වැවක ප්‍රධාන කොටස් හදුනා ගැනීමට ඔයාලා කැමතිද?





වැව කියන සංකල්පය ඔයාල දන්නව යාලුවනේ බිහිවූයේ අපේ ජලාශ්රිත ශිෂ්ඨාචාරයේ කියන්නෙ අනුරාධපුර පොළොන්නරු යුගවලදිනෙ. ඉතින් යුගයේ අපේ පැරණි මුතුන් මිත්තන්ගෙ තාක්ෂණික දැනුම හා විභූතිය විශිෂ්ඨ ලෙස පෙන්වන තැනක් තමා මේ වැව කියන සංකල්පය. කාලයේ එනම් අනුරාධපුර පොළොන්නරු යුගවලදී වර්ෂා රහිත කාලයට කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සපයා ගත්තේ මේ වැව් ආශ්රය කොටගෙන. ඉතින් ඔයාලා කැමති ඇති මේ වැව කියන දේ ගැන තවදුරටත් දැනගන්න. එහෙනම් අපි විමසලා බලමු පිළිබදව,

වැව කියන පද්ධතියේ මූලික අංග වුනේ වැව් බැම්ම, බිසෝකොටුව, සොරොව්ව, සළපනාව හා පිටවානයි. මේ අංග පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බලන්න අපි සූදානම්.

වැව් බැම්ම

වැවක ප්‍රධාන අංගය ව්දියට මෙය හදුන්වන්න පුලුවන්. වැව් බැම්ම නිර්මාණය වූයේ එකිනෙකට ළංව තිබෙන කදුගැට දෙකක් යා කොට බැම්මක් බැදීම තුළිනි. එම බැම්මෙන් ඉහළ ප්‍රදේශයේ සිට ගලන ජලයේ මේ බැම්ම නිසා ජලය එක් රැස් වීම හේතුවෙන් වැව බිහිවූවා. වැවෙහි ජල ධාරිතාවට ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වැව් බැම්ම උසට හා ශක්තිමත්ව නිර්මාණය කිරීම අවශ්‍ය වූවා.


සළපනාව

වැව් බැම්මේ ආරක්ෂාව සදහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ පාදමේ කළුගල් පුවරු අතුරනු ලැබීම සිදුකරනු ලැබූවා. එමගින් වැව් බැම්ම ශක්තිමත් වූවා වගේම රළ පහරට වැව් බැම්ම සේදී යාමෙන්ද ආරක්ෂා වූවා. මේ ගල් පුවරු අතුරනු ලැබූ කොටස රළපනාව, රළ පැන්නුම, සළපනාව යන නම් වලින් හදුන්වනු ලබනවා.



පිටවාන

වැවක ජලය අධික වන විට එම අතිරික්ත ජලය පිටට ගලා යාමට ඉඩ සලසන ස්ථානය වූයේ පිටවානයි. බොහෝ අවස්ථාවලදී වැව් බැම්මේ කෙළවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන ලෙස ගල් පුවරු අල්වා කපොල්ලක් ලෙස මෙය සාදනු ලැබූවා. ජලය වැඩි කාලයේදී අතිරේක ජලය මින් බැස යාම හේතුවෙන් වැව් බැම්මට ඇතිවිය හැකි හානිය වැළකුණා.



සොරොව්ව

වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව නමින් හැදින්වෙනවා. විශාල වැව්වල සොරොව් කිහිපයක් පිහිටි අවස්ථා දැකිය හැකියි. සාමාන්‍ය වැවක සොරොව් දෙකක් දැකිය හැකි වනවා. වැවේ ජල මට්ටම ඉහල තිබෙන අවස්ථාවක ජලය සැපයිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. මේ ගොඩ සොරොව්ව මගින් ජල මට්ටමට සාපේක්ෂ මට්ටමේ පිහිටි උස්බිම් ප්‍රදේශ සදහා ජලය සැපයිය හැකි වූවා.

වැව් බැම්මේ වඩා පහළ මට්ටමකින් පිහිටවනු ලැබූ සොරොව්ව මඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. ජල මට්ටම බෙහෙවින් අඩුවූ කල ජලය ලබා ගන්නේ මේ මඩ සොරොව්වෙනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැව හිස් කිරීමටද මඩ සොරොව්ව උපකාරී වේ. කුඩා වැව්වල දකින්නට ලැබෙන්නේ මඩ සොරොව්ව පමණි.



බිසෝකොටුව

පැරණි වැව් කර්මාන්තයේ විශිෂ්ඨ ශ්‍රී විභූතීය පෙන්නුම් කරන අංගයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකිය. විශාල ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට හානිකර විය හැකිය. වැව් ඉවුරත් ජල මට්ටමත් එක්වන තැන ගැඹුරු හතැරැස් ළිඳක හැඩයට තනා ඇති බිසෝකොටුව මගින් එකී පීඩනය පාලනය කරනු ලැබේ. බිසෝකොටුව යනු සොරොව්වෙහි ඉදිකල ප්‍රධාන කොටසකි.එම බිසෝකොටුව පතුලේ සිට වැව් කණ්ඩිය හරහා පිටට ජලය ගෙනයනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය වේලාවට ජලය ලබා ගැනීම සදහා මෙම බිසෝකොටුවේ විශේෂ ජල පාලක උපකරණයක් යොදා තිබිණි. පැරණි සෙල්ලිපි ආදියෙහි මෙය මොහොල ලෙස හදුන්වා තිබේ.
මුල් යුගයේ තනන ලද බිසෝකොටු වලටත් පසු කාලයේ තනන ලද බිසෝකොටුවලත් දක්නට ඇති එකම වෙනස විශාලත්වයෙන් වැඩිවීම පමණි. තාක්ෂණික ලක්ෂණවල වෙනසක් සිදුවී නොමැත. එයින් පැහැදිලි වනුයේ බිසෝකොටුව මුල් අවස්ථාවේදීම තාක්ෂණික අංග අතින් පරිපූර්ණ නිර්මාණයක් වූ බවයි.


මුරගල

වැවක සොරොව්වේ හෝ ඒ අසල හෝ නාග රූපයක් සහිත මුරගලක් බොහෝවිට දක්නට ලැබේ. නාගයා ජලයට අධිගෘහිත යැයි පැරැන්නන් විසින් සලකන ලදී. ඒ නිසා වැව් පොකුණු ආදිය සෑදූ කළ ඒවාට ආරක්ෂාව සදහා නාග රූප ඉදිකරන ලද බව පෙනී යයි. එසේ නාග රූපයක් ඉදිකළ විට වැවේ ජලය අඩු නොවන බවට විශ්වාසයක් තිබුණි.

මේ මූලික නිර්මාණ එක්වීමෙන් සෑදුණු වැව අපේ පැරණි තාක්ෂණික නිපුණතාවය විදහා දක්වනු ලබයි. වැවක සියලූම අංග විදහා දක්වන වැවක් ලෙස මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය දැක්විය හැකියි.

 පරාක්‍රම සමුද්‍රය

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි