මිනිසා ශිෂ්ටාචාරයක් කරා යොමුකළ ගොවිතැන් යුගය ගැන විමසා බලමු

මිනිසා පරිණාමය වූ දිනයේ පටන් ගොවිතැන් යුගය කරා ආ ගමනේදී ඔහු විසින් නොයෙකුත් බාධක කම්කටුකවලට මුහුණ දුන් ආකාරය පසුගිය දඩයම් යුගය හා එඩේර යුගය ගැන අප ලියූ ලිපිවලින් ඔබට පැහැදිලි වන්නට ඇත. එතෙක් ගොවිතැන් යුගය කරා ආ ගමනේදී මිනිසා සිය ප්‍රධාන ආහාරය ලෙස යොදා ගත්තේ සතුන් දඩයම් කිරීමෙන් ලබාගත් මසයි. මස් සදහා දඩයම් කිරීමට සතුන් හිගවීම, සතුන්ට රෝගාබාධ වැළඳීම හා සතුන් කෙරෙහි මානව සිත තුළ වූ අනුකම්පාව ගොවිතැන් යුගයක් කරා යොමුකළ ප්‍රධාන කාරණා විය.


මීට වසර දස දහසේ සිට පන්දහස දක්වා වූ ඈත අතීත කාලය නියම ගොවි යුගය ලෙස විද්වතුන්ගේ මතයයි. මේ යුගයේදී මිනිසා සිය ජීවනෝපාය සලසා ගනු ලැබූයේ ගොවිතැන පාදක කොටගෙනය. මෙහිදී ධාන්‍ය වර්ග හා අලවර්ග වලට ආහාරයේ වැඩි තැනක් ලැබුණු අතරම මස් සදහා හිමිවූයේ දෙවන ස්ථානයයි.

මෙම යුගයේදී සතුන් ඇතිකරලීමේ ප්‍රධාන අරමුණ වූයේ ගොවිතැන් කටයුතුවල පහසුව සදහා උන්ගේ සහාය ලබා ගැනීමයි. මෙම යුගයේදී මස් ලබාගන්නවාට අමතරව පස සරු කරලීමට පොහොර සපයා ගැනීම, බර ගෙන යාම, පිට උඩ යෑම, ප්‍රවාහනය සදහා යොදා ගැනීම, වස්ත්‍ර සදහා ලොම් ලබා ගැනීම ආදී නොයෙකුත් කාර්‍යයන් සිදුකරගත හැකි බව මිනිසා අවබෝධ කර ගන්නා ලදී.

ගොවිතැන් කටයුතුවලදී මිනිසාට නොයෙකුත් ගැටලු හා අභියෝග රාශියකට මුහුණ පෑමට සිදුවිය. එහිදී ප්‍රධානතම අභියෝගය වූයේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය සපයා ගැනීමේ ගැටලුවයි. එසේම ගොවිතැන සදහා සරු පසක් මෙන්ම තැනිතලා භූමියක් සොයාගැනීමද මිනිසාට එල්ල වූ අභියෝගයක් විය. මෙකී ඉහත කියූ ලක්ෂණ බොහෝ ගංගා නිම්නවල වූ බැවින් මිනිසා සිය ස්ථිර ජනාවාස ගංගා නිම්නවල ආරම්භ කරන ලදී. ඉතිහාසඥයන් විශ්වාස කරන ආකාරයට අදින් වසර දස දහසකට පමණ පෙර ගංගා නිම්න ආශ්‍රිතව ස්ථිර ජනාවාස බිහිවන්නට ඇතැයි සැලකේ.

මෙසේ මිනිසා මුලින්ම ජනාවාස පිහිටුවාගත් ගංගා ආශ්‍රිත ප්‍රදේශ වැසි කාලයේදී බොහෝවිට පිටාර ගැලීම සිදුවිය. එමගින් ඒ නිම්න ආශ්‍රිත ප්‍රදේශ අසල පස බෙහෙවින්ම සරුවූ අතර එය කෘෂිකාර්මික කටයුතුවලට බෙහෙවින් හිතකර විය. පවතින දේශගුණික තත්වය සලකා බලා ගැලපෙන ධාන්‍ය වර්ග, පළතුරු හා එළවළු වගා කළ අතර සතුන්ගෙන් ලබාගත් කිරි ඇසුරෙන් විවිධ ආහාර නිපදවීමද ආරම්භ විය. වගා කටයුතු කළ නොහැකි නියඟ කාලයේ ප්‍රයෝජනයට ගැනීම සදහා ආහාර ගබඩා කර තබා ගැනීමටද මිනිසා හුරුවූ අතර එමගින් ආහාර කල් තබා ගැනීමේ ක්‍රම සොයා ගැනීමටද ඔහු සමත් විය.

එඩේර යුගයේදී මිනිසා ගතකළ සංචාරක ජීවිතය නිසා ඔහුට කිසිදු විවේකයක් තිබුණේ නැත. නමුත් ගොවිතැන් යුගයේදී මිනිසාට පෙර යුගවලට වඩා වැඩි නිදහසක් හිමිවූයේය. ධාන්‍ය වගා කිරීමෙන් පසු අස්වැන්න නෙළීම දක්වා ලැබුණු කෙටි විවේකයත් වියළි කාලය තුළ ලැබුණු දිගු විවේකයත් නිසා මිනිසාට නිදහසේ සිතීමට කාලය ඉතිරි විය. එම ලැබූ චින්තනය ඇසුරෙන් ඔහු නව නිපැයුම් රැසක්ද මේ කාලයේදී බිහි කළේය.

සී සෑම සදහා නගුල, බිම් සැකසීම සදහා උදැල්ල හා පෝරුව, අස්වැන්න නෙළීම සදහා දෑකැත්ත, වී ගබඩා කරලීමට වී බිස්ස ධාන්‍ය ඇඹරුම් ගල මෙන්ම සරල ගෘහ භාණ්ඩ හා ගෘහ උපකරණද මෙකල මිනිසා අතින් නිර්මාණය විය.

මිනිසා සොයාගත් නව නිර්මාණ අතර ඉතාම වැදගත් නිර්මාණය වූයේ රෝදයයි. මෙම රෝදය ඇසුරු කරගෙන මැටි භාණ්ඩ නිපදවන කුඹල් සක නිපදවා ගැනීමටත් ප්‍රවාහන කටයුතු සදහා කරත්තය නිපදවා ගැනීමටත් හැකිවිය. මෙකලද ගින්දර ආරක්ෂා කර ගැනීමේ පිළිවෙත අඛණ්ඩව පැවැති අතර ඒ සදහා යොදා ගත්තේ කොළ අතු පැලකි. ගොවිතැන් යුගයේදී එම කොළ අතු පැළ ක්‍රමයෙන් විශාල වෙමින් ලී ඳඩු හා මැටි යොදා සැකසූ දැකුම්කළු ආරක්ෂාකාරී වාසස්ථාන බිහිවූයේය.

ක්‍රිස්තු පූර්ව 5000 කාලය පමණ වන විට ගොවි යුගයේ නව පරිවර්තනයන් රැසක්ම සිදුවිය. නිවාස තැනීම සදහා ගඩොල් හා ගල් කුට්ටි යොදා ගත්තේය. මෙම යුගයේ සිදුවූ අනෙක් වැදගත්ම සොයා ගැනීම වූයේ ලෝහ වර්ග සොයා ගැනීමයි. එසේ සොයාගත් මුල්ම ලෝහය වූයේ තඹ ලෝහයයි. ඉන්පසු යකඩ සොයාගත් අතර එය මිනිස් ශිෂ්ටාචාරය දියුණු කිරීම වේගවත් කළේය.

ජලයේ යාත්‍රා කිරීම සදහා බෝට්ටු, ඔරු හා නැව් සෑදීම ආරම්භ වූයේද මේ සමයේදීය. කලාව කෙරෙහි මිනිසා යොමුවූ අතර කැටයම් කැපීමට හා චිත්‍ර ඇද වර්ණ ගැන්වීමටද ඔහු හුරුවිය. මිනිසාට ලැබුණු නිදහස ඇසුරෙන් ලැබුණු නිදහස් චින්තනය ඔහුව කලාවට යොමු කළේය. මේ කාලය තුළ වඩාත් දියුණු සමාජ ජීවිතයක් තුළ ආගමික හා සංස්කෘතික කටයුතුවලට මිනිසා යොමුවූ අතර නායකත්වය වැනි සංකල්පද බිහිවූයේ මේ සමයේදීය.

මිනිසුන් සමාජයක් වශයෙන් සංවිධානය වෙමින් ජීවත් වීමට හුරුවූ අතර එහිදී එකමුතුකම කැපී පෙනුනේය. ආරක්ෂාව හා තමාගේ ජීවන වෘත්තීන් පහසු කරගැනීමට එකමුතුකම එහිදී බොහෝ වැදගත්  වූයේය. පවුල යන සංකල්පය තුළ පවුල් සංස්ථාව වඩා වැදගත් වූ අතර සිරිත් විරිත් පවත්වාගෙන යාමද වැදගත් කොට සලකන ලදී.

ගම්බිම් බිහිවීම තුළ සමාජ ක්‍රමය පුළුල් වූ අතර සරල දිවි පැවැත්ම ක්‍රමයෙන් සංකීර්ණ විය. ඒ නිසාම භාණ්ඩ හුවමාරු ක්‍රමද ඇතිවූයේය. මේ කාලය තුළ ස්වභාවික පරිසරය පාලනය කිරීමේ බලයද මිනිසා සතුවිය. කාලයක් තිස්සේ තමන් ලබාගත් දැනුම, සිරිත් විරිත් හා තාක්ෂණය ඊලග පරපුරට ලබා දීම වැඩිහිටියන් සතුවූ වගකීමක් ලෙස සැලකූ අතර සංස්කෘතික උරුමයන් පරපුරෙන් පරපුරට හා යුගයෙන් යුගයට යමින් ආරක්ෂා විය. මෙසේ මිනිසා කෘෂිකර්මය සිය ජීවනෝපාය කරගැනීම හේතුකොටගෙන මීලගට ඔවුන් දියුණු ශිෂ්ටාචාර බිහිකරලීමට සමත් විය.

මීලග ලිපිය තුලින් ශිෂ්ටාචාර යන්න කුමක්ද හා මිනිසා එසේ නිර්මාණය කළ ශිෂ්ටාචාර මොනවාද යන්න පිළිබඳව දැනුම හා තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් දිගටම අපගේ බ්ලොගය සමග සම්බන්ධ වී මෙහි ඇති ලිපි කියවා ඔබගේ දැනුම පුළුල් කරගන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපි බොහෝ දෙනෙකුට කියවීමට හැකි වන ලෙස සමාජ ජාල වෙබ් අඩවි වලට හැකි තරම් share කරන්න. එය අපගේ බ්ලොගයේ ඉදිරි ගමනට මහගු පිටිවහලකි.


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි