පස සෑදීමේ ක්‍රියාවලිය පිළිබදව ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද

යාලුවෝ සියලු දෙනාටම සුභ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අද මේ මම ඔයාලට ගෙන එන්නෙ කෘෂිකර්මය විෂයට අදාල ලිපියක්. ඉතින් මේ ලිපිය අපේ දැනුම සාගරය තුළ කිමිදෙන්නට කැමති ඔයාලා හැමෝටම වැදගත් වේවි කියලා මම හිතනවා.

අද මම ඔයාලට ගෙන එන්න යන්නෙ අප ජීවත්වන පොළොවේ ඇති පස් පිළිබදව. ඉතින් ඔයාලා බෝග වගාවේදී හා කෘෂිකාර්මික කටයුතුවලට මේ පස කියන දේ කෙතරම් වැදගත්ද කියලා. ඒ වගේම ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රවලදීත් මේ පස කියන සාධකය බොහොම වැදගත්.




පසක් නිර්මාණය වීම

පසක් නිර්මාණය වීම සදහා පාෂාණ අවශ්‍ය වනවා. එම පාෂාණ මගින් පස නිර්මාණය වන ආකාරය මේ විදියට දක්වන්න පුළුවන්.




පාෂාණ ජීර්ණය වීම තුලින් මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වන අතර එම මාතෘ ද්‍රව්‍ය තවදුරටත් වෙනස්වීම්වලට භාජනය එනම් පාංශු ජනනය වීම තුළින් පස නිර්මාණය වනවා.

අප මුලින්ම සලකා බලමු ඉහත සදහන් කල පාෂාණ පිළිබඳව,

පාෂාණ ප්‍රධාන කාණ්ඩ තුනක් අපට හදුනාගත හැකිය.
1.      ආග්නේය පාෂාණ
2.      අවසාදිත පාෂාණ
3.      විපරීත පාෂාණ

දැන් අපි මෙකී පාෂාණ කාණ්ඩ පිළිබඳව වෙන වෙනම තොරතුරු විමසා බලමු

·         ආග්නේය පාෂාණ
ගිනිකදුවලින් පිටතට පැමිණෙන මැග්මා ඝනීභවනය වීම හේතුකොටගෙන මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවනවා. මීට උදාහරණ ලෙස ක්වාට්ස්, බැසෝල්ට්, රයෝලයිට් හා ග්‍රැනයිට් යන පාෂාණ දැක්විය හැකිය. පෘථිවි තලය මත සාපේක්ෂ ව්‍යාප්තිය සලකා බැලූ කල 64.7% ක් ආග්නේය පාෂාණ වේ.

·         අවසාදිත පාෂාණ
කලින් නිර්මාණය වූ ඕනෑම පාෂාණ වර්ගයක් වෙනත් ඕනෑම තැනකට ප්‍රවාහනය වී තැන්පත් වීම තුළින් මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවේ. මීට උදාහරණ විදියට හුණුගල්, වැලිගල්, රොක්සෝල්ට් හා ජේල් ආදිය දැක්වීමට පුලුවන්. පෘථිවි තලය තුළ 7.9% ක ප්‍රමාණයක් මීට අයත්ය.

·         විපරීත පාෂාණ
1.      අවසාදිත පාෂාණ විවිධාකාර පරිසර ලක්ෂණ එනම් අධික උෂ්ණත්වය, පීඩනය හා භූ චලනවලට ලක්වීම හේතුකොටගෙන විපරිණාමය වීම තුළින් මෙම පාෂාණ නිර්මාණය වීම සිදුවනවා. මේවාට උදාහරණ ලෙස කිරිගරුඩ(මාබල්) හා ග්නයිස් යන පාෂාණ දැක්වීමට පුළුවන. පෘථිවි තලය තුළ 27.4% ප්‍රමාණයක් මීට අයත්ය.
පාෂාණ කාණ්ඩ පිළිබඳව අධ්‍යනය කල අපි දැන් විමසා බලමු පාෂාණ ජීර්ණය පිළිබඳව,

පාෂාණ ජීර්ණය

පාෂාණ ජීර්ණය ප්‍රධාන ආකාර දෙකකට සිදුවේ. එනම් භෞතික ජීර්ණය හා රසායනික ජීර්ණය ලෙසය

භෞතික ජීර්ණය
පිපිරීම හා කැබලිවීම වැනි පාෂාණයන්හි භෞතික ස්වරූපය තුළ සිදුවන වෙනස්වීම් මේ යටතේ දැක්විය හැකිය.

රසායනික ජීර්ණය
විවිධාකාර රසායනික ප්‍රතික්‍රියා හා සංසිද්ධි වලට ලක්වීම තුළින් සිදුවන ජීර්ණය මීට අයත්වේ.


පස තුල වන්නා වූ මේ භෞතික හා ජීර්ණය වීම් සදහා බලපාන හේතුකාරක අපට ප්‍රධාන කොටස් තුනක් යටතේ නැවත වර්ගීකරණය කිරීමට පුළුවන
1.      භෞතික කාරක
2.      ජෛව කාරක
3.      රසායනික කාරක


භෞතික කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

ඉතා උෂ්ණ කාලවලදී හා ලැව් ගිනි වැනි තත්වයන් වලදීත් උෂ්ණ කාලවලදී උණුසුම හා හිරුඑලිය නිසාත් පාෂාණ අධික ලෙස රත්වේ. මේ රත්වීමත් සමග එක්වරම වර්ෂාව වැනි සංසිද්ධි හේතුකොටගෙන එක්වරම සිසිල් වීමෙන් පාෂාණ එකවරම සංකෝචනයට හා ප්‍රසාරනයට ලක්වේ. මේ නිසා පාෂාණ ඉතා ඉක්මනින් කැබලි වීමට ලක්වේ.

සීත කාලවලදී බොහෝ පාෂාණවල ඇති කුහර තුළ ජලය මිදීම සිදුවේ. මෙමගින් සිදුවන ප්‍රසාරණය නිසා ඇතිවන බලයෙන් බොහෝවිට පාෂාණ කැබලිවීම දැකිය හැකිය.
ගලායන ජලය හා මුහුදු රැල්ල වැනි කාරකයන් නිසාද බොහෝවිට පාෂාණ ජීර්ණය වීම්වලට ලක්වේ. මෙහිදී සිදුවන්නේ ජලය සමග චලනය වන පාෂාණ කොටස් එකිනෙක හා ගැටීම තුළින් කැබලි වීමයි.
එසේම සුළගද පාෂාණ ජීර්ණය සදහා ප්‍රබලව බලපාන්නා වූ භෞතික කාරකයකි. මෙහිදී සුළග මගින් සිදුවන්නේ ගසාගෙන එන පාෂාණ කැබලි එකිනෙක හා ගැටීම නිසා කැබලි වීමයි.



ජෛව කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

බොහෝවිට පාෂාණ කුහර තුළ ශාක වර්ධනය වීමත් මුල ඇදී ඇති ආකාරයත් ඔබ දැක ඇති. එවැනි සංසිද්ධීන් නිසා පාෂාණ පිපිරී යාම සිදුවේ. එසේම කුර ඇති සතුන්ට පෑගීම හේතුකොටගෙනද මිනිසා විසින් සිදුකරන කැබලිකිරීම් නිසාද පාෂාණ ජීර්ණය වීම සිදුවේ.



රසායනික කාරක පාෂාණ ජීර්ණයට බලපාන ආකාරය

ජලය, කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් යන සාධක පාෂාණ ජීර්ණයට බලපාන්නා වූ රසායනික කාරකයන් වේ. මේවා හේතුකොටගෙන සිදුවන ප්‍රතික්‍රියා කිහිපයක් මෙසේ දැක්විය හැකිය


Ø  සජලනය හෙවත් ජලාකර්ෂණය
ජල අණු පාෂාණයට ආකර්ෂණය වීම නිසා පාෂාණය මෘදු වන අතර එමගින් භෞතික ජීර්ණය වේගවත් වීම සිදුවේ.

Ø  ඔක්සිකරණය
පාෂාණය තුළ වන ඛනිජ කොටස් ඔක්සිජන් සමග එකතුවීම නිසා පාෂාණය මෘදු වන අතර එය පාෂාණ ජීර්ණය සදහා බලපානු ලබයි.

Ø  ඔක්සිහරණය
පාෂාණයේ ඛනිජවලින් ඔක්සිජන් ඉවත්වීම හේතුවෙන් ද්‍රාව්‍යතාව වැඩිවේ.

Ø  කාබනීකරණය
පස තුල වන කාබොනික් අම්ලය පාෂාණය සමග ප්‍රතික්‍රියා කර එය ජීර්ණය කිරීම සිදුකරයි.




පාංශු ජනනය


මාතෘ ද්‍රව්‍යවලින් පස නිර්මාණය වීමේ ක්‍රියාවලිය මේ නමින් හැදින්වේ. පාංශු ජනනය සදහා බලපාන සාදක මෙසේ කරුණු වශයෙන් දැක්වීම කළ හැකිය.


·         මාතෘ ද්‍රව්‍යයේ සංයුතිය
මාතෘ ද්‍රව්‍යයේ සංයුතිය අනුව පසේ ගුණාංගයන්ද වෙනස්වීම සිදුවේ. උදාහරණයක් ලෙස ග්‍රැනයිට් පාෂාණවලින් ලැබෙනුයේ රළු වැලි සහිත පසකි. එසේම ඩොලමයිට් වැනි පාෂාණවලින් ලැබෙනුයේ මැටි සහිත පසකි.

·         භූ විෂමතා ලක්ෂණ
උච්චත්වය, භූමියේ බෑවුම හා භූමිය මුහුණලා ඇති දිශාව යනාදියද පාංශු ජනනය සදහා බලපානු ලබයි.

·         දේශගුණික සාධක
වර්ෂාපතනය හා උෂ්ණත්වය යනාදී දේශගුණික සාධකද මීට බලපායි.

·         ජෛව සාධක
ශාක හා සතුන්ද පාංශු ජනනය සදහා බලපාන සාධක වේ.

·         කාලය
පසක් නිර්මාණය වීම ඉතා ඉක්මණින් සිදුවන්නක් නොවේ. ඊට විශාල කාලයක් ගතවේ. මුල් අවස්ථාවලදී සෑදෙන පස අපරිණත පස් නම් වන අතර කාලයක් සමග එය පරිණත තත්වයට පත්වීම සිදුවේ.

පාංශු ජනනයේදී මාතෘ පාෂාණය මත ක්‍රමානුකූලව පස ගොඩ නැගීම සිදුවේ. පාංශු පැතිකඩක් අධ්‍යනය කිරීම තුලින් ඔබට මේ ස්ථරවල පිහිටීම සරලව අධ්‍යනය කිරීම සිදුකළ හැකිය.




පාංශු පැතිකඩ



පසක මතුපිට සිට මව් පාෂාණය දක්වා පාංශු කලාප පෙන්නුම් කරන පසේ සිරස්කඩක් පාංශු පැතිකඩක් ලෙස හැදින්වේ. මෙහි ප්‍රධාන කලාප 4කි.

O කලාපය - කාබනික ද්‍රව්‍ය අඩංගු වන්නේ මේ කලාපයේය.
A කලාපය - නිතරම සේදීමට ලක්වන අතර කාබනික ද්‍රව්‍ය බහුලය
B කලාපය - ඉහළින් ඇති කලාපවලින් සේදී එන ද්‍රව්‍ය තැන්පත්වීම මෙහි සිදුවී ඇත.
C කලාපය - මව් පාෂාණය ජීර්ණය වීම තුළින් මාතෘ ද්‍රව්‍ය මේ කලාපයේ අඩංගුය

මෙම ඉහත සදහන් කරනු ලැබූ පාංශු කලාප නැවත උප කලාපවලට බෙදිය හැකි අතර එම ප්‍රධාන කලාපයන් අතර අතරමැදි ලක්ෂණ වලින් යුතු සංක්‍රාමී කලාපද වේ.

ඉහත O හා A යන පාංශු කලාප එක්ව ගත්කළ මතුපිට පස් ලෙස හදුන්වන අතර එහි ශාක පෝෂක වැඩි නිසා සරු බවින් යුක්තය



අවසානය

පස පිළිබඳව අධ්‍යනය කළ ඔබ මතක තබාගත යුතු කරුණු කිහිපයක්ද වේ. යම් ස්ථානයක පස විනාශ කිරීම පහසුවෙන් කළ හැකි වුවත් පසක් නිර්මාණය වීමට වසර ගණනාවක් ගතවේ. ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල්වල සාමාන්‍යයෙන් පාෂාණ ජීර්ණය වී නැවත පස් අගලක් සෑදීමට වසර 400 -700 ක් පමණ කාලයක් ගතවේ. මේ නිසා පස සුරැකීම හා පාංශු ඛාදනය වැනි කාරණා මගින් පස විනාශ වීම වැලැක්වීම ඔබේත් මගේත් යුතුකමකි.



අපේ අනෙකුත් ලිපි කියවන්න




මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් දැනුම share කර ඔබගේ සමාජ ජාලා මිතුරන්ටත් ලබාදෙන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලමි.

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි