බහුලවම දක්නට ලැබෙන ශාක රෝග පිළිබඳව අධ්‍යනය කරමු

මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ලියූ ලිපිවලින් ශාක රෝග යනු කුමක්ද හා ශාක රෝග පාලනය කරන්නේකෙසේද පිළිබඳව සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද දිනයේ අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ බහුලවම දක්නට ලැබෙන ශාක රෝග කිහිපයක් පිළිබඳව විමසා බැලීමටයි.


දිලීර රෝග


·         දියමලන් කෑම (Dumping off)


ප්‍රරෝහණය වන බීජවලට මෙන්ම තවාන් පැළවලට වැළදෙන රෝගයක් ලෙස දියමලන් කෑම දැක්විය හැකිය. ප්‍රධාන වශයෙන් එළවළු බීජ තවාන්වල මෙම රෝගය බහුලව දැකිය හැකිය.

රෝග කාරකයා
දිලීර වර්ග ගණනාවක් මගින් මෙම රෝගය පැතිරීම සිදුවේ. පිතියම්(Pithiyam), ෆියුසේරියම්(Fusarium), රයිසොක්ටෝනියා(Rhizoctonia) යන දිලීර ඒවායින් ප්‍රධාන වේ.


රෝග ලක්ෂණ
Ø  රෝගයට ලක්වූ බීජ ප්‍රරෝහනය වී පසෙන් උඩට මතුවීමට පෙරම කුණුවී යාම සිදුවේ. මෙය බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතයේ අඩුවක් ලෙස දැකිය හැකිය.
Ø  ප්‍රරෝහණය වී උඩට මතුවූ පැළවල පාදස්ථයේ කලු දුඹුරු පුල්ලි ඇතිවන අතර පසුව කඳ කඩා වැටී මියයාම සිදුවේ.
Ø  බීජ පත්‍ර හැකිලී යාම සිදුවන අතර කලු පැල්ලම් දැකිය හැකිය.


පාලන ක්‍රම
1.      බීජ ප්‍රතිකාර කර ප්‍රරෝහණය කිරීම
2.      නිරෝගී බීජ තෝරාගෙන රෝපණය කිරීම
3.      බීජ සිටුවීමට පෙර පාංශු ජීවානුහරණය කිරීම
4.      තවාන් දමන විට පැළ අතර පරතරය වැඩි කිරීම
5.      දිලීර නාශක භාවිතා කිරීම





ඇන්ත්‍රැක්නෝස් (Anthracnose)


අඹ, කෙසෙල් හා පැපොල් වැනි පලතුරුවලට මෙන්ම තක්කාලි, බෝංචි, වට්ටක්කා, ලීක්ස් ආදී එළවළු වලටද ලූනු, සුදු ලූනු, අර්තාපල් වැනි බෝගවලටද වැළදෙන රෝගයකි. අඹ, කෙසෙල්, මිරිස්, බෝංචි, එළවළු යන බෝගවල මෙම රෝග ලක්ෂණය බහුලවම දක්නට හැකිය. ශාකවල ඕනෑම වර්ධක අවධියක ඕනෑම කොටසක මෙම රෝගය වැළදීමේ හැකියාව ඇති අතර බහුලවම පත්‍ර හා මේරූ ඵලවල දක්නට හැකිය.
ඇන්ත්‍රැක්නෝස් රෝග කාරකයා වන්නේ කොලෙට්‍රෝට්‍රිකම්(Colletrotrichum) දිලීර විශේෂයයි.


රෝග ලක්ෂණ
Ø  පත්‍රවල අක්‍රමවත් කහ දුඹුරු, තද දුඹුරු හෝ කලු පැහැති පුල්ලි ඇතිවීම සිදුවේ.
Ø  මෙම පුල්ලි එකිනෙක යාවී කලු දුඹුරු පාට විශාල ප්‍රදේශ ඇතිවේ.
Ø  ඵල මත ජලය උරාගත් පෙනුම ඇති රවුම් පුල්ලි ඇතිවී කළු දුඹුරු පැහැයට හැරේ.
Ø  පුල්ලි ක්‍රමයෙන් පරණ වන විට ලපයේ මැද රෝස පැහැයට හුරු දිලීර බීජාණු ඇතිවීම දැකිය හැකිය


පාලන ක්‍රම
Ø  ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම
Ø  ආසාදනයට ලක්වී පතනය වන පත්‍ර පිළිස්සීම
Ø  ආසාදිත රිකිලි කප්පාදු කොට පිලිස්සීම
Ø  පත්‍ර නොතෙමෙන ආකාරයට ජල සම්පාදනය කිරීම
Ø  තෙත් කාලගුණයක් ඇතිවිට දිලීර නාශක යෙදීම







බැක්ටීරියා රෝග

හිටුමැරීම(Bacterial Wilt)


සොලනේසියේ හා කුකර්බිටේසියේ කුලවල බෝගවලට බහුලවම වැළදෙන රෝගයකි. මෙහි රෝගකාරක බැක්ටීරියා පසෙහි ජීවත්වන අතර මූල පද්ධතිය තුළින් ඇතුළු වී ශාකවල සනාල පටක විනාශ කර දමයි. ශාකයේ ළපටි හෝ මේරූ යන ඕනෑම අවස්ථාවකදී රෝගය වැළදිය හැකිය.
මෙහි රෝග කාරකයා වන්නේ සියුඩොමොනාස් නම් බැක්ටීරියා විශේෂයයි.


රෝග ලක්ෂණ
·         ශාකය මැළවීම හා පසුව මියයාම
·         කඳ අභ්‍යන්තර පටක දුර්වල වීම
·         කඳ කැපූ විට ඇලෙන සුළු දියරයක් වෑස්සීම හා එම කඳ කොටස ජලයට දැමූ විට කිරි වැනි උකු දියරයක් වෑස්සීම
·         සමහර අවස්ථාවලදී කදෙන් ආගන්තුක මුල් හට ගැනීම


පාලනය
·         බෝග මාරු ක්‍රම යොදා ගැනීම
·         ප්‍රතිරෝධී ප්‍රභේද තෝරාගෙන වගා කිරීම
·         ක්‍රමවත් ලෙස ජලවහනය සිදු කිරීම
·         රෝගී ශාක වගා භූමියෙන් ඉවත් කරලීම







වෛරස් රෝග


පත්‍ර විචිත්‍රය(Mossaic)


කුකර්බිටේසියේ කුලයේ බෝගවලට මෙන්ම බණ්ඩක්කා, මිරිස්, පැපොල්, තක්කාලි හා දුම්කොළ ආදී බෝගවලට වැළදෙන රෝගයකි. යුෂ උරාබොන කෘමීන්, රෝගී ශාකවල බීජ හා ශාකයේ යාන්ත්‍රික හානි සහිත ස්ථානවලින් රෝගකාරක වෛරසය ශාකයට ඇතුළු වේ.

රෝග කාරකයා - බෝගවලට විචිත්‍ර වෛරසයේ විවිධ මාදිලි ආසාදනය වීම සිදුවේ.


රෝග ලක්ෂණ
·         පත්‍ර මත ඇතිවන කොළ කහ පුල්ලි විචිත්‍රවත් ලෙස දිස්වීම
·         පැළෑටි කුරුවීම
·         පත්‍ර රෝල්වීම හා රැළි ගැසීම් ඇතිවීම
·         මල් හා ඵල විකෘති වීම


පාලන ක්‍රම
·         බෝග මාරුව
·         ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම
·         වාහක කෘමීන් පාලනය
·         වගාබිම් අවට ධාරක වල් පැළෑටි ඉවත් කිරීම
·         රෝගී ශාක වගා බිමෙන් ඉවත් කිරීම හා පිළිස්සීම






කෙසෙල් වඳ පිපීම (Bunchy Top)


කෙසෙල් ගසෙහි ඕනෑම වයසක වැළදිය හැකි මෙම රෝගය ආසාදිත පැළ මගින්, වගා උපකරණ හා යුෂ උරාබොන කූඩිත්තන් මගින් පැතිරේ.
රෝග කාරකයා වන්නේ කෙසෙල් වඳ පිපීමේ වෛරසයයි.


රෝග ලක්ෂණ
කුඩා පැළවලට වැළදුණු විට

·         පත්‍ර ගොනු ගැසී සෙව්වන්දියක් ඇතිවේ
·         පත්‍ර නටු කෙටි වීම සිදුවේ
·         පැළයේ වර්ධනය බාලවී කුරුවීම සිදුවේ
·         අලුත් පත්‍ර කහ කොළ පැහැයක් ගනී


වැඩුණු ශාකවලට වැළදුණු විට
·         අලුත් පත්‍ර ඝන හා ඍජු වේ.කහ පැහැති පත්‍ර දාර උඩු අතට හැකිලීම සිදුවේ
·         පත්‍ර නටුවල දිග අඩුවේ
·         සමහර විට ගොබය හිරවීමද සිදුවේ
·         කෙසෙල් කැන විකෘති වීමද සිදුවිය හැකිය



පාලනය කිරීම
·         නිරෝගී පැළ සිටුවීම
·         වාහක කූඩිත්තන් විනාශ කරලීම
·         රෝගී පැළ උදුරා පිළිස්සීම
·         රෝගයට බදුන්වූ ශාකවල භූගත කොටස් විනාශ කිරීම
·         රෝගී පැළ ඉවත් කිරීමට යොදාගත් උපකරණ නැවත භාවිතයට පෙර පිරිසිදු කරලීම




 මෙම ලිපිය කියවා ඔබ ලබා ගත් දැනුම ඔබගේ මිතුරන්ටත් ලබා දීමට හැකිතරම් සමාජ ජාල වෙබ් අඩවි වෙත බෙදා ගන්නා ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි.

 (මෙම ලිපිය සකස් කෙරුණේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙණි)

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි