බෝග වගාවේදී පාංශු ජීවීන්ගේ බලපෑම අධ්‍යනය කරමු


 මීට පෙර අප පාංශු සංඝටක පිළිබඳව ලියූ ලිපි මගින් පාංශු සංඝටකවල ප්‍රධාන කොටස් තුනක් පිළිබඳ කතා කළා ඔබට මතක ඇති, එම ලිපි ඔබට කියවීමට නොහැකි වූයේ නම් පහත සබැදි වලින් පිවිස ඒවා කියවන්න




අද දිනයේ අපගේ අවධානය යොමු වන්නේ මීලග වැදගත්ම පාංශු සංඝටකය වන පාංශු ජීවීන් පිළිබඳව අධ්‍යනය කිරීමටයි. පසේ ජීවත්වන සියලුම ජීවීන් පාංශු ජීවීන් ලෙස හැදින්විය හැකිය. පියැවි ඇසට පෙනෙන්නා වූ මහා ජීවීන් මෙන්ම පියැවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ද මීට ඇතුලත් වේ.



පාංශු ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය
1.      මහා ජීවීන්
2.      ක්ෂුද්‍ර ජීවීන්


මහා ජීවීන්

මහා ජීවීන් ශාක හා සත්ව ලෙස නැවත බෙදා දැක්විය හැකිය. ශාක මුල් ආදිය ශාක යටතේ දැක්විය හැකි උදාහරණයක් වන අතර කුරුමිණියන්, හැකරැල්ලන්, වේයන් හා කුහුඹුවන් මෙලෙස සත්ව යන කාණ්ඩය යටතේ දැක්විය හැකි උදාහරණයන්ය



ක්ෂුද්‍ර ජීවීන්

ඇල්ගී, බැක්ටීරියා, දිලීර, නෙමටෝඩාවන් සේම ප්‍රෝටෝසෝවාවන්ද ක්ෂුද්‍ර ජීවීන්ට ඇතුලත්ය.




පාංශු ජීවීන්ගේ වැදගත්කම

·         දිලීර, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරයි

·         ගැඩවිලි පණුවන් වැනි සතුන් පස මිශ්‍ර කිරීම සිදුකරයි

·         ඇලෙනසුලු ද්‍රව්‍ය පිටකිරීම සිදුකරන නිසා පාංශු කැටිති ඇතිවීම පහසු කරයි

·         නයිට්‍රජන් තිරකිරීම සිදුකරයි




පාංශු ජීවීන්ගේ අහිතකර බලපෑම්

·         සමහර ජීවීන් ශාකවලට රෝග බෝ කිරීම සිදු කරයි

·         නයිට්‍රීහරණය මගින් ශාක පෝෂකයක් වන නයිට්‍රිජන් පසෙන් ඉවත් කිරීම සිදුකරයි

·         වේයන් වැනි සතුන් ශාකවලට පළිබෝධ ලෙස ක්‍රියා කරයි




මෙම ලිපිය කියවා ඔබ ලබාගත් දැනුම ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියැවීමට හැකිතරම් Facebook, Twitter, Google Plus තුළට බෙදා ගන්න



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න





පාංශු ජලය හා එය බෝග වගාවට වැදගත්වන ආකාරය

මීට පෙර අප ඔබට ගෙන ආ පාංශු සංඝටක හා ඒවායේ බලපෑම ලිපිය තුළදී පාංශු සංඝටක කොටස් 4කින් යුක්ත වන බව සදහන් කළා ඔබට මතක ඇති, එයිනුත් අප පසුගිය ලිපි තුළින් එහි වැදගත් කොටස් වන පාංශු ඛනිජ හා පාංශු වාතය පිළිබඳව ඔබ දැනුවත් කළෙමු. අද දිනයේ අපගේ අරමුණ වන්නේ එයින් තවත් වැදගත් පාංශු සංඝටකයක් වන පාංශු ජලය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.




පස තුළ අඩංගු ජලය පාංශු ජලය ලෙස හදුන්වන අතර එහි ආකාර තුනකි

·         ගුරුත්වාකර්ෂණ ජලය
·         කේශාකර්ෂණ ජලය
·         ජලාකර්ෂණ ජලය






ගුරුත්වාකර්ෂණ ජලය

ගුරුත්වාකර්ෂණ බලය යටතේ පසෙන් ඉවත්වී පහළට ගලා යන ජලය ගුරුත්වාකර්ෂණ ජලයයි. පසෙහි මහා අවකාශ තුළ ඇති ජලය මෙලෙස ඉවත්වී යයි. මෙම ජලය ශාකවලට ලබාගත නොහැකිය.



කේශාකර්ෂණ ජලය

කේශාකර්ෂණ බල මගින් ක්ෂුද්‍ර අවකාශ තුළ රැදී ඇති ජලය මේ නමින් හදුන්වයි. ශාකවලට අවශෝෂණය කරගත හැක්කේ මෙම ජලය පමණකි. එම නිසා මෙම කේශාකර්ෂණ ජලය බෝග වගාවේදී ඉතා වැදගත් වේ.



ජලාකර්ෂණ ජලය

පස් අංශු වටා තදින් බැදී ඇති ජල ස්ථරය ජලාකර්ෂණ ජලය ලෙස හැදින්වේ. මෙම ජලයද ශාකවලට ලබා ගැනීමට හැකියාවක් නැත. මෙම ජලාකර්ෂණ ජලය පසෙන් ඉවත් කළ හැක්කේ පස් උදුනක දමා 105C උෂ්ණත්වය යටතේ පැය 12-24 දක්වා පමණ රත් කිරීමෙන් පමණි.


 
අමතර දැනුමට : කේශාකර්ෂණ බලය යනු යම් ද්‍රව්‍යයක් ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යාමට විරුද්ධව ඉහළට ඇද තබා ගන්නා බලයකි. ඉතාම සියුම් සිදුරු(කේශික සිදුරු) තුළින් මෙසේ ද්‍රව ඉහළට ඇදී යාම සිදුවේ.
උදා: පහන් තිරයක ඇති ඉතා සියුම් කෙදි අතර පවතින කේශික සිදුරු තුළින් තෙල් ඉහළට ඇදීම




පාංශු තෙතමන මට්ටම්


සංතෘප්ත මට්ටම(Saturated Level)

පසකට අධිකව ජලය ලැබෙන අවස්ථාවක එහි වාතය ඉවත්වී ක්ෂුද්‍ර පාංශු අවකාශ හා මහා පාංශු අවකාශ ජලයෙන් පිරී යාම සිදුවේ. මෙම අවස්ථාවේ ඇති පසක් ජලයෙන් සංතෘප්ත පසක් ලෙස හදුන්වන අතර එහි ජලාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය හා ගුරුත්වාකර්ෂණ ජලය උපරිම ධාරිතාවයෙන් ඇත. මෙවැනි තත්වයක් උදා වන්නේ ඉතා තද වර්ෂාවකදී හෝ අධික ජල සම්පාදනයකදීය. මෙම අවස්ථාවේදී පසෙහි වාතය නොමැති බැවින් එය ශාකවලට හිතකර නොමැත.



ක්ෂේත්‍ර ධාරිතාවය(Field Capacity)

මහා අවකාශවලට පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යන අතර එම ජලය ගලා යාමෙන් පසු ක්ෂුද්‍ර අවකාශ තුළ ඇති කේශාකර්ෂණ ජලය හා පස් අංශු වටා ඇති ජලාකර්ෂණ ජලය උපරිම ධාරිතාවයේ පවතී. මෙම අවස්ථාවේ පස ක්ෂේත්‍ර ධාරිතාවයේ ඇතැයි කියනු ලැබේ. මෙම අවස්ථාවේදී පසේ ඇති ජල ප්‍රතිශතය ක්ෂේත්‍ර ධාරිතාවය ලෙස හදුන්වන අතර බෝග වර්ධනය සදහා වඩාත්ම සුදුසු වන්නේ මෙම පාංශු ජල තත්වයයි.




තාවකාලික මැලවීමේ අංකය(Temporary Wilting Point)

ශාක මුල් අවශෝෂණය කිරීම තුළින් මෙන්ම වාෂ්පීකරණය හේතුකොටගෙන ක්ෂේත්‍ර ධාරිතාවයේ පවතින පසකින් කේශාකර්ෂණ ජලය ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එමනිසා ශාකයකට අවශෝෂණය කරගත හැකි ජල ප්‍රමාණයට වඩා එම ශාකයෙන් උත්ස්වේදනය මගින් පිටවන ජල ප්‍රමාණය වැඩිවන විට ශාකය මැලවීමට පටන් ගනී. මේ අවස්ථාවේදී පසට ජල සම්පාදනය කළහොත් ශාක නැවත යථා තත්වයට පත්වේ. මෙම සංසිද්ධිය ශාකයේ තාවකාලික මැලවීම ලෙස හදුන්වන අතර එම අවස්ථාවේ පසේ පවතින ජල ප්‍රතිශතය තාවකාලික මැලවීමේ අංකය ලෙස හැදින්වේ.




ස්ථිර මැලවීමේ අංකය(Permanent Wilting Point)

තාවකාලිකව මැලවෙන ශාකයකට ජලය සම්පාදනය නොකළේ නම් එය තවදුරටත් මැලවීමට ලක්වේ. එක් අවස්ථාවකදී මෙම ශාකය නැවත යථා තත්වයට පත්කළ නොහැකි ලෙස මැලවේ. මෙම අවස්ථාව ශාකයේ ස්ථිර මැලවීම ලෙස හදුන්වන අතර එම අවස්ථාවේ පසේ අඩංගු ජල ප්‍රතිශතය ස්ථිර මැලවීමේ අංකය හෙවත් ස්ථිර මැලවීමේ සංගුණකය ලෙස හැදින්වේ.

පසක ස්ථිර මැලවීමේ අංකය පසේ සංයුතිය, මැලවීමට ලක්වන ශාක වර්ගය හා එහි වයස අනුව වෙනස්වීම සිදුවේ.

පසක ක්ෂේත්‍ර ධාරිතාවය හා මැලවීමේ අංකය බෝගවලට ජල සම්පාදනය කිරීමේදී ඉතා වැදගත් පරාමිතියන් වේ.



පාංශු ජලයේ වැදගත්කම

·         ශාකවල ජීව ක්‍රියාවලි සදහා අත්‍යවශ්‍ය වේ. උදා: උත්ස්වේදනය, ප්‍රභාසංස්ලේෂණය

·         ශාක පෝෂක ශාකයට ලබාදෙන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි

·         බීජ ප්‍රරෝහනයට අවශ්‍ය ජලය සපයාදීම සිදු කරයි

·         පාංශු ජීවීන්ගේ පැවැත්මට උපකාරී වේ.

·         පාෂාණ ජීර්ණයට මෙන්ම පාංශු ජනනයට උපකාරී වේ

·         බිම් සකස් කිරීම පහසු කරයි



මීලඟ ලිපිය තුළින් පාංශු සංඝටකවල මීලග වැදගත්ම කොටසක් වන පාංශු ජීවීන් ගැන තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් මෙම ලිපිය කියවා මෙම බ්ලොග් අඩවියට නැවත් පැමිණීමට ඔබගේ Web Browser එක තුළ Bookmark කරගන්න




අපගේ අනෙකුත් ලිපිත් කියවන්න






බෝග වගාවේදී පාංශු වාතයේ ඇති වැදගත්කම අධ්‍යනය කරමු

මීට පෙර අප ලියූ පාංශු සංඝටක හා ඒවායේ බලපෑම අධ්‍යනය කරමු ලිපියේදී ප්‍රධාන පාංශු ඛාණ්ඩයක් වන ඝන ද්‍රව්‍යවල පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පාංශු සංඝටකවල තවත් වැදගත් කොටසක් වන පාංශු වාතය පිළිබඳව අධ්‍යනය කිරීමටයි.


පසක පස් අංශු අතර ඇති අවකාශ පාංශු ජිද්‍ර ලෙස හදුන්වන අතර පාංශු ජිද්‍ර තුළ රැදී පවතින වාතය පාංශු වාතයයි. පස් අංශු අතර ඇති ඉතා සියුම් අවකාශ ක්ෂුද්‍ර අවකාශ නම් වන අතර සාපේක්ෂව වඩා විශාල අවකාශ මහා අවකාශ නම් වේ. රළු පසක මහා අවකාශ වැඩි අතර සියුම් පසක ක්ෂුද්‍ර අවකාශ වැඩිය

පසක පවතින ජල ප්‍රමාණය අනුවද පාංශු ජිද්‍රවල රැඳෙන වාතයේ ප්‍රමාණය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. පසකට ජලය ලැබෙන විට පාංශු ජිද්‍රවල ඇති ජලය ඉවත් වී එම ඉඩකඩ ජලය මගින් ලබා ගනියි.
පාංශු වාතයේ සංයුතිය වායුගෝලයේ සංයුතියට වඩා වෙනස්ය. වායුගෝලයේ සංයුතිය හා සැසදීමේදී පාංශු වාතයේ CO2 ප්‍රමාණය සාපේක්ෂව වැඩි අතර O2 ප්‍රමාණය සාපේක්ෂව අඩුය. ශාක මුල් ඇතුළු පාංශු ජීවීන් ශ්වසනයේදී O2 ලබා ගැනීමත්, CO2 පිට කිරීමත් පාංශු වාතය පහසුවෙන් සංසරණය නොවීමත්, ඉහත කී වෙනසට හේතු ලෙස දැක්විය හැකිය


පාංශු වාතයේ වැදගත්කම

·         බීජ ප්‍රරෝහනයට හා ශාක මූල මණ්ඩලවල ශ්වසනයට පාංශු වාතයේ ඇති O2 වාතය අවශ්‍ය වේ.

·         සියලුම පාංශු ජීවීන්ගේ ශ්වසනයට පාංශු වාතය අත්‍යවශ්‍ය වේ

·         කාබනික ද්‍රව්‍ය වියෝජනය සදහා උපකාරී වේ

·         පාංශු ජනනය සදහා උපකාරී වේ


අප මීලඟ ලිපිය තුළින් පාංශු සංඝටකවල තවත් වැදගත් කොටසක් වන පාංශු ජලය පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතයි. එතෙක් අපගේ අනෙකුත් ලිපිත් කියවා රසවිදින්න




පාංශු සංඝටක හා ඒවායේ බලපෑම අධ්‍යනය කරමු




මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ගෙන ආ ලිපියකින් පස සෑදීමේ ක්‍රියාවලිය පිළිබඳවත් පාංශු පැතිකඩපිළිබඳවත් ඔබව දැනුවත් කළා මතක ඇතැයි සිතමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූයේ නම් මෙම ලිපිය අධ්‍යනය කිරීමට ප්‍රථම එම ලිපිය අධ්‍යනය කරන්න

පසේ අඩංගු විවිධ කොටස් පාංශු සංඝටක ලෙස හැදින්වෙන අතර, මෙකී පාංශු සංඝටක ප්‍රධාන කොටස් 4කින් යුක්තය.

1.      ඝන ද්‍රව්‍ය
2.      පාංශු වාතය
3.      පාංශු ජලය
4.      පාංශු ජීවීන්

අද දිනයේ මේ ලිපිය තුළින් පාංශු සංඝටකවල ඉතා වැදගත් කොටසක් වන ඝන ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතයි.



ඝන ද්‍රව්‍ය

මෙම ඝන ද්‍රව්‍යය නැවත කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය
1.      පාංශු ඛනිජ
2.      පාංශු කාබනික ද්‍රව්‍ය



පාංශු ඛනිජ


පාෂාණ ජීර්ණය වීමෙන් සෑදෙන විවිධ විශාලත්වයෙන් යුතු ඝන කොටස් පාංශු ඛනිජ ලෙස හැදින්වේ. පාංශු ඝන කොටස් අතරින් ප්‍රධාන සංඝටකය වන්නේද පාංශු ඛනිජය. බෝග වගාවට සුදුසු පසක තිබිය යුතු පාංශු සංඝටක ප්‍රතිශත අනුව පාංශු ඛනිජ 45%ක ප්‍රතිශතයකින් දායක වීම අත්‍යාවශ්‍ය වේ. විෂ්කම්භය මත පාංශු ඛනිජ ආකාර තුනකි. එනම් වැලි, මැටි හා රොන්මඩ ලෙසය.

අංශුවල විෂ්කම්භය සලකා බලා අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමය විසින් පාංශු ඛනිජ පහත ආකාරයට වර්ගීකරණය කර ඇත.

1.      මැටි - විෂ්කම්භය 0.002mm ට වඩා කුඩා අංශු
2.      රොන්මඩ - විෂ්කම්භය 0.02mm – 0.002mm අතර අංශු
3.      සියුම් වැලි - විෂ්කම්භය 0.2mm – 0.02mm අතර අංශු
4.      රළු වැලි - විෂ්කම්භය 2mm – 0.2mm දක්වා අංශු
5.      බොරළු - විෂ්කම්භය 2mm ට වඩා අංශු



විවිධ ප්‍රදේශවල ඇති පස්වල වැලි, මැටි හා රොන්මඩ යන අංශුවල ප්‍රතිශත එකිනෙකින් වෙනස් වේ. ඒ අනුව පාංශු ලක්ෂණද වෙනස් වේ. විවිධ ස්ථානවල ඇති පස් අතට ගෙන ස්පර්ශ කර බැලූ විට රළු බවක් දැනෙන්නේ විශාල ඛනිජ අංශු වැඩිපුර ඇතිවිටය. සියුම් බවක් දැනෙන්නේ සියුම් ඛනිජ අංශු වැඩිපුර ඇතිවිටය.


පාංශු ඛනිජවල වැදගත්කම

1.      කුඩා පස් අංශු එකට බදවා තබා ගනිමින් පාංශු සමූහන හෙවත් කැටිති සාදයි

2.      පසේ ජලය රදවා තබා ගැනීමේ ධාරිතාවය වැඩි කරයි

3.      ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක රදවා තබා ගන්නා සංචිතයක් ලෙස ක්‍රියා කරයි

4.      ජලය උරා ගන්නා නිසා පාංශු ඛාදනය අවම වේ

5.      පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය උපස්තර ලෙස ක්‍රියා කරයි

6.      කාබනික ද්‍රව්‍ය වැඩියෙන් ඇති පසක් කලු පැහැයෙන් යුක්ත වන අතර වැඩි තාප ප්‍රමාණයක්ද අවශෝෂණය ක්‍රයි. එය බීජ ප්‍රරෝහණයට ඉතා වැදගත් වේ

7.      පසෙහි ජලවහනය දියුණු කරයි

8.      හියුමස් මගින් පසේ කලිල ගුණාංග වැඩි දියුණු කිරීම සිදුකරයි

9.      පස ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කොට පසෙහි pH අගය ප්‍රබල ලෙස වෙනස් නොවී පවත්වා ගැනීමට උපකාරී වේ.



මීලඟ ලිපිය තුළින් අප පාංශු සංඝටකවල මීලග වැදගත් කොටසක් වන පාංශු වාතය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. එබැවින් මේ ලිපිය ඔබගේ මිතුරන්ටත් කියැවීමට හැකිතරම් සමාජ ජාලා තුළට බෙදා ගන්න


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න







(උපුටා ගැනීම - කෘෂි හා ආහාර තාක්ෂණය - 10 ශ්‍රේණිය පෙළපොත)

MS Word භාවිතයේදී වැදගත්වන Shortcut Keys හදුනා ගනිමු




Microsoft Word යනු කාර්‍යාලීය ලිපි ලේඛන ආදිය සැකසීමේදී ඉතා වැදගත්වන මෘදුකාංගයකි. අප මේ ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ මෙම මෘදුකාංගය භාවිතයේදී බොහෝ දෙනෙක් භාවිතා නොකරන හෝ නොදන්නා Shortcut Keys පිළිබඳව දැනුවත් කිරීමටයි. මෙමගින් ඔබගේ වැඩ කටයුතු තවත් පහසු වේවි කියා අප සිතමි.


Ctrl + N – New Document එකක් ලබා ගැනීම

Ctrl + O – Save කළ Document එකක් Open කර ගැනීම

Ctrl + W – Document එකක් Close කිරීම

Ctrl + S – Save කිරීම

Ctrl + P – Print කිරීම

Ctrl + F2 – Print Review බලා ගැනීම

Ctrl + X – Select කල කොටසක් Cut කිරීම

Ctrl + C – Select කළ කොටසක් Copy කිරීම

Ctrl + V – Copy කළ හෝ cut කළ කොටසක් Paste කිරීම

Ctrl + B – Bold කිරීම

Ctrl + I – Italic කිරීම

Ctrl + U – Underline කිරීම

Ctrl + Z – Undo කිරීම

Ctrl + Y – Redo කිරීම

Alt + F4 – Opening Window එක Close කිරීම

Ctrl + Shift+  >   - Font Sizes විශාල කිරීම

Ctrl + Shift + <  - Font Sizes කුඩා කිරීම

Shift + A,B,C,D,1,2 – Text වලට වෙන්වූ කැපිටල් අකුරු ලබා ගැනීම හා එකම Key එකක ඉහළින් ඇති සලකුණු ඇතුලත් කිරීම

Ctrl + Shift + D – අකුරු යටින් රේඛා 2ක් ඇද ගැනීම

Shift + Arrow Keys – අකුරු කිහිපයක් හෝ පේලි වෙන වෙනම Select කිරීම







MS Word තුළදී Keyboard එකෙහි බහුලව භාවිතා කරන Keys වර්ග

·         Caps Lock Key – Caps Lock on අවස්ථාවේදී Type කරන සියලුම අකුරු කැපිටල් අකුරු වේ

·         Shift Left/Right Key – Type කරන Text පමණක් කැපිටල් කර ගැනීම හෝ Button එකක ඇති Signals ඇතුළත් කර ගැනීම

·         Space Bar – අකුරු අතර හිස්තැන් තැබීම

·         Enter Key – Page එක තුළ පේලියෙන් පේලිය පහලට ඒම

·         Back Space Key – Type කරන අතරතුර වැරදීමක් සිදුවුවහොත් Text එකින් එක ආපස්සට Delete කිරීම

·         Delete Key – Cursor එකට දකුණු පසින් ඇති Text කොටස් ඉවත් කළ හැකිය








අපගේ අනෙකුත් ලිපිත් කියවන්න





කැටායන හුවමාරු ධාරිතාවය බෝග වගාවට බලපාන්නේ කෙසේද?

 මීට පෙර අප ලියූ ලිපියේදී පාංශු රසායනික ලක්ෂණ පිළිබඳව හැදින්වීමක් කළා ඔබට මතක ඇති. එහිදී බෝග වගාවට වැදගත්වන රසායනික ලක්ෂණ වලින් කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව ඔබ දැනුවත් කළ අතර මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එකී කැටායන හුවමාරු ධාරිතාවය(Cation Exchange Capacity) පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

පාංශු කලිලවලට අධිශෝෂණය වී ඇති කැටායන, පාංශු ද්‍රාවණයේ ඇති කැටායන සමඟ හුවමාරු වීමේ ක්‍රියාවලිය කැටායන හුවමාරුව ලෙස හදුන්වනු ලබනවා. මෙලෙස පසක අයන හුවමාරු වීමේ හැකියාව එම පසෙහි කැටායන හුවමාරු ධාරිතාවය ලෙස හදුන්වනු ලබනවා.


කැටායන හුවමාරු ධාරිතාවය මනින ඒකක දෙකකි
·         පස් ග්‍රෑම් 100කට මිලි සමක
·         පස් කිලෝග්‍රෑමයට සෙන්ටිමෝල්


පසක කැටායන හුවමාරු ධාරිතාවය අධ්‍යනය කිරීමේදී පාංශු කලිල පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ. කලිල යනු විෂ්කම්භය මිලිමීටර 0.002ට වඩා අඩු ඉතා කුඩා අංශුය. පසෙහි කලිල වර්ග දෙකක් අඩංගු වේ. එනම් මැටි කලිල හා කාබනික ද්‍රව්‍ය කලිල(හියුමස්) වේ. විශාලනයේදී මැටි කලිල අංශුවක් ෂඩාස්‍රාකාර පැතලි හැඩයකින්ද හියුමස් කලිලයක් අක්‍රමවත් හැඩයකින්ද යුක්තය.

මැටි කලිලවල බාහිර පෘෂ්ඨයේ ධන හා ඍණ ආරෝපණ අඩංගු අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඍණ ආරෝපිත වේ. හියුමස් කලිල සම්පූර්ණයෙන්ම ඍණ ආරෝපිත වේ. මැටි කලිල හා සංසන්දනයේදී හියුමස් කලිල ඉතා අධික ඍණ ආරෝපණ ප්‍රමාණයක් දරයි.

පාංශු ද්‍රාවණයේ අඩංගු ධන ආරෝපිත කැටායන(H+ , Mg2+, Na+, K+ ) පාංශු කලිලවල ඍණ ආරෝපණ වෙතටද ඍණ ආරෝපිත NO3-, SO42- වැනි අයන පාංශු කලිලයේ ධන ආරෝපණ වෙතටද ආකර්ෂණය වී පවතී. මෙම ක්‍රියාවලිය අයන අධිශෝෂණය ලෙස හැදින්වේ.




කලිලවලට අධිශෝෂණය වී ඇති අයන ශාකවලට අවශෝෂණය කරගත නොහැකි වන අතර ශාකවලට අවශෝෂණය කරගත හැක්කේ පාංශු ද්‍රාවණයේ ඇති අයන පමණි. මේ අනුව පසේ අඩංගු අයන සේදී යා නොදී රැක ගනිමින් අවශ්‍ය විටෙක පාංශු ද්‍රාවණයට අයන මුදා හැරීම සදහා පාංශු කලිල උපකාර වේ. කැටායන හුවමාරු ධාරිතාවය වැඩි පසක් සාරවත් පසක් ලෙස හැදින්වේ.




කැටායන හුවමාරු ධාරිතාවයේ වැදගත්කම

·         පොහොර ලෙස පසට යොදන පෝෂක රදවා තබා ගනියි.
·         අවශ්‍ය විටෙක පාංශු ද්‍රාවණයට අයන මුදා හරියි
·         පස සාරවත් වීම සිදුවේ



දැන් ඔබට කැටායන හුවමාරු ධාරිතාවය හා එහි වැදගත්කම පිළිබඳව යම් තරමක දැනීමක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමු. මෙම ලිපිය කියවා ඔබ ලබාගත් දැනුම ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියවීමට හැකි තරම් සමාජ ජාලාවලට බෙදා ගන්න

මෙම බ්ලොගයට නැවත පැමිණීමට ඔබගේ Web Browser එක තුළ Bookmark කර ගැනීමටද අමතක නොකරන්න


පාංශු රසායනික ලක්ෂණ යනු මොනවාද?

 මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ලියූ පස සෑදීමේ ක්‍රියාවලිය ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමු. අද දිනයේ අපගේ අවධානය යොමු වන්නේ පසක ඇති රසායනික ලක්ෂණ පිළිබඳව විමසා බැලීමටයි.


            ස්වභාවික පරිසරයේ මෙන්ම පසක් තුළද විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවන අතර බෝග වගාවේදී වැදගත්වන රසායනික ලක්ෂණ කිහිපයක් ඇත. එහිදී පහත රසායනික ලක්ෂණ පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ.


  •  පාංශු ප්‍රතික්‍රියාව   
  • කැටායන හුවමාරු ධාරිතාව

අප මෙම ලිපිය තුළින් පාංශු ප්‍රතික්‍රියාව පිළිබඳව අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන අතර මීලග ලිපිය තුළින් කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව තොරතුරු ඔබ හමුවේ තැබීමට අප සූදානම්.



පාංශු ප්‍රතික්‍රියාව(Soil Reaction)

පාංශු ප්‍රතික්‍රියාව යන්න පසේ ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය ලෙස සරලව අර්ථ දැක්වීම කළ හැකිය. ප්‍රධාන වශයෙන් පසක ආම්ලිකතාවය තීරණය කරනු ලබන්නේ පස් අංශු අතර රැදී පවත්නා ජලය හෙවත් පාංශු ද්‍රාවණය තුළ අඩංගු වන H+ හා OH- අයන ප්‍රමාණය මතය

කිසියම පසක පාංශු ද්‍රාවණය තුළ අඩංගු H+ අයන සාන්ද්‍රනය OH- අයන ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් නම් එම පස ආම්ලික පසක් ලෙස හදුන්වන අතර OH- අයන සාන්ද්‍රණය H+ අයන සාන්ද්‍රණයට වඩා වැඩිනම් එය භාෂ්මික පසක් ලෙස හැදින්වේ.

පාංශු ප්‍රතික්‍රියාව මැනීම සදහා භාවිතා කරන්නේ pH පරිමාණයයි. මෙම pH පරිමාණය 0 සිට 14 දක්වා පරාසයකින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පස්වල pH අගය 4 - 8.5 දක්වා වේ.

pH පරිමාණය 



පාංශු ආම්ලිකතාවය

ආම්ලික පස්වල pH අගය 6.5ට වඩා අඩු අගයක් ගන්නා අතර බොහෝ විට වර්ෂාපතනය අධික කදුකර ප්‍රදේශවල ආම්ලික පස් දැකිය හැකිය. ඒ අනුව තේ වැනි වගාවන් සදහා ආම්ලික පස් යොදා ගැනේ.


පසක් ආම්ලික වීමට හේතු
ü  අධික වර්ෂාපතනය හේතුකොටගෙන පසේ අඩංගු Na+ හා Ca2+ වැනි භාෂ්මික අයන ක්ෂරණය වීම
 උදා: තෙත් කලාපීය පස

ü  කාබනික ද්‍රව්‍ය වියෝජනය වීමෙන් කාබනික අම්ල සෑදීම
ü  අම්ල වැසිවල බලපෑම


පාංශු ආම්ලිකතාවයේ අහිතකර බලපෑම්

අධික ආම්ලිකතාවයේදී,
ü  යකඩ, ඇලුමීනියම් සහ මැංගනීස් අයනවල ද්‍රාව්‍යතාව ඉහළ යෑමෙන් බෝගවලට විෂ තත්ව ඇතිවේ.
ü  අද්‍රාව්‍ය පොස්පරස් සංයෝග සෑදෙන අතර, එමගින් ශාකවලට පොස්පරස් ලබාගැනීමට නොහැකි වේ.
ü  බැක්ටීරියා ක්‍රියාකාරීත්වය උදාසීන වීම සිදුවේ


පාංශු ආම්ලිකතාවය උදාසීන කිරීම
ü  පසට කැල්සියම් කාබනේට්, ඩොලමයිට් හා හුනුගල් කුඩු යෙදීම
ü  ආම්ලික පොහොර භාවිතය අවම කිරීම




පාංශු ක්ෂාරීයතාව

කිසියම් පසක සෝඩියම් අයන වැඩිවීම නිසා පාංශු ක්ෂාරීයතාවය ඇතිවේ. ක්ෂාරීය පස්වල pH අගය 8.5ට වඩා වැඩි අගයක් ගන්නා අතර බහුලවම වර්ෂාපතනය හා ඇතුලු කාන්දුවීම අඩු ශුෂ්ක ප්‍රදේශවලදී හමුවේ.


පාංශු ක්ෂාරීයතාවයට හේතු
ü  පස ජනනය වීමේදී එහි මාතෘ පාෂාණය මගින් Na2CO3 හෝ NaHCO3 එකතු වීම
ü  ලවණ සහිත වාරි ජලය මගින් පසට NaHCO3 එකතු වීම
ü  උෂ්ණත්වය අධික ප්‍රදේශවල වාෂ්පීකරණය අධික නිසා පාංශු ජලයේ ඇති ලවණ පස මතුපිටට එකතු වීම


ක්ෂාරීයතාවයේ අහිතකර බලපෑම්
ü  සෝඩියම් අයන පැවතීමෙන් පාංශු ව්යුහය බිඳ වැටේ.
ü  ශාකවලට යකඩ, මැංගනීස් හා පොස්පරස් ලබා ගැනීම අපහසුවේ.
ü  ශාක මුල්වල බාහිරාශෘතිය සිදුවීම නිසා ශාක මිය යයි.


පාංශු ක්ෂාරීයතාවය උදාසීන කිරීම
ü  පසට ජිප්සම් එකතු කිරීම
ü  පසට ගෙන්දගම් එකතු කිරීම
ü  පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම



pH අගය මැනීම

යම්කිසි පස් සාම්පලයක pH අගය මැනීම සදහා pH කඩදාසි භාවිතය හෝ pH මීටරය භාවිතය සිදුකළ හැකිය.

pH කඩදාසි මගින් pH අගය සෙවීම


මේ සදහා පස් හා ජලය 1:6 අනුපාතයට මිශ්‍ර කළ පාංශු ද්‍රාවණය අවශ්‍ය වේ. පස් හා ජලය හොදින් මිශ්‍ර කර පස් අංශු නිශ්චලව තැන්පත් වනතුරු තබන්න. ඉන්පසු pH කඩදාසියක් ගෙන එය ගිල්වා ලැබෙන වර්ණය වර්ණ සටහන සමඟ සැසදීම තුළින් අදාල pH අගය ලබාගත හැකිය.


pH මීටරය මගින් pH අගය සෙවීම


මෙහිදී ඉහත පරිදිම ද්‍රාවණයක් සාදා ගැනීම අවශ්‍ය වන අතර මීටරයේ ඉලෙක්ට්‍රෝඩ ද්‍රාවණයේ ගිල්වීමෙන් pH අගය පහසුවෙන් කියවාගත හැකිය.


මීලඟ ලිපිය තුළින් අප පාංශු රසායනික ප්‍රතික්‍රියාවල මීලඟ වැදගත් ලක්ෂණය වන කැටායන හුවමාරු ධාරිතාවය පිළිබඳව විමසා බැලීමට සූදානම්. එතෙක් අපගේ අනෙකුත් ලිපිද කියවන්න. 



(උපුටා ගැනීම- කෘෂි හා ආහාර තාක්ෂණය- 10 ශ්‍රේණිය -අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අපගේ ජනප්‍රියම ලිපි