාරි කියුරි ගැන දැන ගනිමු

 සිංහල සබ්ජෙක්ට්ස්බ්ලොගය තුළින් අද සිට එතෙක් මෙතෙක් ලෝකය බැබලවූ ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ගෙන ඒමට අප තීරණය කළෙමු. ඊට හේතුව නම් ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිත තුළින් අපගේ දිවියේ සාර්ථකත්වය උදෙසා ලබාගත හැකි දේ බොහෝ ඇති බැවිනි. අද දිනයේ මේ ලිපිය තුළින් අප ඔබ වෙත ගෙන එන්නේ ලොව සිටි විශිෂ්ඨ කාන්තාවක මෙන්ම විද්‍යාඥවරියකද වූ මාරි කියුරි පිළිබඳවයි.


මාරි කියුරි(1897 – 1934)



ලොව එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ චරිත අතර කාන්තාවන් පිළිබඳව අසන්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. කෙසේවූවද මාරි කියුරි නම්වූ ඇය පිළිබඳ ලෝකය තුළ තවත් ශතවර්ෂ ගණනාවක් කතාවනු ඇත. මන්දයත් ඇය ලොව විද්‍යාව හා තාක්ෂණයේ අනාගතය උදෙසා දායක වූ ශ්‍රේෂ්ඨ කාන්තාවක වීම නිසාය.

දෙවරක්ම නොබෙල් ත්‍යාගය දිනූ මාරි කියුරි උපත ලැබූයේ 1867 වසරේ පෝලන්තයේ අගනුවර වන වෝර්සෝහිදීය. මේ කාලය වන විට පෝලන්තය රුසියානු අධිරාජ්‍යයේ පාලනයට නතුව පැවති කාලයක් විය. කියුරිගේ පියා වෘත්තියෙන් ගණිත ශාස්ත්‍රය හා විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකු විය. හෙතෙම පෝලන්තය පිලිබදව දේශාභිමානීව කටයුතු කළ නිසාම ඔහුට උසස්වීම් පවා නොලැබුණි. එසේවූවද ඔහු තමාගේ දියණියට අධ්‍යාපනය ලබා දීමට නිබඳව කටයුතු කළේය.

මාරි කියුරි විවාහයට පෙර පෙනී සිටියේ මාරියාස් ලොඩොමස්කා නමිනි. ඇය ඉගෙනීමට ඉතා දක්ෂ ශිෂ්‍යාවක් වූ අතර ඇයගේ දක්ෂතාවය නිසාම පාසලෙන් රන් පදක්කම් පවා දිනා ගැනීමට ඇයට හැකිවිය. මාරියාස් ලොඩොවස්කා එකල පෝලන්තය පාලනය කළ රුසියා ආධිපත්‍යයට එරෙහිව පෝලන්ත සංස්කෘතිය රැකගැනීම උදෙසා රහස් විශ්ව විද්‍යාලීය වැඩ පිළිවෙලකට සම්බන්ධ වී කටයුතු කළාය.

විද්‍යාව විෂය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඇය එහිදී බොහෝ දෙනාගේ ගෞරවයට හා ප්‍රශංසාවට ලක්විණි.1891 වසරේදී පෞද්ගලික ගුරුවරියක ලෙස කටයුතු කළ මාරියාස් ස්වකීය විද්‍යා අධ්‍යාපනය සර්බෝ විශ්ව විද්‍යාලයෙන් අඛණ්ඩව කරගෙන ගියාය.

1894 වසරේදී මාරියාස්ට පියරි කියුරි හමුවූ අතර 1895 වසරේදී ඇය ඔහු සමග විවාහ වෙමින් මාරි කියුරි ලෙස සිය නම වෙනස් කර ගත්තාය.

කියුරි යුගලය සිය පරියේෂණ දිගටම කරගෙන ගිය අතර එහිදී ඔවුන්ට ‘බැරකල්’ නම් තවත් විද්‍යාඥයෙක් මුණ ගැසුණි. එමගින් ඔවුන්ගේ පරියේෂණ තවත් පුළුල් විය. ‘බැරකල්’ විසින් 1890 වසරේදී යුරේනියම් වලින් එක්ස් කිරණ වලට සමාන තවත් විකිරණ විශේෂයක් නිකුත්වන බව සොයාගෙන තිබිණි.

මාරි කියුරි ඉහත පරියේෂණය තවත් පුළුල් කරමින් 1898 වසරේදී යුරේනියම් අඩංගු ඛනිජ ඔක්සයිඩ වලින් එබදු කිරණ බලාපොරොත්තු නොවිය හැකි ශක්තියකින් නිකුත්වන බව අනාවරණය කර ගත්තාය. මේ සදහා “විකිරණශීලය” යන නම ඇය විසින් නිර්මාණය කෙරිණි.

මාරි කියුරිගේ පරියේෂණ අනුව කළු ඔක්සයිඩ වල කලින් හදුනාගෙන නැති රසායනික මූලද්‍රව්‍යයන් අන්තර්ගත බව නිරීක්ෂණය විය. මේ නිසාම පරියේෂණ දිගටම කරගෙන යෑමට ඇයගේ සැමියා වන පියුරි කියුරිද පැමිණියේය. ඔවුන් දෙදෙනා එක්ව ඉතා කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් පරියේෂණ කටයුතු කරගෙන ගියේය.

විකිරණයේ අවුන්සයකට අන්තර්ගත වූ ග්‍රෑම් එකක සියයේ කොටස් කිහිපයක් ලබා ගන්නට ඔවුනට හැකිවූ අතර අළුත් මූලද්‍යව්‍යයක, ද්‍රව්‍යයක් අඩංගු වන බව මෙහි වර්ණාවලියෙන් ඔවුහු තහවුරු කර ගත්හ. අවසානයේදී මෙම මූද්‍යව්‍යයට ‘පොලෝනියම්’ ලෙස නම යෝජනා කළේ මාරි කියුරිගේ මව් රටවන පෝලන්තය සිහිවීම සදහාය.

අනාගතයේ තදාන්තර පරියේෂණයන්හිදී අධික විකිරණශීලි ද්විතීය මූලද්‍රව්‍යයක් ඔවුන් විසින් සොයාගත් අතර ඒ සදහා ඔවුන් ‘රේඩියම්’ යන නම භාවිතා කළහ. රේඩියම් සාම්පලයක් රසායනිකව විසංගමනය කරන්නට 1902 වන තුරුම ඔවුන්ට නොහැකි විය.




1908දී අවාසනාවන්ත ලෙස පියුරි කියුරි තම ජීවිතයෙන් සමුගත්තේය. එතැන් පටන් සර්බෝ විශ්ව විද්‍යාලයේ ඔහුගේ අඩුව පුරවාලීමට මාරි කියුරිට සිදුවිය. ඒ අනුව ප්‍රංශයේ සර්බෝන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වූ ප්‍රථම කාන්තාව බවට මාරි කියුරි ඉතිහාසයට එක් වූවාය.

වෛද්‍ය විද්‍යා අරමුණ උදෙසා විකිරණය භාවිතා කිරීමේ කාර්‍යයෙහි ලා ප්‍රථම ලෝක යුද්ධ සමයේදී මාරි කියුරි විශාල සේවයක් ඉෂ්ඨ කළාය. මේ නිසාම ඇය එකල කීර්තිමත්ම කාන්තාව බවට පත්විය. ඇයගේ සහාය ඇතිව ප්‍රංශය, පෝලන්තය, එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන රටවල රේඩියම් ආයතන පිහිටවනු ලැබූ අතර එමගින් වෛද්‍ය විද්‍යාත්මකව රේඩියම් භාවිතයේ ප්‍රගතිය අපේක්ෂා කෙරිණි.

1890 දශකයේ පටන්ම අධික විකිරණශීලීතාවය සමගම කල් ගෙවූ නිසාම 1902න් පසුව මාරි කියුරි විවිධ රෝගාබාධ වලට ලක් වූවාය. එහිදී ඇය සංකෝචන ශල්‍යකර්ම කිහිපයකටම ලක්වූ අතර 1934 ජූලි 6 දින ඇයට ලොව හැර යන්නට සිදුවිය.

 අවසානය
වර්තමානය වන විට රසායනික විද්‍යා ක්ෂේත්‍රය ඉතාම පුළුල්ව සංවර්ධනය වී ඇත. එකී ගමන උදෙසා මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරිය කළ සේවය පැසසුම් සහගත වේ. මේ නිසාම ඇය දෙවරක්ම නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. උත්සහය, අධිෂ්ඨානය, කැපකිරීම වැනි උතුම් ගුණාංග ඇයගේ ජීවිතයෙන් අපට ලබාගත හැකි ආදර්ශය.

මෙම ලිපිය කියවා ඔබගේ ජීවිතයට යමක් මාරි කියුරි චරිතය තුළින් ලබා ගන්න. එසේම මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට සමාජ ජාල වෙතට බෙදා ගැනීමටද අමතක නොකරන්න.


(මෙම ලිපිය සකස් කෙරුණේ කේ.ආර්.ආරියසිංහ මහතාගේ ලොවේ ශ්‍රේෂ්ඨයෝ කෘතිය ඇසුරිණි)

අපගේ ජනප්‍රියම ලිපි