පාංශු ජලය හා එය බෝග වගාවට වැදගත්වන ආකාරය

මීට පෙර අප ඔබට ගෙන ආ පාංශු සංඝටක හා ඒවායේ බලපෑම ලිපිය තුළදී පාංශු සංඝටක කොටස් 4කින් යුක්ත වන බව සදහන් කළා ඔබට මතක ඇති, එයිනුත් අප පසුගිය ලිපි තුළින් එහි වැදගත් කොටස් වන පාංශු ඛනිජ හා පාංශු වාතය පිළිබඳව ඔබ දැනුවත් කළෙමු. අද දිනයේ අපගේ අරමුණ වන්නේ එයින් තවත් වැදගත් පාංශු සංඝටකයක් වන පාංශු ජලය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.




පස තුළ අඩංගු ජලය පාංශු ජලය ලෙස හදුන්වන අතර එහි ආකාර තුනකි

·         ගුරුත්වාකර්ෂණ ජලය
·         කේශාකර්ෂණ ජලය
·         ජලාකර්ෂණ ජලය






ගුරුත්වාකර්ෂණ ජලය

ගුරුත්වාකර්ෂණ බලය යටතේ පසෙන් ඉවත්වී පහළට ගලා යන ජලය ගුරුත්වාකර්ෂණ ජලයයි. පසෙහි මහා අවකාශ තුළ ඇති ජලය මෙලෙස ඉවත්වී යයි. මෙම ජලය ශාකවලට ලබාගත නොහැකිය.



කේශාකර්ෂණ ජලය

කේශාකර්ෂණ බල මගින් ක්ෂුද්‍ර අවකාශ තුළ රැදී ඇති ජලය මේ නමින් හදුන්වයි. ශාකවලට අවශෝෂණය කරගත හැක්කේ මෙම ජලය පමණකි. එම නිසා මෙම කේශාකර්ෂණ ජලය බෝග වගාවේදී ඉතා වැදගත් වේ.



ජලාකර්ෂණ ජලය

පස් අංශු වටා තදින් බැදී ඇති ජල ස්ථරය ජලාකර්ෂණ ජලය ලෙස හැදින්වේ. මෙම ජලයද ශාකවලට ලබා ගැනීමට හැකියාවක් නැත. මෙම ජලාකර්ෂණ ජලය පසෙන් ඉවත් කළ හැක්කේ පස් උදුනක දමා 105C උෂ්ණත්වය යටතේ පැය 12-24 දක්වා පමණ රත් කිරීමෙන් පමණි.


 
අමතර දැනුමට : කේශාකර්ෂණ බලය යනු යම් ද්‍රව්‍යයක් ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යාමට විරුද්ධව ඉහළට ඇද තබා ගන්නා බලයකි. ඉතාම සියුම් සිදුරු(කේශික සිදුරු) තුළින් මෙසේ ද්‍රව ඉහළට ඇදී යාම සිදුවේ.
උදා: පහන් තිරයක ඇති ඉතා සියුම් කෙදි අතර පවතින කේශික සිදුරු තුළින් තෙල් ඉහළට ඇදීම




පාංශු තෙතමන මට්ටම්


සංතෘප්ත මට්ටම(Saturated Level)

පසකට අධිකව ජලය ලැබෙන අවස්ථාවක එහි වාතය ඉවත්වී ක්ෂුද්‍ර පාංශු අවකාශ හා මහා පාංශු අවකාශ ජලයෙන් පිරී යාම සිදුවේ. මෙම අවස්ථාවේ ඇති පසක් ජලයෙන් සංතෘප්ත පසක් ලෙස හදුන්වන අතර එහි ජලාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය හා ගුරුත්වාකර්ෂණ ජලය උපරිම ධාරිතාවයෙන් ඇත. මෙවැනි තත්වයක් උදා වන්නේ ඉතා තද වර්ෂාවකදී හෝ අධික ජල සම්පාදනයකදීය. මෙම අවස්ථාවේදී පසෙහි වාතය නොමැති බැවින් එය ශාකවලට හිතකර නොමැත.



ක්ෂේත්‍ර ධාරිතාවය(Field Capacity)

මහා අවකාශවලට පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යන අතර එම ජලය ගලා යාමෙන් පසු ක්ෂුද්‍ර අවකාශ තුළ ඇති කේශාකර්ෂණ ජලය හා පස් අංශු වටා ඇති ජලාකර්ෂණ ජලය උපරිම ධාරිතාවයේ පවතී. මෙම අවස්ථාවේ පස ක්ෂේත්‍ර ධාරිතාවයේ ඇතැයි කියනු ලැබේ. මෙම අවස්ථාවේදී පසේ ඇති ජල ප්‍රතිශතය ක්ෂේත්‍ර ධාරිතාවය ලෙස හදුන්වන අතර බෝග වර්ධනය සදහා වඩාත්ම සුදුසු වන්නේ මෙම පාංශු ජල තත්වයයි.




තාවකාලික මැලවීමේ අංකය(Temporary Wilting Point)

ශාක මුල් අවශෝෂණය කිරීම තුළින් මෙන්ම වාෂ්පීකරණය හේතුකොටගෙන ක්ෂේත්‍ර ධාරිතාවයේ පවතින පසකින් කේශාකර්ෂණ ජලය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එමනිසා ශාකයකට අවශෝෂණය කරගත හැකි ජල ප්‍රමාණයට වඩා එම ශාකයෙන් උත්ස්වේදනය මගින් පිටවන ජල ප්‍රමාණය වැඩිවන විට ශාකය මැලවීමට පටන් ගනී. මේ අවස්ථාවේදී පසට ජල සම්පාදනය කළහොත් ශාක නැවත යථා තත්වයට පත්වේ. මෙම සංසිද්ධිය ශාකයේ තාවකාලික මැලවීම ලෙස හදුන්වන අතර එම අවස්ථාවේ පසේ පවතින ජල ප්‍රතිශතය තාවකාලික මැලවීමේ අංකය ලෙස හැදින්වේ.




ස්ථිර මැලවීමේ අංකය(Permanent Wilting Point)

තාවකාලිකව මැලවෙන ශාකයකට ජලය සම්පාදනය නොකළේ නම් එය තවදුරටත් මැලවීමට ලක්වේ. එක් අවස්ථාවකදී මෙම ශාකය නැවත යථා තත්වයට පත්කළ නොහැකි ලෙස මැලවේ. මෙම අවස්ථාව ශාකයේ ස්ථිර මැලවීම ලෙස හදුන්වන අතර එම අවස්ථාවේ පසේ අඩංගු ජල ප්‍රතිශතය ස්ථිර මැලවීමේ අංකය හෙවත් ස්ථිර මැලවීමේ සංගුණකය ලෙස හැදින්වේ.

පසක ස්ථිර මැලවීමේ අංකය පසේ සංයුතිය, මැලවීමට ලක්වන ශාක වර්ගය හා එහි වයස අනුව වෙනස්වීම සිදුවේ.

පසක ක්ෂේත්‍ර ධාරිතාවය හා මැලවීමේ අංකය බෝගවලට ජල සම්පාදනය කිරීමේදී ඉතා වැදගත් පරාමිතියන් වේ.



පාංශු ජලයේ වැදගත්කම

·         ශාකවල ජීව ක්‍රියාවලි සදහා අත්‍යවශ්‍ය වේ. උදා: උත්ස්වේදනය, ප්‍රභාසංස්ලේෂණය

·         ශාක පෝෂක ශාකයට ලබාදෙන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි

·         බීජ ප්‍රරෝහනයට අවශ්‍ය ජලය සපයාදීම සිදු කරයි

·         පාංශු ජීවීන්ගේ පැවැත්මට උපකාරී වේ.

·         පාෂාණ ජීර්ණයට මෙන්ම පාංශු ජනනයට උපකාරී වේ

·         බිම් සකස් කිරීම පහසු කරයි



මීලඟ ලිපිය තුළින් පාංශු සංඝටකවල මීලග වැදගත්ම කොටසක් වන පාංශු ජීවීන් ගැන තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් මෙම ලිපිය කියවා මෙම බ්ලොග් අඩවියට නැවත් පැමිණීමට ඔබගේ Web Browser එක තුළ Bookmark කරගන්න




අපගේ අනෙකුත් ලිපිත් කියවන්න






Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි