පාංශු රසායනික ලක්ෂණ යනු මොනවාද?

 මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ලියූ පස සෑදීමේ ක්‍රියාවලිය ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමු. අද දිනයේ අපගේ අවධානය යොමු වන්නේ පසක ඇති රසායනික ලක්ෂණ පිළිබඳව විමසා බැලීමටයි.


            ස්වභාවික පරිසරයේ මෙන්ම පසක් තුළද විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවන අතර බෝග වගාවේදී වැදගත්වන රසායනික ලක්ෂණ කිහිපයක් ඇත. එහිදී පහත රසායනික ලක්ෂණ පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ.


  •  පාංශු ප්‍රතික්‍රියාව   
  • කැටායන හුවමාරු ධාරිතාව

අප මෙම ලිපිය තුළින් පාංශු ප්‍රතික්‍රියාව පිළිබඳව අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන අතර මීලග ලිපිය තුළින් කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව තොරතුරු ඔබ හමුවේ තැබීමට අප සූදානම්.



පාංශු ප්‍රතික්‍රියාව(Soil Reaction)

පාංශු ප්‍රතික්‍රියාව යන්න පසේ ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය ලෙස සරලව අර්ථ දැක්වීම කළ හැකිය. ප්‍රධාන වශයෙන් පසක ආම්ලිකතාවය තීරණය කරනු ලබන්නේ පස් අංශු අතර රැදී පවත්නා ජලය හෙවත් පාංශු ද්‍රාවණය තුළ අඩංගු වන H+ හා OH- අයන ප්‍රමාණය මතය

කිසියම පසක පාංශු ද්‍රාවණය තුළ අඩංගු H+ අයන සාන්ද්‍රනය OH- අයන ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් නම් එම පස ආම්ලික පසක් ලෙස හදුන්වන අතර OH- අයන සාන්ද්‍රණය H+ අයන සාන්ද්‍රණයට වඩා වැඩිනම් එය භාෂ්මික පසක් ලෙස හැදින්වේ.

පාංශු ප්‍රතික්‍රියාව මැනීම සදහා භාවිතා කරන්නේ pH පරිමාණයයි. මෙම pH පරිමාණය 0 සිට 14 දක්වා පරාසයකින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පස්වල pH අගය 4 - 8.5 දක්වා වේ.

pH පරිමාණය 



පාංශු ආම්ලිකතාවය

ආම්ලික පස්වල pH අගය 6.5ට වඩා අඩු අගයක් ගන්නා අතර බොහෝ විට වර්ෂාපතනය අධික කදුකර ප්‍රදේශවල ආම්ලික පස් දැකිය හැකිය. ඒ අනුව තේ වැනි වගාවන් සදහා ආම්ලික පස් යොදා ගැනේ.


පසක් ආම්ලික වීමට හේතු
ü  අධික වර්ෂාපතනය හේතුකොටගෙන පසේ අඩංගු Na+ හා Ca2+ වැනි භාෂ්මික අයන ක්ෂරණය වීම
 උදා: තෙත් කලාපීය පස

ü  කාබනික ද්‍රව්‍ය වියෝජනය වීමෙන් කාබනික අම්ල සෑදීම
ü  අම්ල වැසිවල බලපෑම


පාංශු ආම්ලිකතාවයේ අහිතකර බලපෑම්

අධික ආම්ලිකතාවයේදී,
ü  යකඩ, ඇලුමීනියම් සහ මැංගනීස් අයනවල ද්‍රාව්‍යතාව ඉහළ යෑමෙන් බෝගවලට විෂ තත්ව ඇතිවේ.
ü  අද්‍රාව්‍ය පොස්පරස් සංයෝග සෑදෙන අතර, එමගින් ශාකවලට පොස්පරස් ලබාගැනීමට නොහැකි වේ.
ü  බැක්ටීරියා ක්‍රියාකාරීත්වය උදාසීන වීම සිදුවේ


පාංශු ආම්ලිකතාවය උදාසීන කිරීම
ü  පසට කැල්සියම් කාබනේට්, ඩොලමයිට් හා හුනුගල් කුඩු යෙදීම
ü  ආම්ලික පොහොර භාවිතය අවම කිරීම




පාංශු ක්ෂාරීයතාව

කිසියම් පසක සෝඩියම් අයන වැඩිවීම නිසා පාංශු ක්ෂාරීයතාවය ඇතිවේ. ක්ෂාරීය පස්වල pH අගය 8.5ට වඩා වැඩි අගයක් ගන්නා අතර බහුලවම වර්ෂාපතනය හා ඇතුලු කාන්දුවීම අඩු ශුෂ්ක ප්‍රදේශවලදී හමුවේ.


පාංශු ක්ෂාරීයතාවයට හේතු
ü  පස ජනනය වීමේදී එහි මාතෘ පාෂාණය මගින් Na2CO3 හෝ NaHCO3 එකතු වීම
ü  ලවණ සහිත වාරි ජලය මගින් පසට NaHCO3 එකතු වීම
ü  උෂ්ණත්වය අධික ප්‍රදේශවල වාෂ්පීකරණය අධික නිසා පාංශු ජලයේ ඇති ලවණ පස මතුපිටට එකතු වීම


ක්ෂාරීයතාවයේ අහිතකර බලපෑම්
ü  සෝඩියම් අයන පැවතීමෙන් පාංශු ව්යුහය බිඳ වැටේ.
ü  ශාකවලට යකඩ, මැංගනීස් හා පොස්පරස් ලබා ගැනීම අපහසුවේ.
ü  ශාක මුල්වල බාහිරාශෘතිය සිදුවීම නිසා ශාක මිය යයි.


පාංශු ක්ෂාරීයතාවය උදාසීන කිරීම
ü  පසට ජිප්සම් එකතු කිරීම
ü  පසට ගෙන්දගම් එකතු කිරීම
ü  පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම



pH අගය මැනීම

යම්කිසි පස් සාම්පලයක pH අගය මැනීම සදහා pH කඩදාසි භාවිතය හෝ pH මීටරය භාවිතය සිදුකළ හැකිය.

pH කඩදාසි මගින් pH අගය සෙවීම


මේ සදහා පස් හා ජලය 1:6 අනුපාතයට මිශ්‍ර කළ පාංශු ද්‍රාවණය අවශ්‍ය වේ. පස් හා ජලය හොදින් මිශ්‍ර කර පස් අංශු නිශ්චලව තැන්පත් වනතුරු තබන්න. ඉන්පසු pH කඩදාසියක් ගෙන එය ගිල්වා ලැබෙන වර්ණය වර්ණ සටහන සමඟ සැසදීම තුළින් අදාල pH අගය ලබාගත හැකිය.


pH මීටරය මගින් pH අගය සෙවීම


මෙහිදී ඉහත පරිදිම ද්‍රාවණයක් සාදා ගැනීම අවශ්‍ය වන අතර මීටරයේ ඉලෙක්ට්‍රෝඩ ද්‍රාවණයේ ගිල්වීමෙන් pH අගය පහසුවෙන් කියවාගත හැකිය.


මීලඟ ලිපිය තුළින් අප පාංශු රසායනික ප්‍රතික්‍රියාවල මීලඟ වැදගත් ලක්ෂණය වන කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව විමසා බැලීමට සූදානම්. එතෙක් අපගේ අනෙකුත් ලිපිද කියවන්න. 



(උපුටා ගැනීම- කෘෂි හා ආහාර තාක්ෂණය- 10 ශ්‍රේණිය -අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි