බෝග වගාවට හානිකරන ශාක රෝග පිළිබඳව දැන ගනිමු

කාලයකට පසුව කෘෂිකර්මය විෂය උදෙසා ලිපියක් ලියන්නට මම තීරණය කළෙමි. මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ලියූ පටක රෝපණය, වර්ධක ප්‍රචාරණය මගින් ශාක ප්‍රචාරණය කරන අයුරු ආදී ලිපි ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු.

අද දිනයේ අප ගෙන එන්නේ ශාක රෝග(Plant Diseases) පිළිබඳවයි.

අප එසේනම් මුලින්ම විමසා බලමු ශාක රෝගයක් යනු කුමක්ද යැයි කියා,

ශාක රෝගයක් යන්න ශාකයට පීඩාකාරී වන අසාමාන්‍ය කායික ක්‍රියා දාමයක් ලෙස අර්ථ දැක්විය හැකිය. 



ශාකයට සිය ජීවන චක්‍රයේ ඕනෑම අවධියක ඕනෑම කොටසක රෝගයක් වැළදීමේ ඉඩකඩ ඇත.
ශාකවලට රෝග වැළදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද සමතුලිත පරිසර පද්ධතියකදී එය ස්වභාවිකවම පාලනය වීම සිදුවේ. නමුත් කෘෂිකර්මාන්තයේදී එක් ශාක වර්ගයක් පමණක් අධීක ගහණයක් ලෙස පවත්වා ගන්නා බැවින් මෙම ස්වභාවික සමතුලිතතාවය ඉක්මවා රෝග පැතිරී යාම සිදුවේ. මෙය ඇතැම් අවස්ථාවලදී වසංගත තත්වයක් දක්වා වුවද වර්ධනය වීම සිදුවේ.

බොහොමයක් ශාක රෝගයන් ඇතිවන්නේ රෝගකාරක ජීවීන් නිසාය. සමහර අවස්ථාවලදී රෝගකාරක ජීවීන් නැතිව වුවද ශාකයන් විවිධාකාර රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පරිසර සාධක අහිතකර ලෙස බලපෑම හෝ කායික අසමතුලිතතා ආදිය නිසා විවිධාකාර ශාක රෝග ලක්ෂණ දැකිය හැකිය. මීට උදාහරණ ලෙස පෝෂණ ඌනතා, මූලද්‍රව්‍ය විෂවීම් හා අහිතකර දේශගුණික සාධක ආදිය දැක්විය හැකිය.



රෝග කාරක ජීවීන්


රෝග කාරක ජීවීන් ව්‍යාධි ජනකයන් ලෙසද හදුන්වන අතර බෝග වගාවේදී බහුලවම දක්නට ලැබෙන ව්‍යාධි ජනකයන් ලෙස දිලීර, බැක්ටීරියා, වෛරස්, ෆයිටොප්ලාස්මා හා වටපණුවන් දැක්විය හැකිය.

බොහොමයක් ව්‍යාධි ජනකයන් ක්ෂුද්‍ර ජීවීන් වන අතර ඔවුන් ශාක පටක තුළට ඇතුළු වී ඒවායින් පෝෂණය ලබයි. මෙමගින් ශාක පටක මිය යාම  සිදුවන අතර ශාකයේ විවිධ කායික ක්‍රියාවලි අඩපණ වීමද සිදුවේ. මෙම රෝග කාරක ජීවීන් ආකාර කිහිපයකින් ශාකය තුළට ඇතුළු වීම සිදුවන අතර පූටිකා, වාසිදුරු ආදී ස්වභාවික සිදුරු මෙන්ම ශාකයේ තුවාල වූ ස්ථාන යනාදිය ඒ යටතේ දැක්විය හැකිවේ. වටපණුවන් හා සමහර දිලීර වර්ගයන් ඔවුන් විසින්ම ශාකය සිදුරු කරගෙන ඇතුළු වීම සිදුවේ.

වෛරස් හා ෆයිටොප්ලාස්මා යන ව්‍යාධි ජනකයන් ප්‍රධාන වශයෙන් ශාකයට ඇතුළු වන්නේ කීඩෑවන්, කූඩිත්තන් ආදී කෘමී සතුන් රෝගී ශාකයක යුෂ උරා බී ඉන් පසුව නිරෝගී ශාකයක යුෂ උරා බොන විට ශාකයට ඇතුළු වීමෙනි. මෙවැනි කෘමී සතුන් රෝග වාහක කෘමීන් ලෙස හැදින්වේ. එසේම ශාකවල ඇති තුවාල වලින් මෙන්ම විවිධ උපකරණ හරහාද වෛරස් හා ෆයිටොප්ලාස්මා ව්‍යාධි ජනකයන් ශාකයට ඇතුළු වේ.



අප මීලගට විමසා බැලීමට සූදානම් වන්නේ දිලීර රෝග පිළිබඳවයි.



දිලීර රෝග (Fungal Diseases)


දිලීර මගින් නිපදවන්නා වූ ප්‍රජනක ව්යූහයන් වන ‘බීජානු’ සුළඟ, ජලය, රෝපණ මාධ්‍ය, සතුන් හා කෘෂි උපකරණ මගින් ව්‍යාප්ත වීම සිදුවන අතර මෙම දිලීර ශාකයේ පත්‍රවලට, සනාල පටකවලට, මූල පද්ධතියට හා ඵලවලට ආසාදනය වීම සිදුවේ.

දිලීර රෝගවල පොදු ලක්ෂණ

1)      පුල්ලි ඇතිවීම (spots) - ශාකයේ පත්‍ර හා ඵල මත රවුම් දුඹුරු පුල්ලි ඇතිවේ. මේවා කහපාට හෝ රතුකහ වලයකින් වටවී ඇත.

2)      අංගමාරය (Blight) - පුල්ලි විශාල වෙමින් එකිනෙක ලඟ පිහිටි පුල්ලි කිහිපයක් එකට මැරුණු ප්‍රදේශ ලෙස දිස්වීම සිදුවේ.

3)      මැලවීම (wilt) - දිලීරය සෛලම පටක තුළට ඇතුළු වීම නිසා ජලය පරිවහනයට බාධා සිදුවන අතර එමගින් ශාක මැලවීම සිදුවේ.

4)      ගඩු (cankers) - ශාක කඳන්වල අභ්‍යන්තරයට ගිල්වුණු පටක දැකිය හැකිය.

5)      තෙත් හෝ වියළි කුණුවීම් (wet rot or dry rot)- මෙහිදී පටක කුණුවී ගිය ස්වභාවයක් පෙන්නුම් කරයි.

6)      මලකඩ ඇතිවීම (Rust)  - රතු කහ පැහැයෙන් යුතු දිලීර බීජාණු පත්‍ර මතුපිට නිපදවූ විට මලකඩ ඇත්තා සේ දිස්වීම සිදුවේ.

7)      පිටිපුස් ඇතිවීම (Powdery meldew) - ශාක මතුපිට දිලීර හා දිලීර බීජාණු නිපදවීම හේතුවෙන් ඒවා පිටි තැවරී ඇත්තා සේ දක්නට ලැබේ.





බැක්ටීරියා රෝග (Bacterial Diseases)


බැක්ටීරියා ජලය, වාතය, කෘෂි උපකරණ හා සතුන් මගින් ව්‍යාප්ත වන අතර ශාකවල ස්වභාවික සිදුරු මගින් හා තුවාල වූ කොටස්වලින් ශාකයට ඇතුළු වේ.

බැක්ටීරියා රෝගවල පොදු ලක්ෂණ

1)      පුල්ලි ඇතිවීම(Spots)
ශාක පත්‍ර හෝ ඵල මත ජලය උරාගත් ලප ලෙස ඇතිවන කෝණාකාර, අක්‍රමවත් පුල්ලි පත්‍ර නාරටිවලින් මායිම්ව ඇත. සමහර අවස්ථාවලදී මැරුණු පටක වටා කහ පැහැති වලයක් තිබිය හැකිය.

2)      අංගමාරය(Blight)
මෙහිදී සිදුවන්නේ පුල්ලි කිහිපයක් විශාල වෙමින් එකට යාවීමයි. මේ නිසා ඒ ප්‍රදේශ මැරුණු ප්‍රදේශ ලෙස දිස්වීම සිදුවේ.


3)      මැලවීම(Wilt)
සෛලම පටකයට ආසාදනය වූ බැක්ටීරියා නිසා ශාක මැලවී යාම සිදුවේ.

4)      මෘදු කුණු වීම(soft rot)
මෙහිදී පටක කුණුවී ගිය ස්වභාවයක් පෙන්නුම් කරන අතර කුණුවූ පටක මගින් දුගද හැමීම සිදුවේ.

5)      ගැටිති ඇතිවීම(Galls)
මෙහිදී ශාක මුල්වල හෝ කදන්වල බැක්ටීරියා ගැටිති ඇතිවීම සිදුවේ.

6)      කබලු ඇතිවීම(Scabs)
පටක මත කොරපොතු වැනි ස්වභාවයක් දක්නට ලැබේ

බැක්ටීරියා ආසාදිත ශාක කොටසක් ජල බදුනකට දැමූවිට බැක්ටීරියා යුෂය ජලයට වෑස්සෙනු දැකිය හැකිවේ.





වෛරස් රෝග(Viral Diseases)


සුදු මැස්සන්, පැළ මැක්කන්, කූඩිත්තන් හා යුෂ උරාබොන කෘමීන් මෙන්ම ශාකයේ හානිවූ තුවාල ස්ථානවලින් වෛරස් ශාකයට ඇතුළු වීම සිදුවේ. මෙසේ ඇතුළුවන වෛරස් ශාකය පුරා පැතිරී ශාකය විනාශ කර දමයි.


වෛරස් රෝගවල පොදු ලක්ෂණ

1)      පත්‍ර කහපාට වීම (Leaf Yellowing)
2)      ශාක කුරුවීම (Stunting)
3)      පත්‍ර නාරටි බේරීම(Vein Clearing)
4)      පත්‍ර, පුෂ්ප හා ඵල විකෘති වීම (Deformation)
5)      පත්‍ර විචිත්‍රය (Mossaic)
6)      පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම (Leaf Rosseting)




වටපණු රෝග (Nematode Diseases)


වටපණුවන් ප්‍රධාන වශයෙන් ශාක මුල්වලට හානි සිදුකරන අතර පත්‍ර, පුෂ්ප හා ඵල වලට හානිකරන වටපණුවන්ද ඇත.මෙම වටපණුවන් සිය මුඛය උපයෝගී කරගෙන ශාක පටක සිදුරුකර ආහාරයට ගන්නා අතර එමගින් ශාක විනාශ වීම සිදුවේ. එළවළු, පලතුරු හා ධාන්‍ය ඇතුළු බොහෝ වගාවන් සදහා වටපණුවන්ගෙන් බොහෝ හානි සිදුවේ.


වටපණු රෝගවල පොදු ලක්ෂණ

·         මුල්වල ගැටිති ඇතිවීම
·         මුල්මත ලප ඇතිවීම
·         මුල් ශාඛනය වීම සහ කෙටි වීම
·         ක්‍රම ක්‍රමයෙන් ශාකය දුර්වල වීම
·         පත්‍ර කහ පැහැති වීම හා සංඛ්‍යාව අඩුවීම සිදුවේ.



ෆයිටොප්ලාස්මා රෝග


ෆයිටොප්ලාස්මා යනු ශාක ප්ලෝයම පටකයන් මත යැපෙන්නා වූ අනිවාර්‍ය පරපෝෂිත ජීවීන් වර්ගයකි. මොවුන් මයිකොප්ලාස්මා ලෙසටද හදුන්වන අතර යුෂ උරා බොන කෘමීන් මගින් මේ ෆයිටොප්ලාස්මාවන් පැතිරීම සිදුවේ.

ෆයිටොප්ලාස්මා රෝගවල පොදු ලක්ෂණ

·         පුෂ්ප වෙනුවට ඒ ස්ථානවල කොළ පැහැ පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම සිදුවේ
·         පුෂ්ප කොළ පැහැයෙන් හටගැනීම සිදුවේ
·         පත්‍ර කහපාට වීම සිදුවේ.
·         ශාක කුරුවීම සිදුවේ.
·         අසාමාන්‍ය ආකාරයෙන් එක් ස්ථානයකින් අතු බෙදී ඉදලක ස්වරූපයක් ගැනීම සිදුවේ. (witches broom)


 දැන් ඔබට ශාක රෝග පිළිබඳව මුලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු. මීලඟ ලිපි මගින් ප්‍රධාන ශාක රෝග පිළිබඳව හා ශාක රෝග පාලනය පිළිබඳව ඔබට තොරතුරු ගැන ඒමට අප සූදානම්. එබැවින් මෙම ලිපිය කියවා ඔබ ලබාගත් දැනුම අනෙකුත් මිතුරන්ටත් ලබා දීමට හැකිතරම් සමාජ ජාලා තුළට ශෙයා කරන්න






(මෙම ලිපිය සකස් කෙරුණේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙනි)


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි