බෝග වගාවට හානිකරන ශාක රෝග පිළිබඳව දැන ගනිමු

කාලයකට පසුව කෘෂිකර්මය විෂය උදෙසා ලිපියක් ලියන්නට මම තීරණය කළෙමි. මීට පෙර අප කෘෂිකර්මය විෂය උදෙසා ලියූ පටක රෝපණය, වර්ධක ප්‍රචාරණය මගින් ශාක ප්‍රචාරණය කරන අයුරු ආදී ලිපි ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු.

අද දිනයේ අප ගෙන එන්නේ ශාක රෝග(Plant Diseases) පිළිබඳවයි.

අප එසේනම් මුලින්ම විමසා බලමු ශාක රෝගයක් යනු කුමක්ද යැයි කියා,

ශාක රෝගයක් යන්න ශාකයට පීඩාකාරී වන අසාමාන්‍ය කායික ක්‍රියා දාමයක් ලෙස අර්ථ දැක්විය හැකිය. 



ශාකයට සිය ජීවන චක්‍රයේ ඕනෑම අවධියක ඕනෑම කොටසක රෝගයක් වැළදීමේ ඉඩකඩ ඇත.
ශාකවලට රෝග වැළදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද සමතුලිත පරිසර පද්ධතියකදී එය ස්වභාවිකවම පාලනය වීම සිදුවේ. නමුත් කෘෂිකර්මාන්තයේදී එක් ශාක වර්ගයක් පමණක් අධීක ගහණයක් ලෙස පවත්වා ගන්නා බැවින් මෙම ස්වභාවික සමතුලිතතාවය ඉක්මවා රෝග පැතිරී යාම සිදුවේ. මෙය ඇතැම් අවස්ථාවලදී වසංගත තත්වයක් දක්වා වුවද වර්ධනය වීම සිදුවේ.

බොහොමයක් ශාක රෝගයන් ඇතිවන්නේ රෝගකාරක ජීවීන් නිසාය. සමහර අවස්ථාවලදී රෝගකාරක ජීවීන් නැතිව වුවද ශාකයන් විවිධාකාර රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පරිසර සාධක අහිතකර ලෙස බලපෑම හෝ කායික අසමතුලිතතා ආදිය නිසා විවිධාකාර ශාක රෝග ලක්ෂණ දැකිය හැකිය. මීට උදාහරණ ලෙස පෝෂණ ඌනතා, මූලද්‍රව්‍ය විෂවීම් හා අහිතකර දේශගුණික සාධක ආදිය දැක්විය හැකිය.



රෝග කාරක ජීවීන්


රෝග කාරක ජීවීන් ව්‍යාධි ජනකයන් ලෙසද හදුන්වන අතර බෝග වගාවේදී බහුලවම දක්නට ලැබෙන ව්‍යාධි ජනකයන් ලෙස දිලීර, බැක්ටීරියා, වෛරස්, ෆයිටොප්ලාස්මා හා වටපණුවන් දැක්විය හැකිය.

බොහොමයක් ව්‍යාධි ජනකයන් ක්ෂුද්‍ර ජීවීන් වන අතර ඔවුන් ශාක පටක තුළට ඇතුළු වී ඒවායින් පෝෂණය ලබයි. මෙමගින් ශාක පටක මිය යාම  සිදුවන අතර ශාකයේ විවිධ කායික ක්‍රියාවලි අඩපණ වීමද සිදුවේ. මෙම රෝග කාරක ජීවීන් ආකාර කිහිපයකින් ශාකය තුළට ඇතුළු වීම සිදුවන අතර පූටිකා, වාසිදුරු ආදී ස්වභාවික සිදුරු මෙන්ම ශාකයේ තුවාල වූ ස්ථාන යනාදිය ඒ යටතේ දැක්විය හැකිවේ. වටපණුවන් හා සමහර දිලීර වර්ගයන් ඔවුන් විසින්ම ශාකය සිදුරු කරගෙන ඇතුළු වීම සිදුවේ.

වෛරස් හා ෆයිටොප්ලාස්මා යන ව්‍යාධි ජනකයන් ප්‍රධාන වශයෙන් ශාකයට ඇතුළු වන්නේ කීඩෑවන්, කූඩිත්තන් ආදී කෘමී සතුන් රෝගී ශාකයක යුෂ උරා බී ඉන් පසුව නිරෝගී ශාකයක යුෂ උරා බොන විට ශාකයට ඇතුළු වීමෙනි. මෙවැනි කෘමී සතුන් රෝග වාහක කෘමීන් ලෙස හැදින්වේ. එසේම ශාකවල ඇති තුවාල වලින් මෙන්ම විවිධ උපකරණ හරහාද වෛරස් හා ෆයිටොප්ලාස්මා ව්‍යාධි ජනකයන් ශාකයට ඇතුළු වේ.



අප මීලගට විමසා බැලීමට සූදානම් වන්නේ දිලීර රෝග පිළිබඳවයි.



දිලීර රෝග (Fungal Diseases)


දිලීර මගින් නිපදවන්නා වූ ප්‍රජනක ව්යූහයන් වන ‘බීජානු’ සුළඟ, ජලය, රෝපණ මාධ්‍ය, සතුන් හා කෘෂි උපකරණ මගින් ව්‍යාප්ත වීම සිදුවන අතර මෙම දිලීර ශාකයේ පත්‍රවලට, සනාල පටකවලට, මූල පද්ධතියට හා ඵලවලට ආසාදනය වීම සිදුවේ.

දිලීර රෝගවල පොදු ලක්ෂණ

1)      පුල්ලි ඇතිවීම (spots) - ශාකයේ පත්‍ර හා ඵල මත රවුම් දුඹුරු පුල්ලි ඇතිවේ. මේවා කහපාට හෝ රතුකහ වලයකින් වටවී ඇත.

2)      අංගමාරය (Blight) - පුල්ලි විශාල වෙමින් එකිනෙක ලඟ පිහිටි පුල්ලි කිහිපයක් එකට මැරුණු ප්‍රදේශ ලෙස දිස්වීම සිදුවේ.

3)      මැලවීම (wilt) - දිලීරය සෛලම පටක තුළට ඇතුළු වීම නිසා ජලය පරිවහනයට බාධා සිදුවන අතර එමගින් ශාක මැලවීම සිදුවේ.

4)      ගඩු (cankers) - ශාක කඳන්වල අභ්‍යන්තරයට ගිල්වුණු පටක දැකිය හැකිය.

5)      තෙත් හෝ වියළි කුණුවීම් (wet rot or dry rot)- මෙහිදී පටක කුණුවී ගිය ස්වභාවයක් පෙන්නුම් කරයි.

6)      මලකඩ ඇතිවීම (Rust)  - රතු කහ පැහැයෙන් යුතු දිලීර බීජාණු පත්‍ර මතුපිට නිපදවූ විට මලකඩ ඇත්තා සේ දිස්වීම සිදුවේ.

7)      පිටිපුස් ඇතිවීම (Powdery meldew) - ශාක මතුපිට දිලීර හා දිලීර බීජාණු නිපදවීම හේතුවෙන් ඒවා පිටි තැවරී ඇත්තා සේ දක්නට ලැබේ.





බැක්ටීරියා රෝග (Bacterial Diseases)


බැක්ටීරියා ජලය, වාතය, කෘෂි උපකරණ හා සතුන් මගින් ව්‍යාප්ත වන අතර ශාකවල ස්වභාවික සිදුරු මගින් හා තුවාල වූ කොටස්වලින් ශාකයට ඇතුළු වේ.

බැක්ටීරියා රෝගවල පොදු ලක්ෂණ

1)      පුල්ලි ඇතිවීම(Spots)
ශාක පත්‍ර හෝ ඵල මත ජලය උරාගත් ලප ලෙස ඇතිවන කෝණාකාර, අක්‍රමවත් පුල්ලි පත්‍ර නාරටිවලින් මායිම්ව ඇත. සමහර අවස්ථාවලදී මැරුණු පටක වටා කහ පැහැති වලයක් තිබිය හැකිය.

2)      අංගමාරය(Blight)
මෙහිදී සිදුවන්නේ පුල්ලි කිහිපයක් විශාල වෙමින් එකට යාවීමයි. මේ නිසා ඒ ප්‍රදේශ මැරුණු ප්‍රදේශ ලෙස දිස්වීම සිදුවේ.


3)      මැලවීම(Wilt)
සෛලම පටකයට ආසාදනය වූ බැක්ටීරියා නිසා ශාක මැලවී යාම සිදුවේ.

4)      මෘදු කුණු වීම(soft rot)
මෙහිදී පටක කුණුවී ගිය ස්වභාවයක් පෙන්නුම් කරන අතර කුණුවූ පටක මගින් දුගද හැමීම සිදුවේ.

5)      ගැටිති ඇතිවීම(Galls)
මෙහිදී ශාක මුල්වල හෝ කදන්වල බැක්ටීරියා ගැටිති ඇතිවීම සිදුවේ.

6)      කබලු ඇතිවීම(Scabs)
පටක මත කොරපොතු වැනි ස්වභාවයක් දක්නට ලැබේ

බැක්ටීරියා ආසාදිත ශාක කොටසක් ජල බදුනකට දැමූවිට බැක්ටීරියා යුෂය ජලයට වෑස්සෙනු දැකිය හැකිවේ.





වෛරස් රෝග(Viral Diseases)


සුදු මැස්සන්, පැළ මැක්කන්, කූඩිත්තන් හා යුෂ උරාබොන කෘමීන් මෙන්ම ශාකයේ හානිවූ තුවාල ස්ථානවලින් වෛරස් ශාකයට ඇතුළු වීම සිදුවේ. මෙසේ ඇතුළුවන වෛරස් ශාකය පුරා පැතිරී ශාකය විනාශ කර දමයි.


වෛරස් රෝගවල පොදු ලක්ෂණ

1)      පත්‍ර කහපාට වීම (Leaf Yellowing)
2)      ශාක කුරුවීම (Stunting)
3)      පත්‍ර නාරටි බේරීම(Vein Clearing)
4)      පත්‍ර, පුෂ්ප හා ඵල විකෘති වීම (Deformation)
5)      පත්‍ර විචිත්‍රය (Mossaic)
6)      පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම (Leaf Rosseting)




වටපණු රෝග (Nematode Diseases)


වටපණුවන් ප්‍රධාන වශයෙන් ශාක මුල්වලට හානි සිදුකරන අතර පත්‍ර, පුෂ්ප හා ඵල වලට හානිකරන වටපණුවන්ද ඇත.මෙම වටපණුවන් සිය මුඛය උපයෝගී කරගෙන ශාක පටක සිදුරුකර ආහාරයට ගන්නා අතර එමගින් ශාක විනාශ වීම සිදුවේ. එළවළු, පලතුරු හා ධාන්‍ය ඇතුළු බොහෝ වගාවන් සදහා වටපණුවන්ගෙන් බොහෝ හානි සිදුවේ.


වටපණු රෝගවල පොදු ලක්ෂණ

·         මුල්වල ගැටිති ඇතිවීම
·         මුල්මත ලප ඇතිවීම
·         මුල් ශාඛනය වීම සහ කෙටි වීම
·         ක්‍රම ක්‍රමයෙන් ශාකය දුර්වල වීම
·         පත්‍ර කහ පැහැති වීම හා සංඛ්‍යාව අඩුවීම සිදුවේ.



ෆයිටොප්ලාස්මා රෝග


ෆයිටොප්ලාස්මා යනු ශාක ප්ලෝයම පටකයන් මත යැපෙන්නා වූ අනිවාර්‍ය පරපෝෂිත ජීවීන් වර්ගයකි. මොවුන් මයිකොප්ලාස්මා ලෙසටද හදුන්වන අතර යුෂ උරා බොන කෘමීන් මගින් මේ ෆයිටොප්ලාස්මාවන් පැතිරීම සිදුවේ.

ෆයිටොප්ලාස්මා රෝගවල පොදු ලක්ෂණ

·         පුෂ්ප වෙනුවට ඒ ස්ථානවල කොළ පැහැ පත්‍ර සෙව්වන්දියක් ඇතිවීම සිදුවේ
·         පුෂ්ප කොළ පැහැයෙන් හටගැනීම සිදුවේ
·         පත්‍ර කහපාට වීම සිදුවේ.
·         ශාක කුරුවීම සිදුවේ.
·         අසාමාන්‍ය ආකාරයෙන් එක් ස්ථානයකින් අතු බෙදී ඉදලක ස්වරූපයක් ගැනීම සිදුවේ. (witches broom)


 දැන් ඔබට ශාක රෝග පිළිබඳව මුලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු. මීලඟ ලිපි මගින් ප්‍රධාන ශාක රෝග පිළිබඳව හා ශාක රෝග පාලනය පිළිබඳව ඔබට තොරතුරු ගැන ඒමට අප සූදානම්. එබැවින් මෙම ලිපිය කියවා ඔබ ලබාගත් දැනුම අනෙකුත් මිතුරන්ටත් ලබා දීමට හැකිතරම් සමාජ ජාලා තුළට ශෙයා කරන්න






(මෙම ලිපිය සකස් කෙරුණේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණය පෙළ පොත ඇසුරෙනි)


ආර්ථික විද්‍යාව ඉගෙනීමට පිවිසෙමු




ආර්ථික විද්‍යාව යනු වර්තමානයේ ඉතාම වැදගත්වන විෂය ක්ෂේත්‍රයකි. අ.පො.ස උසස් පෙළ වානිජ,කලා සිසුන් මෙන්ම කෘෂි විද්‍යාව හදාරන සිසුන්ද මෙම විෂය ධාරාව හදාරති. එමෙන්ම විශ්ව විද්‍යාලවල කෘෂි හා අනෙකුත් උපාධි හදාරන්නන්ද මෙම ආර්ථික විද්‍යා විෂය ධාරාව අනිවාර්‍යය විෂයක් ලෙස හදාරනු ලබයි. එබැවින් ඒ සියලු දෙනා උදෙසා පාඩම් මාලාවක් ගෙන ඒමට අප තීරණය කළෙමු. මේ ලිපිය තුළින් අද අපි බලාපොරොත්තු වන්නේ මූලික පිවිසීමක් ලබා ගැනීමටය.


ආර්ථික විද්‍යාව

"ආර්ථික විද්‍යාව යනු සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීම පිළිබඳව සිදුකරන්නා වූ විද්‍යාත්මක හැදෑරීමයි."



මේ යටතේ ප්‍රධාන සංකල්ප දෙකකි. එනම් සම්පත් හා අවශ්‍යතා ලෙසය.


සම්පත් (Resources)

මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා විවිධ පදාර්ථ හා ශක්ති ප්‍රභේද සම්පත් ලෙස හැදින්විය හැකිය. මේවායේ මූලිකම ලක්ෂණය හිග බවයි.

හිඟ බව යන්න සමාජයේ වාසය කරන ඕනෑම කෙනෙකුට තමා කැමති ඕනෑම අවස්ථාවක, කැමති ඕනෑම සම්පතක් ඕනෑම ප්‍රමාණයකින් ලබා ගැනීමට ඇති නොහැකියාව ලෙස අර්ථ දැක්විය හැකිය.


මෙයට බලපාන්නා වූ හේතු කිහිපයකි.
·         ස්වභාදහම මගින් ලබා දී ඇති සම්පත් ප්‍රමාණය එසේ පාරිභෝජනය කිරීමට නොසෑහීම
·         යම් සම්පතක් කිසියම් නිෂ්පාදන ක්‍රියාවකට යෙදවූ විට එය තවත් ක්‍රියාවකට යෙදවීමට අවස්ථාව නැති වීම
·         අවශ්‍යතා විශාල ලෙස වර්ධනය වූවද සම්පත් එසේ නොවීම




අවශ්‍යතා (Needs/Wants)

යම් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ දැනට තිබෙන තත්වයත් තිබෙන යුතු යැයි ඔවුන් සිතන තත්වයත් අතර පරතරයයි.
මේවායේ මූලිකම ලක්ෂණය ඒවා අසීමිත වීමයි.



නිෂ්පාදන සාධක

නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ හෝ සේවා නිපදවීමට යොදා ගන්නා සියලුම පදාර්ථ හා ශක්ති ප්‍රභේද නිෂ්පාදන සාධක වේ.

මේවායේ ප්‍රධාන ආකාර 4කි.
1.      භූමිය
2.      ශ්‍රමය
3.      ප්‍රාග්ධනය
4.      ව්‍යවසාය

තවද මේ නිෂ්පාදන සාධක පුළුල් වශයෙන් කාණ්ඩ 2කි.



·         ගලායන සම්පත්

කිසියම් අවස්ථාවක භාවිතයට නොගතහොත් පසුව ගබඩා කර භාවිතයට ගත නොහැකි සම්පත් ය.
ශ්‍රමය ව්‍යවසාය හා භූමියෙන් කොටසක් ආදිය මීට උදාහරණ ලෙස දැක්විය හැකිය.



·         ගබඩා කළ හැකි සම්පත්

යම් අවස්ථාවක භාවිතා නොකරයි නම් ගබඩා කර තබා පසුව භාවිතා කල හැකි සම්පත්ය .
ප්‍රාග්ධනය මීට හොද උදාහරණයකි.



අප මීලග ලිපිය තුළින් ඉහත සදහන් කළ ප්‍රධාන නිෂ්පාදන සාධක පිළිබඳව වෙන වෙනම් තොරතුරු ගෙන ඒමට සූදානම්. ඔබට ජය!මෙම ලිපිය ඔබගේ යහලුවන්ටත් කියවීමට හැකි තරම් Facebook,Twitter,Linkedin,Google Plus තුළට Share කරන්න
ඔබ අපගේ බ්ලොගට කැමතිනම් බ්ලොගය Follow කිරීමටද අමතක නොකරන්න







ලෝකයේ කුඩාම රටවල් ගැන ඔබ දන්නවාද?

 මීට පෙර ලිපියකදී අප ඔබට ලෝකයේ විශාලතම රටවල් පිළිබඳව දැනුම ගෙන ආවා මතක ඇති. අද දිනයේ අපගේ මේ උත්සහය වන්නේ ලෝකයේ කුඩාම රටවල් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. මෙය ඔබගේ සාමාන්‍ය දැනීම වර්ධනයට වගේම කියවා රස විදීමටත් වැදගත් ලිපියක් වේවි කියා මා සිතනවා.

ලෝකය ගත්කළ ඒ තුළ රටවල් 200 කට අධික ප්‍රමාණයක් දැකගත හැකි වනවා. නමුත් ඒ තුළ විශාලත්වය අතින් ඉතාම කුඩා රාජ්‍යයන් රැසක්ද දැකිය හැකිය. මේවායෙන් සමහරක් දූපත් රාජ්‍යයන්. සමහර රටවල් පිහිටා ඇත්තේ වෙනත් රටවල් මධ්‍යයේ වීමත් විශේෂ වනවා. ලොව කුඩාම රාජ්‍යයන් 10හි මුළු විශාලත්වය සැලකූ විට එය වර්ග කි.මී 1491 ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ඇමරිකාවේ එක්තරා ප්‍රසිද්ධ නගරයක් වන හූස්ටන්(විශාලත්වය වර්ග කි.මී 1625) නගරයටත් සාපේක්ෂව කුඩාය. මෙම කුඩාම රටවල් ගත්කළ සමහරක් ධනවත් රාජ්‍යයන් වගේම සමහරක් ඔවුන්ටම ආවේණික සංස්කෘතික ලක්ෂණ වලින් යුතු රාජ්‍යයන්.
එසේනම් අප ලොව කුඩාම රටවල් පිළිබඳව වෙන වෙනම විමසා බලමු



10) ග්‍රෙනේඩා රාජ්‍යය


විශාලත්වය වර්ග කි.මී 344ක් වන මෙය කැරීබියන් දූපත් ආශ්‍රිතව පිහිටි එක්තරා කුඩා දූපතකි. මෙය 1649-1763 සමයේ ප්‍රංශ යටත් විජිතයකි. ඒ නිසාම මෙහි ප්‍රංශ සංස්කෘතිය හා ගෘහ නිර්මාණ ශිල්පය දැකිය හැකිය. සංචාරක පාරාදීසයක් වන මෙහි ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ප්‍රසිද්ධය.




9) මෝල්ටා රාජ්‍යය


වර්ග කි.මී 316ක් විශාල මෝල්ටා රාජ්‍යයත් සාගරය තුළ පිහිටි දූපතකි. ජනගහනය 450,00ක් පමණ වන අතර එය ජන ඝණත්වය අතින් ඉහළ තැනක් ගනු ලබනවා. මෙහි ඇති හිරුඑළිය සහිත දේශගුණය හා සුන්දර වෙරළ තීරය නිසා සංචාරකයන්ගේ තවත් සිත්ගත් ස්ථානයක් ලෙස මෙම මෝල්ටා රාජ්‍යය හැදින්විය හැකිය.




8) මාලදිවයින


වර්ග කි.මී 300ක් විශාල මාලදිවයින ඉන්දියන් සාගරය තුළ පිහිටි දකුණු ආසියාතික රටකි. මෙය ආසියාවේ කුඩාම රාජ්‍යයද වනවා. මාලදිවයින සතුව දූපත් 1192ක් සතු වූවත් මිනිස් වාසය පවතින්නේ දූපත් 300ක පමණි. මෙය පෘතුගීසි, ලංදේසී මෙන්ම ඉංග්‍රීසීන්ගේද යටත් විජිතයක් වී පැවතුනා. 1965දී නිදහස ලබාගත් මාලදිවයින තුළ සංචාරක ව්‍යාපාරය අතිසාර්ථකව සිදුවනවා.




7) ශාන්ත කිට්ස් සහ නේවිස්


බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයත් මෙම රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 261 වනවා. සංචාරක ව්‍යාපාර, කෘෂිකර්මය හා කුඩා නිෂ්පාදන මත මෙම රටේ ආර්ථිකය රදා පවතිනවා. මෙය කලක් ප්‍රසිද්ධ සීනී අපනයනය කළ රටක් වූවා.




6) ලිච්ටෙන්ටයින්


ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර ඇල්ෆ්ස් කදුවැටි ආශ්‍රිතව පිහිටි තවත් මනරම් රාජ්‍යයකි. විශාලත්වය වර්ග කි.මී 160කි. රජ කුමරකු අතින් පාලනය වන මෙහි ප්‍රධාන භාෂාව ජර්මානු භාෂාවයි. ලොව අඩුම රැකියා විරහිත ප්‍රතිශතය වන 1.5% වාර්තා වන්නේ මේ ලිච්ටෙන්ටයින් රාජ්‍යයෙනි. මෙම රටට ඇති එකම අඩුපාඩුව වන්නේ රට තුළ ගුවන් තොටුපළක් නොමැති වීමයි.




5) ශාන්ත මැරිනෝ


වර්ග කි.මී 61 විශාල මෙම රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉතාලියෙන් වටවූ රාජ්‍යයකි. යුරෝපය තුළ තුන්වන කුඩාම රාජ්‍යයයි. ජනගහනය 30,000ක් පමණය.




4) ටුවාලු


කලක් එලිස් දිවයින් ලෙස හැදින්වූ ටුවාලු රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 26කි. ඕස්ට්‍රේලියාවට උතුරු නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර රට තුළ මහා මාර්ග වල දිග කි.මි 8කි. රට තුළ ඇත්තේ එකම රෝහලකි. සංචාරකයන් පැමිණීම අතින් ඉතා දුර්වල රාජ්‍යයක් වන මෙහි 2010 වසරටම පැමිණ ඇත්තේ සංචාරකයන් 2000ක් පමණි.





3) නාඋරු


ලොව කුඩාම දූපත් රාජ්‍යය වන නාඋරු රාජ්‍යය ඕස්ට්‍රේලියාවට නැගෙනහිරින් පිහිටා තිබෙනවා. විරැකියාව අතින් ගත්කළ 90% වන අතර මෙහි ජනගහනයෙන් 90% දියවැඩියා රෝගීන් වනවා.




2) මොනාකෝ


ප්‍රංශය තුන් පැත්තකින් වටවූ හා අනෙක් දෙසින් මුහුදින් වටවූ මොනාකෝ රාජ්‍යය ලොව ඒක පුද්ගල ආදායම අතින් ඉහලම රාජ්‍යයයි. මෙහි සියලු වැසියන් ධනවතුන්ය. ප්‍රංශ භාෂාව ප්‍රධාන භාෂාවයි. රට තුළ එකම ගසක්වත් නැත. මෙහි ජනගහනය 36,000ක් පමණ වන අතර ලොව වැඩිම ජන ඝනත්වය ඇති රාජ්‍යයද වේ.




1)      වතිකානුව


ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුව සම්පූර්ණයෙන්ම ඉතාලියේ රෝම නගරය තුළ පිහිටි රටකි. උග්‍ර කතෝලික භක්තිකයන් ජීවත්වන මෙහි පාලකයා වන්නේ ශුද්ධ වූ පාප් වහන්සේය. ලොව විශාලතම දේවමැදුර වන ශාන්ත පීතර බැසිලිකාව මෙහි පිහිටා තිබෙනවා.




මෙම ලොව කුඩාම රටවල් ගැන ලියූ ලිපිය ඔබ කියවා රසවින්දේ නම් ඔබගේ මිතුරන්ටත් කියවීමට හැකි ලෙස සමාජ ජාල වෙතට ශෙයා කරන්න.



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න






නිව්ටන් නියම පිළිබඳව දැන ගනිමු

(මෙම ලිපිය සකස් ලක්ෂ්මන් දිසානායක මහතාගේ අ.පො.ස උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාව ග්‍රන්ථයේ උපුටා ගැනීමකි.)



වස්තුවක් චලනය කිරීම සදහා ඒ මත යම් බලයක් යෙදවිය යුතු බව ද නොඑසේනම්, එම වස්තුව නිශ්චලව එහි “ස්වභාවික අවස්ථාවේ” පවත්නා බවද ඇරිස්ටෝටල් ඇතුළු පැරණි ග්‍රීක ජාතික දාර්ශණිකයෝ විශ්වාස කළහ. ඊට වසර 2000කට පමණ පසුව, ගැලීලියෝ විසින්, මුල් වරට පරීක්ෂණ වලට භාජනය කළ නොහැකි ඝර්ෂණ බල වලින් තොර වූ සෛද්ධාන්තික භෞතික ලෝකයක් ගැන සලකා වස්තුවක චලිතය පිළිබඳව ඉතා වැදගත් ප්‍රථිපලයක් ඉදිරිපත් කළේය.එනම්, බාහිර බලයක් ක්‍රියා කිරීමෙන් එහි චලිතය වෙනස් නොකරන්නේ නම්, සෑම වස්තුවක්ම නියත ප්‍රවේගයකින් දිගටම චලනය වන බවයි. මෙම පදනමේ සිට ගැලීලියෝගෙන් පසුව අයිසැක් නිව්ටන් විසින් පහත සදහන් චලිතය පිළිබද නියම තුන අඩංගු ප්‍රින්සිපියා(principia) නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී. මින් පළමුවන නියමය, ගැලීලියෝගේ නිගමන වලට බෙහෙවින් සමාන විය.



චලිතය පිළිබඳව නිව්ටන්ගේ නියම




1)      සෑම වස්තුවක්ම නිශ්චලව පවතී. එසේ නැතහොත් නියත ප්‍රවේගයකින් යුතුව සරල රේඛාවක් දිගේ චලනය වේ. මෙය වෙනස් කළ හැක්කේ වස්තුව මත බාහිරව ක්‍රියා කරන බලයක් මගින් පමණි.

2)      වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කිරීම නිසා එම වස්තුවෙහි ගම්‍යතාව වෙනස්වන සීඝ්‍රතාව, යොදනු ලබන බලයට අනුලෝමව සමානුපාතික වන අතර ගම්‍යතාව වෙනස්වන දිශාව බලයේ දිශාවම වේ.

3)      වස්තුවක් මත ඇතිවන සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් වස්තුව මගින් ඇති කෙරේ.



අපගේ අනෙකුත් ලිපිත් කියවන්න





මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට හැකිවන ලෙස සමාජ ජාලා තුළට බෙදා ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කරමු

අද අපි ඔයාලට ගෙන ආවේ භූගෝල විද්‍යාව විෂයට වගේම කෘෂිකර්මය විෂයට අදාල ලිපියක්. මේ ලිපියත් අදාල වෙන්නෙ ඉතින් පස පිළිබඳවම තමා. කලින් අපි ඔයාලට ගෙනාපු ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳවඅධ්‍යනය කරමු ලිපියත් පස සෑදීමේ ක්‍රියාවලිය ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද ලිපියත් ඔබ කියවන්නට ඇතැයි සිතමු.


පාංශු වර්ගීකරණය



යම්කිසි පිළිවෙලකට අනුව පස පන්ති වශයෙන් බෙදා දැක්වීම පාංශු වර්ගීකරණය ලෙස හදුන්වයි. මෙලෙස පාංශු වර්ගීකරණයක් මුල්වරට ඉදිරිපත් කරනු ලැබූයේ ආචාර්ය ඒ.ඩබ්ලිව්.ආර් ජෝකිම් මහතා විසින් 1945 වර්ෂයේදීය. පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රමවලට අනුකූලව මහාචාර්ය සී.ආර්.පානබොක්කේ මහතා විසින් 1961 වර්ෂයේදී පස් කාණ්ඩ 14කින් යුත් පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කළේ ආචාර්ය එෆ්.ආර්. මුවර්මන් මහතාගේද සහය ඇතිවය.

කෙසේවුවද පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකළ අධ්‍යනයකින් අනතුරුව ලංකාවේ ප්‍රධාන පස් කාණ්ඩ 10ක් හදුන්වා දෙන ලදී. ඒවා ලංකාව පුරා පැතිරී ඇත.

·         රෙගසෝල් පස
·         දියළු පස
·         නොමේරූ දුඹුරු ලෝම පස
·         රතු දුඹුරු පස
·         චූර්ණමය නොවන දුඹුරු පස
·         සොලඩයිස් සොලනයිට් පස
·         ගෘමුසෝල් පස
·         රතු කහ පොඩ්සොලික් පස
·         රතු දුඹුරු ලැටසොලික් පස
·         රතු ලැටසෝල් පස

මේවා විවිධ ප්‍රමාණවලින් ලංකාව පුරා විසිරී පැතිරී ඇත. එසේම කෘෂිකාර්මික කටයුතු හා විවිධ ඉදිකිරීම් කටයුතු සදහා මේ පස් කාණ්ඩ විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරනු ලබයි.අප මීලගට ඉහත සදහන් කළ පස් කාණ්ඩයන් පිළිබඳව ගැඹුරින් විමසා බලමු.



රතු දුඹුරු පස

මිලිමීටර 200ට අඩු වර්ෂාපතනයක් ලැබෙන අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය ප්‍රදේශවල මෙම පස ව්‍යාප්ත වී ඇත. වියළි කලාපයේ සාම්ප්‍රදායික හේන් ගොවිතැන සදහා යොදා ගැනෙන්නේ මෙම රතු දුඹුරු පසයි. ධාන්‍ය, මාෂ බෝග, තෙල් බෝග, අල, පලතුරු, එළවළු හා අතිරේක ආහාර බෝග වගාවට මෙම පස සුදුසුය. මෙම පස අයන හුවමාරුව හොදින් සිදුවෙන උදාසීන පසක් නිසා බෝග වගාවට ඉතා හිතකරය.




අපරිණත දුඹුරු ලෝම පස

මහනුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට අමතරව වියළි කලාපීය කදු බෑවුම්වල මෙම පස ව්‍යාප්තව ඇත. කුළුබඩු බොග, පලතුරු, එළවළු යන බෝග වගා කිරීමට යෝග්‍ය වේ. තෙත් කලාපීය ප්‍රදේශවලදී ආම්ලික බවින් යුතු අතර ගැඹුර, වයනය හා ජලවහනය සලකා බැලූ කල සතුටුදායකය. වියළි කලාපයේදී උදාසීන ලක්ෂණ පෙන්නුම් කරන අතර නොගැඹුරු පසක් ලෙස පවතී. කැටායන හුවමාරුව මැනවින් සිදුවන අතර රසායනික සරු බවින් වැඩි පසක් ලෙස මෙම අපරිණත දුඹුරු ලෝම පස හදුනාගත හැකිය.




දියළු පස

ශ්‍රී ලංකාවේ ගංගා නිම්න හා පිටාර තැනි ඔස්සේ මෙම පස ව්‍යාප්තව ඇත. මෙම දියළු පස වී වගාවට ඉතා  හිතකරය. එසේම එළවළු හා ක්ෂේත්‍රබෝග සදහාද සුදුසුය. මෙම පසේ වයනය වැලි සිට මැටි දක්වා වෙනස්විය හැකි අතර ඒ අනුව පසේ සාරවත් බව වෙනස් වේ.




රතු කහ පොඩ්සොලික් පස

තෙත් කලාපීය කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර වැනි ප්‍රදේශවල මෙන්ම මාතර, බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල මෙම පස ව්‍යාප්තව පවතී. මෙම ප්‍රදේශවල වර්ෂාපතනය සාපේක්ෂව වැඩි නිසා ආම්ලික තත්වයේ පවතී. මෙම පස විවිධ බෝග වර්ග වගා කිරීමට සුදුසූය. තේ, රබර්, පොල් වැනි ස්ථිර බෝගත් එළවළු පලතුරු මෙන්ම තෘණ වගාවටත් මෙම පස ඉතා සුදුසුය. අයන හුවමාරුව ඉතා හොදින් සිදුවන පසක් නිසා වගාවට ඉතා සුදුසුය.




චූර්ණමය නොවන දුඹුරු ලෝම පස

වියළි කලාපයේ නැගෙනහිර පිහිටි අම්පාර, මඩකළපුව ප්‍රදේශවල මෙන්ම කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල මෙම පස ව්‍යාප්තව ඇත. නොගැඹුරු රළු වයනයක් සහිත මධ්‍යස්ථ ජල වහනයකින් යුක්තය. මේ නිසා භෞතික සරු බවින් දුර්වල වේ. තරමක් ආම්ලික පසක් වන අතර රසායනික සරුභාවය අතින් මධ්‍යස්ථ වේ.




සොලඩයිස් සොලනයිට් පස

මද වශයෙන් රළු වයනයක් ඇති පසකි. පැහැය අතින් දුඹුරු පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්වා වෙනස් වේ. මදක් ආම්ලික බවින් යුතු අතර දියළු තලාවල දැකිය හැකිවේ. සකස් කිරීමෙන් පසුව වී හෝ තෘණ වගා කිරීමට සුදුසුය.




රතු දුඹුරු ලැටසෝල් පස

මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කවල ව්‍යාප්තව පවතී. ඉතා ගැඹුරු මෙන්ම මනා ජලවහනයක් සහිත පසකි. ඛාදනයට වැඩි වශයෙන් භාජනය නොවේ. මද ආම්ලික මෙම පස තේ, රබර්, කෝපි හා කොකෝවා වැනි වගාවලට සුදුසුය.




දැන් ඔබට ශ්‍රී ලංකාවේ බහුලව පැතිරී ඇති පස් කාණ්ඩ නම් කිරීමට මෙන්ම එම පස් කාණ්ඩවල ලක්ෂණ සදහන් කිරීමටත් හැකිවනු ඇති බව කර්තෘගේ විශ්වාසයයි. මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් දැනුම අනෙක් අයටත් ලබාදීමට ඔබ කැමතිනම් ඔබගේ සමාජ ජාල තුළට මෙම ලිපිය ශෙයා කරන්න.


අපගේ අනෙකුත් ලිපිත් කියවන්න





 



(මෙම ලිපිය සකස් කරන ලද්දේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව හා කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය යන ග්‍රන්ථ දෙක ඇසුරෙනි.)

අර්ධ සන්නායක පිළිබඳව ගැඹුරින් විමසා බලමු

අර්ධ සන්නායක පිළිබඳව විමසා බැලීමට ප්‍රථම අප පසුගිය ලිපිය තුළින් ඉලෙක්ට්‍රෝන තාක්ෂණවේදය සදහා පිවිසීමක් ලබා ගත්තා ඔබට මතක ඇති. ඔබට එම ලිපිය කියැවීමට නොහැකි වූවා නම් පහත සබැදියෙන් පිවිස එම ලිපිය කියවන්න.


අද අප මේ ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ පෙර ලිපියේදී ඔබ දැන හදුනාගත් අර්ධ සන්නායක පිළිබඳව වැඩිදුර විමසා බැලීමටයි.



පෙර ලිපියේදී අප ඔබට ආවර්තිතා වගුවේ හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන සිලිකන්(Si) හා ජර්මේනියම්(Ge) යන මූලද්‍රව්‍යය පරිසර උෂ්ණත්වයේදී ඉතා සුලු සන්නායකතාවක් දක්වන බව කීවා ඔබට මතක ඇති. ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේදී මේ අර්ධ සන්නායක මූලද්‍රව්‍යය ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගනු ලබයි.


නිසග අර්ධ සන්නායක (Intrinsic Semiconductors)

අඩු උෂ්ණත්ව තත්ව වලදී අර්ධ සන්නායක තුළින් විද්යුතය ගමන් කිරීමේ හැකියාව අවම මට්ටමක පවතී. උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැංවුවහොත් අර්ධ සන්නායකවල ඉලෙක්ට්‍රෝන මුක්ත වීම සිදුවන අතර ඒ සමගද කුහර ඇතිවීමද සිදුවේ. මේ නිසාම නිදහස් වූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන කුහර ප්‍රමාණයක්ද ජනනය වීම සිදුවේ. මේ නිසා උෂ්ණත්වය වැඩි අවස්ථාවක අර්ධ සන්නායකවල සන්නායකතාව වැඩිවේ.

අර්ධ සන්නායක තුළින් විද්යුතය සන්නයනය වීම සදහා ඉහත සදහන් කළ මුක්ත ඉලෙක්ට්‍රෝන මෙන්ම කුහරද දායක වේ. නිසග අර්ධ සන්නායකවල මුක්ත ඉලෙක්ට්‍රෝන හෝ කුහර ස්ථිරවම නොපවතී. මේවායේ ඉලෙක්ට්‍රෝනවල සිදුවන අහඹු චලනයේදී ඇතැම් බන්ධනවලින් ඉලෙක්ට්‍රෝන මුක්ත වීම සිදුවේ. මෙලෙස ඇතිවන සිදුරුවලට මුක්ත තත්වයේ ඇති ඉලෙක්ට්‍රෝන ඇතුලත් වීම සිදුවේ.


කෙල්වින් 0දී සිලිකන් වල නිදහස් ඉලෙක්ට්‍රෝන නැත 


කාමර උෂ්ණත්වයේ සිලිකන් වල නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත 



කාමර උෂ්ණත්වයේදී මෙවැනි පිරිසිදු අර්ධ සන්නායකවලට නිසග අර්ධ සන්නායක යැයි කියනු ලැබේ.
අර්ධ සන්නායක ලෙස සිලිකන්(Si), ජර්මේනියම්(Ge) වැනි මූලද්‍රව්‍යවලට අමතරව සෙලීනියම්(Se) සහ ටෙලුයිරියම්(Ti) වැනි මූලද්‍රව්‍යයද කොපර් ක්ලෝරයිඩ්(CuCl2), කොපර් ඔක්සයිඩ්(CuO), සින්ක් ඔක්සයිඩ්(ZnO)සහ ගැලියම් ආසනයිට්(GaCN) වැනි සංයෝගද භාවිතා කරනු ලැබේ.

ඉහත සදහන් කළ නිසග අර්ධ සන්නායකවල සන්නායකතාව ඉහළ නැංවිය හැකි වන්නේ උෂ්ණත්වය ඉහළ නැංවීම තුළින් පමණකි. මීට අමතරව අර්ධ සන්නායකවල සන්නායකතාවය පාලනය කිරීම සදහා තවත් ක්‍රමයක් ඇත. එහිදී සිදුවන්නේ ආවර්තිතා වගුවේ 3 වන හා 5 වන කාණ්ඩවල මූලද්‍රව්‍යය ස්වල්ප ප්‍රමාණයක් අර්ධ සන්නායක ව්යූහය තුළට එකතු කිරීමයි. මෙසේ සිදුකිරීම තුළින් අප සාදාගන්නා අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හැදින්වේ. මෙම 3 වන හා 5 වන කාණ්ඩවල මූලද්‍රව්‍යය එකතු කිරීමේ ක්‍රියාවලිය “මාත්‍රණය” ලෙස හදුන්වයි.

මෙලෙස එකතු කරන මූලද්‍රවයය “අපද්‍රව්‍යය” ලෙස හදුන්වන අතර මේ අපද්‍රව්‍යය මාත්‍රණය තුළින් දෙයාකාරයක අර්ධ සන්නායක නිපදවා ගත හැකිය.

1.      p වර්ගයේ අර්ධ සන්නායක
2.      n වර්ගයේ අර්ධ සන්නායක

අප මීලග ලිපිය තුළින් මෙම p වර්ගයේ හා n වර්ගයේ අර්ධ සන්නායක නිපදවන ආකාරය පිළිබඳව විමසා බැලීමට සූදානම්. එතෙක් මෙම ලිපිය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියවීමට සමාජ ජාලා තුළට බෙදා ගන්න.


(මෙම ලිපිය සැකසුනේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු තාක්ෂණවේදය 8 වන ග්‍රන්ථය ඇසුරෙනි.)



අපගේ ජනප්‍රියම ලිපි