ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරමු

අද අපි ඔයාලට ගෙන ආවේ භූගෝල විද්‍යාව විෂයට වගේම කෘෂිකර්මය විෂයට අදාල ලිපියක්. මේ ලිපියත් අදාල වෙන්නෙ ඉතින් පස පිළිබඳවම තමා. කලින් අපි ඔයාලට ගෙනාපු ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳවඅධ්‍යනය කරමු ලිපියත් පස සෑදීමේ ක්‍රියාවලිය ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද ලිපියත් ඔබ කියවන්නට ඇතැයි සිතමු.


පාංශු වර්ගීකරණය



යම්කිසි පිළිවෙලකට අනුව පස පන්ති වශයෙන් බෙදා දැක්වීම පාංශු වර්ගීකරණය ලෙස හදුන්වයි. මෙලෙස පාංශු වර්ගීකරණයක් මුල්වරට ඉදිරිපත් කරනු ලැබූයේ ආචාර්ය ඒ.ඩබ්ලිව්.ආර් ජෝකිම් මහතා විසින් 1945 වර්ෂයේදීය. පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රමවලට අනුකූලව මහාචාර්ය සී.ආර්.පානබොක්කේ මහතා විසින් 1961 වර්ෂයේදී පස් කාණ්ඩ 14කින් යුත් පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කළේ ආචාර්ය එෆ්.ආර්. මුවර්මන් මහතාගේද සහය ඇතිවය.

කෙසේවුවද පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකළ අධ්‍යනයකින් අනතුරුව ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ 10ක් හදුන්වා දෙන ලදී. ඒවා ලංකාව පුරා පැතිරී ඇත.

·         රෙගසෝල් පස
·         දියළු පස
·         නොමේරූ දුඹුරු ලෝම පස
·         රතු දුඹුරු පස
·         චූර්ණමය නොවන දුඹුරු පස
·         සොලඩයිස් සොලනයිට් පස
·         ගෘමුසෝල් පස
·         රතු කහ පොඩ්සොලික් පස
·         රතු දුඹුරු ලැටසොලික් පස
·         රතු ලැටසෝල් පස

මේවා විවිධ ප්‍රමාණවලින් ලංකාව පුරා විසිරී පැතිරී ඇත. එසේම කෘෂිකාර්මික කටයුතු හා විවිධ ඉදිකිරීම් කටයුතු සදහා මේ පස් කාණ්ඩ විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරනු ලබයි.අප මීලගට ඉහත සදහන් කළ පස් කාණ්ඩයන් පිළිබඳව ගැඹුරින් විමසා බලමු.



රතු දුඹුරු පස

මිලිමීටර 200ට අඩු වර්ෂාපතනයක් ලැබෙන අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය ප්‍රදේශවල මෙම පස ව්‍යාප්ත වී ඇත. වියළි කලාපයේ සාම්ප්‍රදායික හේන් ගොවිතැන සදහා යොදා ගැනෙන්නේ මෙම රතු දුඹුරු පසයි. ධාන්‍ය, මාෂ බෝග, තෙල් බෝග, අල, පලතුරු, එළවළු හා අතිරේක ආහාර බෝග වගාවට මෙම පස සුදුසුය. මෙම පස අයන හුවමාරුව හොදින් සිදුවෙන උදාසීන පසක් නිසා බෝග වගාවට ඉතා හිතකරය.




අපරිණත දුඹුරු ලෝම පස

මහනුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට අමතරව වියළි කලාපීය කදු බෑවුම්වල මෙම පස ව්‍යාප්තව ඇත. කුළුබඩු බොග, පලතුරු, එළවළු යන බෝග වගා කිරීමට යෝග්‍ය වේ. තෙත් කලාපීය ප්‍රදේශවලදී ආම්ලික බවින් යුතු අතර ගැඹුර, වයනය හා ජලවහනය සලකා බැලූ කල සතුටුදායකය. වියළි කලාපයේදී උදාසීන ලක්ෂණ පෙන්නුම් කරන අතර නොගැඹුරු පසක් ලෙස පවතී. කැටායන හුවමාරුව මැනවින් සිදුවන අතර රසායනික සරු බවින් වැඩි පසක් ලෙස මෙම අපරිණත දුඹුරු ලෝම පස හදුනාගත හැකිය.




දියළු පස

ශ්‍රී ලංකාවේ ගංගා නිම්න හා පිටාර තැනි ඔස්සේ මෙම පස ව්‍යාප්තව ඇත. මෙම දියළු පස වී වගාවට ඉතා  හිතකරය. එසේම එළවළු හා ක්ෂේත්‍රබෝග සදහාද සුදුසුය. මෙම පසේ වයනය වැලි සිට මැටි දක්වා වෙනස්විය හැකි අතර ඒ අනුව පසේ සාරවත් බව වෙනස් වේ.




රතු කහ පොඩ්සොලික් පස

තෙත් කලාපීය කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර වැනි ප්‍රදේශවල මෙන්ම මාතර, බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල මෙම පස ව්‍යාප්තව පවතී. මෙම ප්‍රදේශවල වර්ෂාපතනය සාපේක්ෂව වැඩි නිසා ආම්ලික තත්වයේ පවතී. මෙම පස විවිධ බෝග වර්ග වගා කිරීමට සුදුසූය. තේ, රබර්, පොල් වැනි ස්ථිර බෝගත් එළවළු පලතුරු මෙන්ම තෘණ වගාවටත් මෙම පස ඉතා සුදුසුය. අයන හුවමාරුව ඉතා හොදින් සිදුවන පසක් නිසා වගාවට ඉතා සුදුසුය.




චූර්ණමය නොවන දුඹුරු ලෝම පස

වියළි කලාපයේ නැගෙනහිර පිහිටි අම්පාර, මඩකළපුව ප්‍රදේශවල මෙන්ම කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල මෙම පස ව්‍යාප්තව ඇත. නොගැඹුරු රළු වයනයක් සහිත මධ්‍යස්ථ ජල වහනයකින් යුක්තය. මේ නිසා භෞතික සරු බවින් දුර්වල වේ. තරමක් ආම්ලික පසක් වන අතර රසායනික සරුභාවය අතින් මධ්‍යස්ථ වේ.




සොලඩයිස් සොලනයිට් පස

මද වශයෙන් රළු වයනයක් ඇති පසකි. පැහැය අතින් දුඹුරු පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්වා වෙනස් වේ. මදක් ආම්ලික බවින් යුතු අතර දියළු තලාවල දැකිය හැකිවේ. සකස් කිරීමෙන් පසුව වී හෝ තෘණ වගා කිරීමට සුදුසුය.




රතු දුඹුරු ලැටසෝල් පස

මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල ව්‍යාප්තව පවතී. ඉතා ගැඹුරු මෙන්ම මනා ජලවහනයක් සහිත පසකි. ඛාදනයට වැඩි වශයෙන් භාජනය නොවේ. මද ආම්ලික මෙම පස තේ, රබර්, කෝපි හා කොකෝවා වැනි වගාවලට සුදුසුය.




දැන් ඔබට ශ්‍රී ලංකාවේ බහුලව පැතිරී ඇති පස් කාණ්ඩ නම් කිරීමට මෙන්ම එම පස් කාණ්ඩවල ලක්ෂණ සදහන් කිරීමටත් හැකිවනු ඇති බව කර්තෘගේ විශ්වාසයයි. මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් දැනුම අනෙක් අයටත් ලබාදීමට ඔබ කැමතිනම් ඔබගේ සමාජ ජාල තුළට මෙම ලිපිය ශෙයා කරන්න.


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න





 



(මෙම ලිපිය සකස් කරන ලද්දේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව හා කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය යන ග්‍රන්ථ දෙක ඇසුරෙනි.)

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි