ශාක රෝග පාලනය කරන්නේ කෙසේද?

මීට පෙර අප කෘෂිකර්මය උදෙසා ගෙන ආ ලිපියකින් ශාක රෝග යනු කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. එහිදී අප රෝග කාරක ජීවීන්, දිලීර රෝග, බැක්ටීරියා රෝග, වෛරස් රෝග, වටපණු රෝග හා ෆයිටොප්ලාස්මා රෝග ගැන කතා බහ කළ අතර අද දිනයේ අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ශාක රෝග පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ශාකයකට කිසියම් රෝගයක් වැළදීම සදහා අනිවාර්‍යයෙන්ම සම්පූර්ණ විය යුතු සාධක 3ක් ඇත. එනම් රෝග කාරකයා, ධාරක ශාකය හා රෝග කාරකයාට හිතකර පරිසර තත්ව යනාදියයි. යම්කිසි රෝගයක් ඇතිවීම සදහා මෙම සාධක තුනෙහි අන්තර් සබදතාව බලපාන අතර එය රෝග ත්‍රිකෝණය මගින්ද පෙන්නුම් කළ හැකිය.



Host = ධාරක ශාකය
Pathogen = රෝග කාරකයා
Environment = හිතකර පරිසර තත්ව




මේ අනුව සලකා බලා ශාක රෝග පාලන ක්‍රම ක්‍රියාවට නැංවීම සදහා අනුගමනය කළ යුතු උපායමාර්ග මෙසේ දැක්විය හැකිය.


1.      රෝග කාරක ජීවියාගේ ගහනය අවම කිරීම
2.      ධාරක ශාකය මත රෝග කාරකයාගේ වර්ධනයට බාධා ඇති කිරීම
3.      රෝග කාරකයාගේ පැවැත්මට අහිතකර පරිසර තත්ව ඇති කරලීම

ඉහත සදහන් කළ රෝග කාරකයාගේ ගහනය අඩු කිරීමේදී වගා භූමියේ ඇති රෝග කාරකයාගේ ගහනය අඩු කිරීමත් වගා භූමියෙන් පිටත පිටත පැමිණීම අවම කිරීමත් ඉතා වැදගත්ය.


රෝග කාරකයාගේ ගහනය අවම කරන්නේ කෙසේද?

වගා බිමේ ඇති රෝග කාරකයා පාලනය කළ හැකි ක්‍රම

·         රෝගී ශාක කොටස් හා රෝගයට ලක්වූ ඉපනැලි ආදිය සම්පූර්ණයෙන්ම වගා භූමියෙන් ඉවත් කර පුළුස්සා විනාශ කර දැමීම

·         පස ජීවානුහරණය - මෙය සිදුකළ යුත්තේ බෝගය සිටුවීමට පෙර බිම් සකසන අවස්ථාවේය. මෙමගින් පසේ ඇති රෝග කාරක ජීවීන් විනාශ වී යාම සිදුවේ.එය පිළිස්සීම, උණු ජලය ඉසීම, රසායනික දිලීර නාශක යෙදීමෙන් මෙන්ම හිරුඑළිය යොදාගෙනද පස ජීවානුහරණය කළ හැකිය.

·         දිලීර නාශක හෝ වටපණු නාශක යෙදීම - මෙමගින් පාලනය කළ හැක්කේ දිලීර හා වටපණුවන් පමණි. වෛරස්, බැක්ටීරියා හා ෆයිටොප්ලාස්මාවන් මෙලෙස රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් පාලනය නොවේ.




රෝග කාරකයින් පිටතින් වගා භූමියට පැමිණීම පාලනය කරන්නේ කෙසේද?

·         නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම - සිටුවීමට ගන්නා බීජ හෝ අනෙකුත් වර්ධක කොටස් අනිවාර්‍යයෙන්ම නිරෝගී මවු ශාකයකින් ලබා ගැනීම කළ යුතුය.

·         බීජ ප්‍රතිකාර කිරීම - සිටුවීමට ගන්නා බීජ වලට දිලීර නාශක ආලේප කිරීමෙන් දිලීර රෝග බොහොමයක් පාලනය වේ.

·         රෝග වාහක පළිබෝධ කෘමීන් විනාශ කිරීම - කෘමී පාලන උපක්‍රම යොදාගෙන වයිරස් හා ෆයිටොප්ලාස්මාවන් වාහනය කරන කීඩෑවන්, කූඩිත්තන්, සුදු මැක්කන් වැනි කෘමීන් විනාශ කිරීම

·         අවට පරිසරයේ ඇති ධාරක වල් පැළෑටි විනාශ කිරීම - වල් පැළෑටි යනු සමහර රෝග කාරකයින් මෙන්ම වාහකයන්ගේද නිවහන් වේ. වගා භූමිය අසල ජීවත්වන එම ජීවීන් වගා භූමිය පහසුවෙන් ආක්‍රමණය කිරීම සිදු කරයි.
උදා: වට්ටක්කා පත්‍ර විචිත්‍ර වෛරසය හුලංතලා පැළෑටිය මතද ජීවත් වේ.

·         ආරක්ෂිත ගෘහ තුළ බෝග වගා කිරීම - මෙහිදී ජීවානුහරණය කරනු ලැබූ වගා මාධ්‍ය හා කෘමී ප්‍රතිරෝධී දැල් භාවිතා කරන බැවින් රෝග වාහක කෘමීන් ලගා වීම සිදු නොවේ.

·         අභ්‍යන්තර හා බාහිර නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීම - රෝග පැතිරීම පිළිබඳව අවධානමක් සහිත ශාක ප්‍රදේශයකින් ප්‍රදේශයකට හෝ යම්කිසි රටකින් රටකට ගෙන යාම නීතියෙන් තහනම්ය. මෙම නීති නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් අලුතින් රෝග කාරකයින් ඇතුළු වීම පාලනය කළ හැකිය.



ධාරක ශාකය මත රෝග කාරකයින් වර්ධනය වීමට බාධා කරන්නේ කෙසේද?


1.      ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම - එනම් මෙයින් අදහස් වනුයේ කිසියම් රෝගයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ප්‍රභේද වගා කිරීමයි.

2.      ධාරක ශාකයේ පටක ශක්තිමත් වන පරිදි තුලිත පොහොර මිශ්‍රණ යෙදීම - නිසි ප්‍රමාණයෙන් පොටෑසියම් පොහොර යොදන විට ශාක පටක ශක්තිමත් වන අතර එබැවින් දිලීර හා වටපණුවන් වැනි රෝගකාරක ජීවීන් හට පටක සිදුරු කිරීම අපහසු වේ.අධික ලෙස නයිට්‍රජන් පොහොර යොදන විට ශාක පටක මෘදු වන අතර රෝගවලට පාත්‍ර වීමේ හැකියාව වැඩිවේ.

3.      ධාරක ශාක මුළුමනින්ම වගා බිමෙන් ඉවත්කර විනාශ කිරීම - අනෙකුත් සියළු ක්‍රමවලින් රෝගය පාලනය කළ නොහැකි අවස්ථාවක අනාගතයේ වැවීමට අපේක්ෂා කරන බෝගවල ආරක්ෂාව සදහා දැනට පවතින රෝගී ශාක මුළුමනින්ම වගා බිමෙන් ඉවත් කිරීම සිදු කෙරේ.


රෝග කාරකයාට අහිතකර පරිසර තත්ව ඇති කරලීම සිදු කරන්නේ කෙසේද?

·         පැළ අතර පරතරය වැඩි කිරීම - මෙහිදී රෝග කාරකයන්ට වෙනත් ශාකයක් කරා යාම අපහසු වන අතරම එම ප්‍රදේශයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩුවීමද සිදුවේ. රෝගකාරක ජීවීන් පහසුවෙන් බෝවන්නේ ආර්ද්‍රතාවය වැඩි පරිසරයකදීය.

·         ක්‍රමවත් ලෙස පසෙන් ජලවහනය කිරීම - දිලීර, බැක්ටීරියා හා වටපණුවන් ජලීය මාධ්‍ය ඇතිවිට වඩා පහසුවෙන් පැතිරීම සිදුවන බැවින් ක්‍රමවත් ලෙස ජලවහනය කිරීම ඉතා වැදගත්ය.

දැන් ඔබට රෝගකාරයන් පාලනය කිරීම පිළිබඳව යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඔබ මෙහි ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයේදීත් යොදා ගන්නේ නම් ඉතා අගනේය. මන්ද බොහෝ කෘෂි නිෂ්පාදන මේ රෝග හා පළිබෝධ හේතුකොටගෙන විනාශ වී යන බැවිනි.


මීලඟ කෘෂිකාර්මික ලිපි වලින් බහුලවම දක්නට ලැබෙන ශාක රෝග පිළිබඳව වෙන වෙනම තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් ඒ සදහා අපව දිරි ගැන්වීමට මම ලිපිය හැකිතරම් සමාජ ජාලා තුළට බෙදා ගන්න.


(මෙම ලිපිය සකස් කෙරුණේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙණි)


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි