ලෝකයේ විශාලතම රටවල් ගැන දැන ගනිමු

සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගයේ අද මාතෘකාව විදියට අප තෝරා ගත්තේ ලෝකයේ විශාලතම රටවල් කියන මාතෘකාව. මෙය සාමාන්‍යදැනීම වර්ධනය කර ගැනීමට අපගේ බ්ලොගයට පැමිණෙන හැමෝටම වැදගත් ආකර්ෂණීය ලිපියක් වේවි කියලා මම හිතනවා.

ලෝක සිතියම ගත්කළ ඉන් වැඩිම භූමි ප්‍රමාණයක් හිමිවන්නේ ආසියානු මහද්වීපයටයි. ආසියානු මහද්වීපය හා යුරෝපයට මැදිව පිහිටි රුසියාව තමයි ලෝකයේ විශාලතම රාජ්‍යය වන්නේ. වර්තමානය වන විට ලෝකයේ රටවල් 210 කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. අප්‍රිකානු මහද්වීපය ලෝකයේ වැඩිම රාජ්‍යය ප්‍රමාණයක් හිමි මහද්වීපය වීමේ ගෞරවය හිමිකර ගන්නවා. පසුගිය කාලයේ ලෝකයේ පැවැති යුධමය හා දේශපාලන අර්බුද හේතුවෙන් එතෙක් පැවැති රටවල් කැඩී බෙදී යමින් නව රාජ්‍යයන් බිහිවූ ආකාරය දැකිය හැකි වුනා.


එසේනම් අපි විමසා බලමු ලෝකයේ විශාලතම රාජ්‍යයන් පිළිබඳව,


1)      රුසියාව


කලින් පැවැති සෝවියට් සමූහාණ්ඩුව නව රාජ්‍යයන් වලට කැඩීයාමෙන් පසුව එහි විශාලතම භූමි ප්‍රමාණය හිමි රාජ්‍යය වූයේ රුසියාවයි. මෙහි අගනුවර වන්නේ මොස්කව් නගරයයි. ලොව බල සම්පන්න හා ශක්තිමත් රාජ්‍යයක් ලෙස රුසියාව හැදින්විය හැකිය. ව්ලැඩ්මිර් පුටින් මහතා වර්තමාන රුසියානු ජනාධිපතිවරයාය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 17,098,242
භූමි ප්‍රමාණය මුලු ගොඩබිම් ප්‍රමාණයෙන්: 11.5%
අයිති මහද්වීපය: ආසියා/යුරෝපා




2. කැනඩාව


ලොව දෙවන විශාලතම රාජ්‍යය වන්නේ කැනඩාවයි. අධික ශීතල හා අයිස් වලින් වැසී ඇති නිසාම කැනඩාව තුළ විශාල ජනගහනයක් දැකිය නොහැක. වර්තමානය වනවිට ලොව බොහෝ උගතුන් හා උපාධිධාරීන් මෙම රටට සංක්‍රමණය වන ආකාරයක් දැකිය හැකිය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 9,984,670
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්‍රමාණයෙන් : 6.8%
අයිති මහද්වීපය: උතුරු ඇමරිකාව 





3. ඇමරිකා එක්සත් ජනපදය



ලොව බලසම්පන්නම රාජ්‍යයයි. දේශපාලන,ආර්ථික හා යුධමය අතින් ඇමරිකාවට අභියෝග කිරීමට කිසිම ජගතෙකු තවමත් අසමත්‍. අගනුවර වන්නේ වොෂිංටන් නගරයයි. දිගම ගංගාව වන්නේ මිසීසිපි - මිසෝරි ගංගාවයි. රොකී කදුවැටිය පිහිටා ඇත්තේ ඇමරිකාවේය. ලොස් ඇන්ජලීස්, ලාස් වේගාස්, නිව්යෝර්ක්, ඇට්ලැන්ටා, මියාමි, චිකාගෝ,ඩෙට්‍රොයිට් වැනි නගර ලොව ප්‍රසිද්ධය. ඇමරිකාව තුල ප්‍රාන්ත 50ක් ඇත.

විශාලත්වය වර්ග කිලෝමීටර්:  9,833,516
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්රමාණයෙන්: 6.5%
අයිති මහද්වීපය: උතුරු ඇමරිකාව





4. චීනය


ලොව වඩාත් වේගයෙන් දියුණු වෙමින් පවතින රාජ්‍යයයි. එසේම ලොව වැඩිම ජනගහනයක් ඇති රටවන්නේ චීනයයි. චීනය සතු වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. 2050 වන විට ලොව බලවතා වන්නේ චීනය බව සමීක්ෂණ හෙළි කරනවා.මෙහි අගනුවර වන්නේ බීජ්ං නගරයයි. හොවැංහෝ යැංසි යන ගංගා රට මැදින් ගලා බසිනවා. වී, තිරිඟු, බාර්ලි ආදී වගාවන් රට තුළ ක්‍රියාත්මකයි.

විශාලත්වය වර්ග කිලෝමීටර්:  9,598,094
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්‍රමාණයෙන්: 6.4%
අයිති මහද්වීපය: ආසියානු මහද්වීපය




5. බ්‍රසීලය


ලතින් ඇමරිකානු රාජ්‍යයන් අතරින් විශාලතමයා වන බ්‍රසීලය ලොව පස්වන විශාලතම රාජ්‍යයයි. මෙම රටෙන් බොහෝ ප්‍රමාණයක් ඇමේසන් වැසි වනාන්තරයට වැසී පවතිනවා. ප්‍රධාන ගංගාව වන්නේ ඇමේසන් ගංගාවයි. බ්‍රසීලයේ අගනුවර බ්‍රසීලියා නගරයයි.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 8,514,877
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්රමාණයෙන්: 5.7%
අයිති මහද්වීපය: දකුණු ඇමරිකාව




6. ඕස්ට්‍රේලියාව


දකුණු අර්ධ ගෝලය තුළ පිහිටි ඕස්ට්‍රේලියාව ලොව විශාලත්වය අතින් පස්වන ස්ථානය ගනු ලබනවා. එසේම මුළු ඕස්ට්‍රේලියාවම නිරූපනය කරන්නේ එක මහද්වීපයක්. අගනුවර වන්නේ කැන්බරා නගරයයි. මරේ ඩාලිං දිගම ගංගාව වනවා. රටෙන් විශාල ප්‍රමාණයක් කාන්තාර හා තෘණබිම්ය. මෙල්බර්න්, සිඩ්නි, පර්ත්, බ්‍රිස්බේන් වැනි නගර ලොව ප්‍රසිද්ධය. රටේ මුළු ජනගහනයෙන් 60% ප්‍රධාන නගර 4ක ජීවත් වෙනවා.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 7,692,024
භූමි ප්‍රමාණය මුලු ගොඩබිම් ප්‍රමාණයෙන්: 5.2%
අයිති මහද්වීපය: ඕස්ට්‍රේලියානු මහද්වීපය





7. ඉන්දියාව


විශාලත්වය අතින් ඉන්දියාව ලොව හත්වන ස්ථානය ගනු ලැබූවත් ලොව දෙවන විශාලතම ජනගහනය හිමි රටවන්නේ ඉන්දියාවයි. මොවුන්ට ඇති විශාලතම සම්පත වන්නේ මානව සම්පතයි. කෘෂිකාර්මික රටක් වූවත් කාර්මික නිෂ්පාදන හා සේවා අංශය දියුණු කරමින් ඉන්දියාව මතුයම් දිනෙක ලෝක බලවතෙකු වීමේ සිහිනය දකිනවා. අගනුවර වන්නේ නවදිල්ලි නුවරයි. දිගම ගංගාව බ්‍රහ්මපුත්‍ර ගංගාවයි. කල්කටා, මුම්බායි, චෙන්නායි යන නගර ප්‍රසිද්ධය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 3,287,263
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්‍රමාණයෙන්: 2.3%
අයිති මහද්වීපය: ආසියානු මහද්වීපය





8. ආර්ජන්ටිනාව


දකුණු ඇමරිකානු කලාපීය දියුණු රටක් ලෙස සැලකෙන ආර්ජන්ටිනාව ලොව විශාලත්වය අතින් අටවන ස්ථානය ගනු ලබනවා. බුවනෝර්ස් අයර්ස් අගනුවරයි. අන්දීස් කදුවැටිය පිහිටා ඇත්තේ ආර්ජන්ටිනාවේය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 2,780,400
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්රමාණයෙන්: 2%
අයිති මහද්වීපය: දකුණු ඇමරිකාව




9. ඇල්ජීරියාව


අප්‍රිකානු මහද්වීපයේ විශාලතම රට ඇල්ජීරියාවයි. රටෙන් 80% වැඩි ප්‍රමාණයක් කාන්තාරයි. තෙල් සම්පතින් පොහොසත්ය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 2,381,741
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්රමාණයෙන්: 1.6%
අයිති මහද්වීපය: අප්‍රිකානු මහද්වීපය



10. කොංගෝව


මධ්‍යම අප්‍රිකාව තුළ පිහිටි කොංගෝව වනාන්තරවලින් බහුල රාජ්‍යයක්. ලොව ප්‍රසිද්ධ කොංගෝ වනාන්තරය පිහිටා ඇත්තේ මෙහිය.

විශාලත්වය වර්ග කිලෝමීටර්: 2,344,858
භූමි ප්රමාණය මුලු ගොඩබිම් ප්රමාණයෙන්: 1.6%
අයිති මහද්වීපය: අප්‍රිකානු මහද්වීපය


මීලගට අප ලොව කුඩාම රාජ්‍යයන් 10 පිළිබදවත් තොරතුරු ගෙන ඒමට සූදානම්. මෙම ලිපිය තුළින් ඔබ ඔබගේ දැනුම පොතට යම් දෙයක් ලබා ගත්තේ නම් මෙය අනෙකුත් ඔබගේ යහලුවන්ට කියවීමට හැකිවන සේ Facebook,Twitter,Google Plus තුළට ශෙයා කරන්න. මීලග ලිපිය තුළින් හමුවෙමු.







මිනිසා ශිෂ්ටාචාරයක් කරා යොමුකළ ගොවිතැන් යුගය ගැන විමසා බලමු

මිනිසා පරිණාමය වූ දිනයේ පටන් ගොවිතැන් යුගය කරා ආ ගමනේදී ඔහු විසින් නොයෙකුත් බාධක කම්කටුකවලට මුහුණ දුන් ආකාරය පසුගිය දඩයම් යුගය හා එඩේර යුගය ගැන අප ලියූ ලිපිවලින් ඔබට පැහැදිලි වන්නට ඇත. එතෙක් ගොවිතැන් යුගය කරා ආ ගමනේදී මිනිසා සිය ප්‍රධාන ආහාරය ලෙස යොදා ගත්තේ සතුන් දඩයම් කිරීමෙන් ලබාගත් මසයි. මස් සදහා දඩයම් කිරීමට සතුන් හිගවීම, සතුන්ට රෝගාබාධ වැළඳීම හා සතුන් කෙරෙහි මානව සිත තුළ වූ අනුකම්පාව ගොවිතැන් යුගයක් කරා යොමුකළ ප්‍රධාන කාරණා විය.


මීට වසර දස දහසේ සිට පන්දහස දක්වා වූ ඈත අතීත කාලය නියම ගොවි යුගය ලෙස විද්වතුන්ගේ මතයයි. මේ යුගයේදී මිනිසා සිය ජීවනෝපාය සලසා ගනු ලැබූයේ ගොවිතැන පාදක කොටගෙනය. මෙහිදී ධාන්‍ය වර්ග හා අලවර්ග වලට ආහාරයේ වැඩි තැනක් ලැබුණු අතරම මස් සදහා හිමිවූයේ දෙවන ස්ථානයයි.

මෙම යුගයේදී සතුන් ඇතිකරලීමේ ප්‍රධාන අරමුණ වූයේ ගොවිතැන් කටයුතුවල පහසුව සදහා උන්ගේ සහාය ලබා ගැනීමයි. මෙම යුගයේදී මස් ලබාගන්නවාට අමතරව පස සරු කරලීමට පොහොර සපයා ගැනීම, බර ගෙන යාම, පිට උඩ යෑම, ප්‍රවාහනය සදහා යොදා ගැනීම, වස්ත්‍ර සදහා ලොම් ලබා ගැනීම ආදී නොයෙකුත් කාර්‍යයන් සිදුකරගත හැකි බව මිනිසා අවබෝධ කර ගන්නා ලදී.

ගොවිතැන් කටයුතුවලදී මිනිසාට නොයෙකුත් ගැටලු හා අභියෝග රාශියකට මුහුණ පෑමට සිදුවිය. එහිදී ප්‍රධානතම අභියෝගය වූයේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය සපයා ගැනීමේ ගැටලුවයි. එසේම ගොවිතැන සදහා සරු පසක් මෙන්ම තැනිතලා භූමියක් සොයාගැනීමද මිනිසාට එල්ල වූ අභියෝගයක් විය. මෙකී ඉහත කියූ ලක්ෂණ බොහෝ ගංගා නිම්නවල වූ බැවින් මිනිසා සිය ස්ථිර ජනාවාස ගංගා නිම්නවල ආරම්භ කරන ලදී. ඉතිහාසඥයන් විශ්වාස කරන ආකාරයට අදින් වසර දස දහසකට පමණ පෙර ගංගා නිම්න ආශ්‍රිතව ස්ථිර ජනාවාස බිහිවන්නට ඇතැයි සැලකේ.

මෙසේ මිනිසා මුලින්ම ජනාවාස පිහිටුවාගත් ගංගා ආශ්‍රිත ප්‍රදේශ වැසි කාලයේදී බොහෝවිට පිටාර ගැලීම සිදුවිය. එමගින් ඒ නිම්න ආශ්‍රිත ප්‍රදේශ අසල පස බෙහෙවින්ම සරුවූ අතර එය කෘෂිකාර්මික කටයුතුවලට බෙහෙවින් හිතකර විය. පවතින දේශගුණික තත්වය සලකා බලා ගැලපෙන ධාන්‍ය වර්ග, පළතුරු හා එළවළු වගා කළ අතර සතුන්ගෙන් ලබාගත් කිරි ඇසුරෙන් විවිධ ආහාර නිපදවීමද ආරම්භ විය. වගා කටයුතු කළ නොහැකි නියඟ කාලයේ ප්‍රයෝජනයට ගැනීම සදහා ආහාර ගබඩා කර තබා ගැනීමටද මිනිසා හුරුවූ අතර එමගින් ආහාර කල් තබා ගැනීමේ ක්‍රම සොයා ගැනීමටද ඔහු සමත් විය.

එඩේර යුගයේදී මිනිසා ගතකළ සංචාරක ජීවිතය නිසා ඔහුට කිසිදු විවේකයක් තිබුණේ නැත. නමුත් ගොවිතැන් යුගයේදී මිනිසාට පෙර යුගවලට වඩා වැඩි නිදහසක් හිමිවූයේය. ධාන්‍ය වගා කිරීමෙන් පසු අස්වැන්න නෙළීම දක්වා ලැබුණු කෙටි විවේකයත් වියළි කාලය තුළ ලැබුණු දිගු විවේකයත් නිසා මිනිසාට නිදහසේ සිතීමට කාලය ඉතිරි විය. එම ලැබූ චින්තනය ඇසුරෙන් ඔහු නව නිපැයුම් රැසක්ද මේ කාලයේදී බිහි කළේය.

සී සෑම සදහා නගුල, බිම් සැකසීම සදහා උදැල්ල හා පෝරුව, අස්වැන්න නෙළීම සදහා දෑකැත්ත, වී ගබඩා කරලීමට වී බිස්ස ධාන්‍ය ඇඹරුම් ගල මෙන්ම සරල ගෘහ භාණ්ඩ හා ගෘහ උපකරණද මෙකල මිනිසා අතින් නිර්මාණය විය.

මිනිසා සොයාගත් නව නිර්මාණ අතර ඉතාම වැදගත් නිර්මාණය වූයේ රෝදයයි. මෙම රෝදය ඇසුරු කරගෙන මැටි භාණ්ඩ නිපදවන කුඹල් සක නිපදවා ගැනීමටත් ප්‍රවාහන කටයුතු සදහා කරත්තය නිපදවා ගැනීමටත් හැකිවිය. මෙකලද ගින්දර ආරක්ෂා කර ගැනීමේ පිළිවෙත අඛණ්ඩව පැවැති අතර ඒ සදහා යොදා ගත්තේ කොළ අතු පැලකි. ගොවිතැන් යුගයේදී එම කොළ අතු පැළ ක්‍රමයෙන් විශාල වෙමින් ලී ඳඩු හා මැටි යොදා සැකසූ දැකුම්කළු ආරක්ෂාකාරී වාසස්ථාන බිහිවූයේය.

ක්‍රිස්තු පූර්ව 5000 කාලය පමණ වන විට ගොවි යුගයේ නව පරිවර්තනයන් රැසක්ම සිදුවිය. නිවාස තැනීම සදහා ගඩොල් හා ගල් කුට්ටි යොදා ගත්තේය. මෙම යුගයේ සිදුවූ අනෙක් වැදගත්ම සොයා ගැනීම වූයේ ලෝහ වර්ග සොයා ගැනීමයි. එසේ සොයාගත් මුල්ම ලෝහය වූයේ තඹ ලෝහයයි. ඉන්පසු යකඩ සොයාගත් අතර එය මිනිස් ශිෂ්ටාචාරය දියුණු කිරීම වේගවත් කළේය.

ජලයේ යාත්‍රා කිරීම සදහා බෝට්ටු, ඔරු හා නැව් සෑදීම ආරම්භ වූයේද මේ සමයේදීය. කලාව කෙරෙහි මිනිසා යොමුවූ අතර කැටයම් කැපීමට හා චිත්‍ර ඇද වර්ණ ගැන්වීමටද ඔහු හුරුවිය. මිනිසාට ලැබුණු නිදහස ඇසුරෙන් ලැබුණු නිදහස් චින්තනය ඔහුව කලාවට යොමු කළේය. මේ කාලය තුළ වඩාත් දියුණු සමාජ ජීවිතයක් තුළ ආගමික හා සංස්කෘතික කටයුතුවලට මිනිසා යොමුවූ අතර නායකත්වය වැනි සංකල්පද බිහිවූයේ මේ සමයේදීය.

මිනිසුන් සමාජයක් වශයෙන් සංවිධානය වෙමින් ජීවත් වීමට හුරුවූ අතර එහිදී එකමුතුකම කැපී පෙනුනේය. ආරක්ෂාව හා තමාගේ ජීවන වෘත්තීන් පහසු කරගැනීමට එකමුතුකම එහිදී බොහෝ වැදගත්  වූයේය. පවුල යන සංකල්පය තුළ පවුල් සංස්ථාව වඩා වැදගත් වූ අතර සිරිත් විරිත් පවත්වාගෙන යාමද වැදගත් කොට සලකන ලදී.

ගම්බිම් බිහිවීම තුළ සමාජ ක්‍රමය පුළුල් වූ අතර සරල දිවි පැවැත්ම ක්‍රමයෙන් සංකීර්ණ විය. ඒ නිසාම භාණ්ඩ හුවමාරු ක්‍රමද ඇතිවූයේය. මේ කාලය තුළ ස්වභාවික පරිසරය පාලනය කිරීමේ බලයද මිනිසා සතුවිය. කාලයක් තිස්සේ තමන් ලබාගත් දැනුම, සිරිත් විරිත් හා තාක්ෂණය ඊලග පරපුරට ලබා දීම වැඩිහිටියන් සතුවූ වගකීමක් ලෙස සැලකූ අතර සංස්කෘතික උරුමයන් පරපුරෙන් පරපුරට හා යුගයෙන් යුගයට යමින් ආරක්ෂා විය. මෙසේ මිනිසා කෘෂිකර්මය සිය ජීවනෝපාය කරගැනීම හේතුකොටගෙන මීලගට ඔවුන් දියුණු ශිෂ්ටාචාර බිහිකරලීමට සමත් විය.

මීලග ලිපිය තුලින් ශිෂ්ටාචාර යන්න කුමක්ද හා මිනිසා එසේ නිර්මාණය කළ ශිෂ්ටාචාර මොනවාද යන්න පිළිබඳව දැනුම හා තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් දිගටම අපගේ බ්ලොගය සමග සම්බන්ධ වී මෙහි ඇති ලිපි කියවා ඔබගේ දැනුම පුළුල් කරගන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපි බොහෝ දෙනෙකුට කියවීමට හැකි වන ලෙස සමාජ ජාල වෙබ් අඩවි වලට හැකි තරම් share කරන්න. එය අපගේ බ්ලොගයේ ඉදිරි ගමනට මහගු පිටිවහලකි.


ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව අධ්‍යයනය කරමු

ඉතින් අද අපි Sinhala Subjects බ්ලොගය තුළින් ඔයාලට ගෙන එන්නේ භූගෝල විද්‍යාව හා කෘෂිකර්මය විෂයට අදාල ලිපියක් එනම් ශ්‍රී ලංකාවේ පාෂාණ කියන මාතෘකාව යටතේ. ඉතින් මේ ලිපිය අ.පො.ස සාපෙළ නංගිලා මල්ලිලාටත් අනෙකුත් පස පිළිබඳව අධ්‍යනය කරන හා ඉගෙන ගන්න හැමෝටම වැදගත් වේවි කියලා මම හිතනවා.

මීට පෙර අප පස පිළිබඳව ලියූ ලිපිය කියවන්න



ශ්‍රී ලංකාවේ ඇති පාෂාණ සලකා බැලූ කළ ඉන් 90% පමණම අයත් වන්නේ ප්‍රාග් ක්‍රේම්බීය හෙවත් ආකියන් යුගයටයි. පොසිලවලින් තොර මෙම පාෂාණ විශේෂය අධික ලෙස ස්ඵටිකීකරණයට ලක්ව ඇත. කාලය ගත්වීමත් සමග විපරිත වීමෙන් අනතුරුව වර්තමානයේ නයිස් පාෂාණ වශයෙන් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ පාෂාණ ව්‍යාප්ති සිතියම 



භූ කාලය සලකා බලා ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක සැකැස්ම ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වා ඇත.

1.      විජයානු ශ්‍රේණිය (ප්‍රාග් ක්‍රේම්බ්‍රීය ස්ඵටික පාෂාණ)
2.      උස්බිම් ශ්‍රේණියට අයිති ග්‍රැනයිට් පාෂාණ
3.      ජුරාසික, මයෝසීන හුණුගල් හා චාතුර්ථක යුගයට අයත් පාෂාණ ලෙසය




විජයානු ශ්‍රේණිය

ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් මෙම පාෂාණ ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණ දිග ප්‍රදේශවල පිහිටි පහත්බිම්වල බහුලව දැකිය හැකිය. මෙම කලාපයේ පාෂාණ වර්ග මිශ්‍රව ඇති අතර උස්බිම් ශ්‍රේණියට හා විජයානු ශ්‍රේණියට ආක්‍රාන්ත වූ පාෂාණ තීරු කිහිපයක්ද දැකිය හැකිවේ. කල්ලෝඩය වේල්ල මීට නිදසුනකි.




උස්බිම් ශ්‍රේණිය

උස්බිම් ශ්‍රේණියට බහුලවම අයත් වන්නේ ග්‍රැනයිට් පාෂාණය. මෙම පාෂාණ ත්‍රීකුණාමල ප්‍රදේශයේ සිට නිරිත දිගට විහිදී කදුකරය දක්වා පැතිර පවතී. මෙම ශ්‍රේණියට අයත්වන පාෂාණ විවිධය. පොළොන්නරුව, මින්නේරිය මෙන්ම මධ්‍යම කදුකරයේමාතලේ දිස්ත්‍රික්කයේද පැතිර ඇත. ගානට්, මිනිරන්, ෂිස්ට්, තිරුවානා, චානොකයිට් හා ස්ඵටික හුණුගල් යන පාෂාණ මෙහිදී ඉතා වැදගත් වේ.




ජුරාසික හා මයෝසීන හුණුගල් ප්‍රදේශ

තබ්බෝව, ආඬිගම හා හලාවත ආසන්නයේ පල්ලම ප්‍රදේශවල ජුරාසික නිධි දක්නට හැකිය. නොගැඹුරු ජලයේ තැන්පත් වී ඇති මෙම ජුරාසික නිධිවල පොසිල හෙවත් ශාක ලක්ෂණ හා බීජානු දැකිය හැකිය. මුලතිව් සිට පුත්තලම දක්වා අදිනු ලබන රේඛාවකින් ඉහළ පිහිටි උතුරු ප්‍රදේශය මයෝසීන හුණුගල් ප්‍රදේශ වේ. අතිශය වැදගත් ජලධර ප්‍රදේශයක් වන මෙම මයෝසීන හුණුගල් කලාපයේ වැලි, මැටි හා වීදුරු වැලිද දක්නට හැකිය.




දැන් ඔබට ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. මීලග ලිපිය තුළින් ඔබට ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිළිබදවත් ශ්‍රී ලංකාවේ පස පිළිබඳවත් දැනුම ගෙන ඒමට අප සූදානම්. එතෙක් අප සමග රැදී සිටින මෙන් ඔබෙන් ඉල්ලා සිටින අතර මෙය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් කියැවීමට හැකිවන ලෙස share කරන්න


( මෙය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත ආශ්‍රයෙන් සැකසූවකි.)



ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය

 අද දිනයේ සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගයේ අප ඔබට ගෙන එන්නේ තරමක් විෂයානුකූල බවින් දුරස් වූ ලිපියක්. අද අප මේ ලිපිය තුළින් කරුණු ගෙන ඒමට සැරසෙන්නේ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පිළිබදවයි.



පරිසරය හා අත්වැල් බැදගත් සංවර්ධනය තුළින් දේශයේ ආර්ථික සෞභාග්‍ය කරා යන අරමුණ අතැතිව 1968 වසරේදී සකස් කරනු ලැබූ මහවැලි සංවර්ධන මූලික සැලැස්මට අයත්ව තිබූ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නොයෙකුත් දේශපාලන හා වෙනත් ගැටලු නිසා ප්‍රමාද විය. නැවත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ 2002 වසරින් පසුවය.

මහවැලි ගගේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය තලවකැලේ නගරය ආසන්නයේදී හරස් කිරීමෙන් ලබාගන්නා ජලය, කිලෝමීටර 12.5 ක පමණ දුරක් උමං මාර්ගයක් ඔස්සේ , කොත්මලේ නියම්ගංදොර ප්‍රදේශයේ පිහිටි භූගත විදුලි බලාගාරය වෙත රැගෙන ගොස් එහිදී මෙගා වොට් 150ක විදුලි බල ධාරිතාවක් ජනනය කොට, ජාතියේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැයට දායාද කිරීම, ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය මගින් ඉටු කොට ඇත.



වේල්ල



ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල තලවකැලේ නගරය ආසන්නයේ පිහිටා ඇති අතර එය කොන්ක්‍රීට් වලින් නිමවූවකි. එය දිගින් මීටර 180ක්ද උසින් මීටර 35.5 ක් ද වන අතර වාන් දොරටු 5කින්ද සමන්විතය. ජලාශයේ එක් රැස්වන වැලි හා රොන් මඩ ඉවත් කිරීම සදහා මෙන්ම ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ රමණීයත්වය උදෙසා දිය ඇල්ල වෙත ජලය නිදහස් කිරීමට සැකසූ විශේෂ දොරටු දෙකකින්ද යුක්තය. මෙම වේල්ල තුළින් හදිසි ගංවතුර තත්වයකදී තත්පරයට ජලය ඝන මීටර 3300ක් වාන් දොරටුවලින් පිටතට යැවිය හැකිය.



ජලාශය

ජලාශයේ ප්‍රයෝජනයට ගත හැකි ධාරිතාව ඝන මීටර් 822,000ක් වන අතර සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 1,200,000ක් පමණ වේ. මෙය වර්ග මීටර් 250,000ක වපසරියක් පුරා පැතිර පවතී. උපරිම සැපයුම් මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 1190ක් වේ.



උමං මාර්ගය


දිගින් කිලෝමීටර 12.5ක් වන උමං මාර්ගය හරස්කඩ අශ්ව ලාඩමක හැඩයෙන් යුතු විෂ්කම්භය මීටර 5.8ක් පමණ වූවකි. අධි පීඩනයකින් යුතුව ටර්බයින වෙත ජලය යොමු කිරීම සදහා, උම්ං මාර්ගය කෙළවර පෙන්ස්ටෝක් නමින් හැදින්වෙන, ඉහළ සිට පහළට දිවෙන නල පද්ධතියක් ඇත.



ටර්බයින යන්ත්‍ර

ෆ්රැන්සිස් වර්ගයේ ටර්බයින යන්ත්‍ර 2ක් බලාගාරය තුළ සවිකර ඇති අතර එක් ටර්බයිනයකට මෙගා වොට් 77ක ශක්තියක් ජලයෙන් උකහාගෙන යාන්ත්‍රික ශක්තිය බවට පත් කිරීමට හැකියාව ඇත. සර්පිලාකාර බහාලුමක් තුළ ටර්බයිනය රදවා ඇත.


විදුලි ජනක යන්ත්‍ර

මෙගාවොට් 75ක විද්‍යුත් ශක්තියක් ජනනය කළ හැකි ජනක යන්ත්‍ර 2ක් බලාගාරය සතුවන අතර තඹ දඟරයක් තුළ විද්‍යුත් චුම්බකයක් විනාඩියට වට 600ක් කරකැවීම මගින් විදුලිය ජනනය කිරීම සිදුකරයි. ටර්බයිනයෙන් මෙලෙස ලැබෙන යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත්වේ. වාර්ෂික විදුලි ඒකක මිලියන 409ක් ජලවිදුලිබල පද්ධතියට එකතු කිරීමට ඉහල කොත්මලේ විදුලි බලාගාරය සමත් වෙයි. මෙසේ නිපදවන විදුලි ඒකක ප්‍රමාණය නිවාස ලක්ෂ පහකට පමණ විදුලිය සැපයීමට ප්‍රමාණවත්ය.



සම්ප්‍රේෂණ මාර්ගය

නියම්ගම්දොර පිහිටි ඉහළ කොත්මලේ බලාගාරයේ සිට ගම්පොල අටබාගේ ප්‍රදේශයේ පිහිටි වහරු අංගනය දක්වා මෙමගින් විදුලිය සම්ප්‍රේෂණය කරන අතර සම්ප්‍රේෂණ වෝල්ටීයතාවය කිලෝවෝල්ට් 220ක ප්‍රමාණයකි. සම්ප්‍රේෂණ කුලුණු 45කින් යුතු එම මාර්ගය කිලෝමීටර් 15.5ක් පුරා දිව යන්නකි.



ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල


ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා සිදුවූ ලොකුම පාඩුවක් වූයේ ලංකාවේ සුන්දරත්වය වැඩි දියුණු කළ මනරම් දිය ඇල්ලක් වූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල වසා දැමීමට සිදුවීමයි. මෙය පසුගිය කාලයේ දැඩිව කතාබහට ලක්වුණි. පසුව තීරණය වූයේ දිය ඇල්ලේ අසිරිය ආරක්ෂා වන පරිදි ජල ප්‍රමාණයක් කොත්මලේ ඔයට මුදා හැරීමටයි. ඒ අනුව ජලය ඝණ මීටර 47250ක් ඒ වෙනුවෙන් ජලාශයෙන් මුදා හැරේ.

එසේම තලවකැලේ-හැටන් ප්‍රධාන මාර්ගයට යාබදව, දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන්, විශේෂ නැරඹුම් ස්ථානයක්ද ඉදිකොට ඇත.



ව්‍යාපෘති දත්ත

·         මුළු වියදම : රුපියල් බිලියන 55

·         ආධාර සැපයූ රට : ජපානය

·         විශේෂඥ උපදෙස් සැපයීම :
Elaectric Power Development Company, Japan


·         ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් :
Maeda Corporation, Japan
Maeda Nishimatsu Joint Venture, Japan
Kurimoto Limited, Japan
Mitsubishi Corporation, Japan
Kinden Corporation, Japan


·         නැවත පදිංචි කරන ලද පවුල් සංඛ්‍යාව : 498

·         විදුලි ජනන හැකියාව : 150MW

·         ව්‍යාපෘතියේ ආරම්භක දිනය: 2003 නොවැම්බර් 16

·         වානිජ මෙහෙයුම් ආරම්භය : 2012 අප්‍රේල් 6



මේ සදහා වැඩි දුර තොරතුරු සදහා www.ukhp.lk වෙත පිවිසෙන්න



(මෙය ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ සේවක සුභ සාදක සංගමය නිකුත් කළ අත් පත්‍රිකාවක් ඇසුරෙන් නිර්මාණය වූවක් බව දැනුම් දෙමි.)




එඩේර යුගයේදී මිනිසා කෙසේ ජීවත් වූයේද

මීට පෙර අප ඉතිහාසය විෂය වෙනුවෙන් ලියූ ලිපියේදී ශිෂ්ඨාචාරය වර්ධනය වූ ආකාරය පිළිබදවත් දඩයම්යුගයේදී මිනිසා ජීවත් වූ ආකාරය පිළිබදවත් දැනුම ගෙන ආවා මතක ඇති. අද අප මේ ලිපිය තුළින් ඔබට දැනුම ගෙන ඒමට සූදානම් වන්නේ එඩේර යුගය පිළිබදවයි.


එඩේර යුගය


වනයට ගොස් සතුන් දඩයම් කොට ආහාර ලබා ගන්නවා වෙනුවට සතුන් ඇතිකොට එමගින් ආහාර නිෂ්පාදනය පහසු බව මිනිසාට තේරුම් යාමත් සමග එඩේර යුගය ආරම්භ විය. මීට වසර 50000 සිට 10000 දක්වා කාලය එඩේර යුගය පැවති කාලය බව පිළිගැනීමයි. මිනිසා මුලින්ම හීලෑ කරගනු ලැබූ සත්වයා වූයේ බල්ලාය. ඒ අනුව දඩයම්වලදී බල්ලාගෙන් විශාල සේවයක් ලැබුණි.

එළුවන්, ගවයන්, බැටලුවන් වැනි සතුන් එඩේර යුගයේදී හීලෑ කරගත් සතුන් අතර ඉතාම වැදගත් විය. මෙසේ හීලෑ කරගත් සතුන්ට ආහාර සොයා තැනින් තැන යාමට සිදුවූ නිසාම මිනිසාට මෙම යුගයේද ස්ථිර වාසස්ථාන කිසිවක් නොවීය.

තැනින් තැන ගෙනයාම සදහා ගින්දර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ බැවින් ගිනිගොඩට ඉහලින් මැස්සක් සාදා කොළ අතු ආදිය සෙවිලි කිරීමෙන් ගින්න, වැස්සෙන් බේරාගත හැකිවූ අතර එම සෙවන යටතේ නොතෙමී ගිනි තැපීමට, මස් හා ආහාර පුලුස්සා අනුභව කිරීමට හැකිවිය. නිවාසය යන සංකල්පය ඇතිවූයේ ඒ අනුවය. පසුව සතුන්ගේ හම් යොදාගෙන කූඩාරම් සෑදීමට මිනිසා හුරුවිය.

වස්ත්‍ර සදහා සත්ව හම් වැඩිපුර යොදාගත් අතර කොළ අතු හා ගස්වල පට්ටා ආදිය ඇදීම ක්‍රමයෙන් අඩුවී යන ආකාරය මෙකල දැකිය හැකිවිය. එසේම තමන් ඇතිකල සතුන්ගේ කිරි බීමටද මිනිසා හුරුවිය. එසේම සත්ව කරුණාව ක්‍රමයෙන් මිනිස් සිත් තුළට කා වැදීමද සිදුවිය. ඒ අනුව සතුන් පිළිබඳව ආදරය හා කරුණාව ඔවුන්ගේ සිත් තුළට ඇතුලු වූවා පමණක් නොව මස් මාංශ වලට සතුන් මරණයට පත් කිරීම පිළිබඳව දෙගිඩියාවක්ද ඔවුන්ගේ සිත් තුළට ඇතුලු විය.



ආගමික විශ්වාසයන් අතර ස්වභාවික සතුන් වැදීම හා පිදීම, මළවුන් පිදීම වැනි දේ ප්‍රධාන විය. මිනිසා ජීවත් කරලීම සදහා නිතර නිතර ජීවිත පූජා කළ අහිංසක සතුන්ට ගරු කිරීම සදහා සත්ව වන්දනා පැවැත්වීමට මිනිසා පටන් ගත්තේය.

එඩේර යුගයේදී මිනිසාට එල්ලවූ ප්‍රධානතම අභියෝගය වූයේ තැනින් තැන ගමන් කරමින් ගෙවුණු එඩේර ජීවිතයේ කටුක බවයි. නියං සමයේදී සතුන්ට ආහාර හා ජලය සපයා දීම ඉතා අපහසු කටයුත්තක් වූ අතර සතුන් විශාල ලෙස ලෙඩ වීමද සිදුවිය. මේ නිසාම මහා පරිමාණයෙන් සතුන් ඇති කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩුවීමද සිදුවිය.

එඩේර යුගයේ අවසාන කාලය වනවිට ධාන්‍ය, අල වර්ග හා පලතුරු තම වාසස්ථාන අවට වගාකර ඒවා ආහාරයට ගැනීම වඩාත් පහසු බව මිනිසාට අවබෝධ විය. ඒ නිසාම තමා ගෙවූ සංචාරක ජීවිතය නවතා දමා ස්ථිර පදිංචියක් ඇතිකර ගත යුතුයි යන්න මිනිසාට වැටහී ගියේය.


මීලගට මිනිසා එලැඹුණේ ගොවිතැන් යුගයටයි. මේ පිළිබඳව මීලග ඉතිහාසය ලිපිය තුලින් දැනුම ගෙන ඒමට අප සූදානම්. එතෙක් අප සමග රැදී සිටින මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

NDT හෙවත් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව දැන ගනිමු

 සමහර විට ඔබ උසස් පෙළට ගණිත විෂය ධාරාව හදාරන්නට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනය ඇතිවය. නමුත් අද තිබෙන තරගකාරී විභාග රටාව මත සමහර විට එම කඩයිම සපුරා ගැනීමට ඔබට නොහැකි වන්නට ඇත. නමුත් ඔබට අහිමි වූ ඒ සිහිනය නැවත යතාර්ථයක් කරගත හැකි මාර්ගයක් වනුයේ මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන වසර තුනක තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා හෙවත් NDT තුළිණි. NDT සදහා අයදුම් කරලීමට ඔබට අවම වශයෙන් ගණිත විෂය ධාරාවට 3S ප්‍රථිපලයක් සෑහේ. නමුත් වර්තමානයේ මෙම පාඨමාලාව සදහාද ඇති දැඩි ඉල්ලුම නිසා මෙම පාඨමාලාවට ඇතුලත් වීමට තරමක් ඉහල විභාග ප්‍රථිපලයක් වගේම මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන විශේෂ සුදුසුකම් ලැබීමේ විභාගය(Aptitude Test) සමත් වීම අනිවාර්යය වේ.




NDT පාඨමාලාව යනු කුමක්ද?

වර්තමානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයෙහි පවත්වාගෙන යන තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NDT) වසර 75 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි. රටකට මහගු සම්පතක් වූ සම්බන්ධීකාරක ඉංජිනේරුවන් සැපයීමට දායක වන ප්‍රමුඛතම සහ විශ්ව විද්‍යාලයක් තුල පවත්වාගෙන යන එකම ඩිප්ලෝමා පාඨමාලාව ලෙස තාක්ෂණ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව(NDT) අද තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින්ම නමක් දිනාගෙන සිටී. ක්ෂේත්‍රයේ 95% කටම දැනුමෙන් හා හැකියාවෙන් මනාලෙස පරිපූර්ණ ඉංජිනේරුවන් ක්ෂේත්‍ර 9ක් ඔස්සේ සැපයීමට NDT පාඨමාලාවට හැකියාව ලැබී ඇත.




 විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු තාක්ෂණය (Electronic & Telecommunication Engineering Technology)

වර්තමානයේ 40 දෙනෙකු බදවා ගන්නා මෙම ක්ෂේත්‍රය හැදෑරීමෙන් දුරකථන සේවා (Telecommunication) රූපවාහිනී හා ගුවන් විදුලි සේවා, පරිගණක ජාලකරණ සේවා, වෛද්‍ය උපකරණ සේවා වැනි රැකියාවන්හි නියුක්ති වීමට හැකියාව ලැබේ. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන කිහිපයක් නම්
·         Sri Lanka Telecom
·         Rupavahini
·         Lanka Transformer
·         Dialog, Mobitel, Hutch, Etisalat
·         Sri Lanka Airline




විදුලි ඉංජිනේරු තාක්ෂණය (Electrical Engineering Technology)

මෙම ක්ෂේත්‍රයට බදවා ගන්නා ප්‍රමාණය 40ක් වන අතර මෙමගින් ආවරණය කෙරෙන විෂය ක්ෂේත්‍රයක් නම් ජල විදුලි බල තාක්ෂණය (Hydro Power), තාප විදුලි බල තාක්ෂණය (Thermo Elecricity), විදුලිබල බෙදා හැරීම (Power Distribution), බල පද්ධති පාලනය (Power Control & Electronics) ආදිය වේ. පහත සදහන් ආයතන වල ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සපයයි.
·         Ceylon Elecricity Board (CEB)
·         Lanka Transformer
·         Ceylon Water Board
·         Electro Serve Company & Ltd





රසායන ඉංජිනේරු තාක්ෂණය (Chemical Engineering Technology)

සිසුන් 25ක් බදවා ගන්නා අතර මෙම ක්ෂේත්‍රය රසායනික කර්මාන්ත ආශ්‍රිතව රැකියාවල නිරත වීමට හැකියාව ලැබෙන අතර උදාහරණ ලෙස පෙට්‍රෝලියම් නිෂ්පාදනය, ලුණු නිෂ්පාදනය, සබන් ක්ෂාලක, පොහොර, ජලය ආශ්‍රිත කර්මාන්ත, යනාදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිර ඇත. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන නම්,
·         Pelawatta sugar, Sewanagala sugar
·         CIC paints
·         Elephant house
·         Caltex




සිවිල් ඉංජිනේරු තාක්ෂණය (Civil Engineering Technology)

සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය යනු ගොඩනැගිලි ඉදිකිරීම, මංමාවත් හා වාරිමාර්ග මූලික කර ගත් විෂය ක්ෂේත්‍රයකි. මේ සදහා වසරකට සිසුන් 80ක් ඇතුළත් කරගන්නා අතර විෂය දෙස බැලීමේදී ඉතා පුළුල්ම විෂය නිර්දේශයක් මෙමගින් ආවරණය කරයි.
·         MAGA
·         ICC
·         Sierra
·         Sanken
·         Access
ආදී විශාල ආයතන සංඛ්‍යාවක් මෙම සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සලසයි.




යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය (Mechanical Engineering Technology)

සිසුන් 60ක් වසරකට ඇතුලත් කරගන්නා මෙම ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් පහත ක්ෂේත්‍ර ආශ්‍රිතව රැකියා සපයයි.
1.      ස්වයං චලන ඉංජිනේරු තාක්ෂණය(Autumobile)
2.      නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය(Production)
ඔවුන් සදහාද ඉතාමත් පුළුල් විෂය නිර්දේශයක් ආවරණය කෙරේ. රථවාහන කර්මාන්තය තුළත් කර්මාන්තශාලා ආශ්‍රිතව නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ දැවැන්ත දායකත්වයක් දක්වන ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව සදහා පහසුකම් සපයන ආයතන නම්
·         Dockyard
·         C.G.R
·         Dimo
·         Holcim,Port,Ciko





නාවික ඉංජිනේරු තාක්ෂණය (Marine Engineering Technology)

NDT නාවික ඉංජිනේරු පාඨමාලාව 1978 දී UNESCO ආධාර ඇතිව ආරම්භ කළ අතර මෙම ක්ෂේත්‍රය සදහා වසරකට සිසුන් 15ක් ඇතුළත් කර ගනී. සාර්ථකව පාඨමාලාව අවසන් කළ පසු නැවක නාවික ඉංජිනේරුවකු වශයෙන් හෝ ගොඩබිමේදී නැව් අළුත්වැඩියාව හා බලශක්ති නිෂ්පාදනාගාර නඩත්තු ඉංජිනේරු යන ක්ෂේත්‍ර වලට යොමුවිය හැකිය. වසර දෙකක අධ්‍යන කාලයකින් හා වරාය අධිකාරිය තුළ හා කොළඹ නැව් තටාංගනය (Colombo Dock Yard) තුළ මාස 6 බැගින් වූ පුහුණුවකට තම තෙවන වසර තුළදී ඔවුන් යොමු කරයි. NDT නාවික ඉංජිනේරු පාඨමාලාව  ISO 9002 තත්ත්ව සහතිකයද හිමිකරගත් විශේෂ පාඨමාලාවකි.




නෞකා චාලන හා අධ්‍යන පාඨමාලාව (Nautical Studies & Technology)

1987 වර්ෂයේදී ආරම්භ වූ මෙම පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය හා නාවික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන අතර වසරකට සිසුන් 15ක් ඇතුළත් කර ගනී. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නාවුක නිළධාරීන් (Deck Officers) බිහි කිරීම මෙම පාඨමාලාවේ මූලික අරමුණයි. ශ්‍රී ලංකාව තුල විශ්ව විද්‍යාලයක පවත්වන එකම නැවියන් බිහිකිරීමේ පාඨමාලාව වන මෙම පාඨමාලාව ISO 9002 තත්ත්ව සහතිකය හිමිවී ඇති අතර දකුණු ආසියාව තුළ නිදහස් අධ්‍යාපනය යටතේ ඇති එකම Nautical පාඨමාලාව වේ.
            මෙම ක්ෂේත්‍රය තුන් අවුරුදු පූර්ණකාලීන පාඨමාලාවක් වන අතර පළමු හා තෙවන වර්ෂයන් න්‍යායාත්මක අධ්‍යන සදහාද දෙවන වර්ෂය ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ ලංකා මහපොළ නැවේ හා විදේශීය නැව් වල ප්‍රායෝගික පුහුණුව සදහා යොමු කෙරේ.





පොලිමර් ඉංජිනේරු තාක්ෂණය (Polymer Engineering Technology)

වසරකට සිසුන් 25ක් ඇතුළත් කරගන්නා මෙම ක්ෂේත්‍රය බහුඅවයවික නිෂ්පාදනය එනම් ප්‍රධාන වශයෙන් රබර් (natural & synthetic) ප්ලාස්ටික් හා ෆයිබර් fiber පිළිබඳව අධ්‍යයනය කරයි. පොලිමර් තාක්ෂණය ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අධ්‍යනය කරනු ලබන්නේ NDT පාඨමාලාව තුළ පමණි. ඔවුන්ට යන්ත්‍රාගාර පුහුණුව සදහා විවෘතව ඇති ස්ථානවලින් කිහිපයක් නම්,
·         Dry rubber CEAT, DSI, Loadstar
·         Latex Ancell Lanka, Lalan
·         Plastic Anton, Damro, S-Lon
·         Paints & Adhesive Industries





පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය (Textile & Clothing Technology)

වසරකට සිසුන් 50ක් ඇතුළත් කරගන්නා මෙම පාඨමාලාව නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාලයක් තුළ පවත්වාගෙන යන එකම පේෂකර්ම ඩිප්ලෝමා පාඨමාලාව වේ. මෙහිදී නූල් නිෂ්පාදනය හා වෙළඳකරණය, විවීම (yarn manufacturing, marketing, merchandisising, and weaving) යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ. ඇගලුම් ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විවරව ඇති ඔවුන්ට යන්ත්‍රාගාර පුහුණුව ලබාදෙන ආයතන කිහිපයක් නම්,
·         Slim line, Body line, Shadow line
·         MAS Engineering Centre
·         Smart Shirts
දැක්විය හැකිය.




මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික විද්‍යා ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන NDT පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය තුළ සියළු පහසුකම් ලබන තුන් අවුරුදු පූර්ණකාලීන අභ්‍යන්තර පාඨමාලාවකි. දෑ අවුරුදු න්‍යායික අධ්‍යාපනයකින්ද එක් අවුරුදු යන්ත්‍රාගාර පුහුණුවකින්ද යුතු මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු සම්බන්ධීකාරක ඉංජිනේරුවරයකු ලෙස තාක්ෂණ ක්ෂේත්‍රයට පහසුවෙන් ඇතුල් වීමට හැකියාව ලැබේ. NDT ඩිප්ලෝමාධාරීන් හට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) වරලත් ඉංජිනේරු ආයතනයේ (CEI), ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ (BTech), විභාග සාර්ථක ලෙස නිම කිරීමෙන් MSc,PhD උපාධි මට්ටම් කරා ළගා විය හැකිය.







(මෙම ලිපිය මොරටුව විශ්ව විද්‍යාලයේ NDT පාඨමාලාව මගින් ලබාදුන් අත් පත්‍රිකාවක් ඇසුරෙන් සකසන ලද්දකි)


අපගේ ජනප්‍රියම ලිපි