ශාකවල ලිංගික ප්‍රජනනය පිළිබඳව ඔබ දැනුවත්ද

ශාකවල ලිංගික ප්‍රජනනය මාතෘකාව අ.පො.ස සාපෙළ විද්‍යාව විෂය හදාරන ඔබටත් අ.පො.ස උපෙළ ජීව විද්‍යාව හදාරන ඔබටත් අධ්‍යන කටයුතුවලදී හමුවන ප්‍රධාන මාතෘකාවක්. ඉතින් මේ පිළිබඳව දැනුම සොයන සෑම කෙනෙක්ම උදෙසා මේ ලිපිය ලියන්නට මා එලැඹුණා.

            ශාකවල ලිංගික ප්‍රජනනය සදහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති ව්යූහය වන්නේ පුෂ්පයයි. මේ පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැදින්වෙනවා. පුෂ්පයක ප්‍රධාන කාර්‍යය වන්නේ ලිංගික ප්‍රජනනය සදහා අවශ්‍ය ප්‍රජනක සෛල නිපදවීමයි.


 පුෂ්පයක කොටස් හදුනා ගනිමු



Petal- පෙති
Sepal- මණි පත්‍ර
Ovule- ඩිම්බය
Ovary- ඩිම්බ කෝෂය
Stigma- කලංකය
Style – කීලය
Filament- සූත්‍රිකාව
Anther- පරාගධානිය
Stamen – රේණුව

පිටතින්ම මණි පත්‍රද, ඊට ඇතුළතින් විශාල වර්ණවත් දළ පත්‍රද දළ පත්‍රවලට ඇතුළතින් රේණු හෙවත් පූමාංගයද ඊලගට ජායාංගයද පිහිටනවා. රේණුවක් පරාගධානියකින් හා සූත්‍රිකාවකින් සමන්විත වනවා. ජායාංගයේ කොටස් වන්නේ කලංකය, කීලය හා ඩිම්බ කෝෂයයි.

ඉහත රූප සටහනේ ඇති පුෂ්පයේ පූමාංගය හා ජායාංගය යන දෙකම ඔබට නිරීක්ෂණය කළ හැකිය. නමුත් මේ ජායාංගය හා පූමාංගය වෙන වෙනම පිහිටන පුෂ්පද දැකගත හැකි වනවා. ලිංග කොටස් දෙකම ඇතිවිට එම පුෂ්ප ද්විලිංගික පුෂ්ප ලෙසත් ජායාංගය හෝ පූමාංගය යන දෙකෙන් එකක් පමණක් ඇති පුෂ්ප ඒකලිංගික පුෂ්ප ලෙසත් හැදින්වෙනවා. මේ ඒකලිංගික පුෂ්ප අතරින් ජායාංගය පමණක් පිහිටා ඇති පුෂ්ප ජායාංගී පුෂ්ප ලෙසත් පූමාංගය පමණක් ඇතිවිට පූමාංගී පුෂ්ප ලෙසත් හැදින්වෙනවා. ජායාංගී හා පූමාංගී පුෂ්ප එකම ශාකයේ පිහිටන ශාක ඒකගෘහී ශාක ලෙසත් වෙන වෙනම පිහිටන ශාක ද්විගෘහී ශාක ලෙසත් හැදින්වෙනවා.

පරාගණය

පරාගධානි තුළ නිපදවෙන පරාග, කලංකය මත තැන්පත්වීම පරාගණය ලෙස හැදින්වෙනවා. පරාගධානි කුටීර තුළ නිපදවෙන පරාග, පරාගධානි බිත්ති පිපිරවීමෙන් පිටතට පැමිණෙනවා. පරාගණය සිදුවන ආකාරය අනුව එය ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත වනවා. පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේම හෝ එම ශාකයේම වෙනත් පුෂ්පයක හෝ කලංකය කරා යාම ස්ව-පරාගණය ලෙස හැදින්වෙනවා. පුෂ්පයක පරිණත පරාග එම විශේෂයේම වෙනත් ශාකයක පුෂ්පයක ඇති කලංකය කරා ගෙනයාම පර-පරාගණය ලෙස හැදින්වෙනවා.
පර-පරාගණයේදී එක් ශාකයක ඩිම්බයක් වෙනත් ශාකයක පරාගවලින් සංසේචනය වීම සිදුවන නිසා අලුත් ගුණ සහිත ශාක ඇතිවිය හැකි වනවා. පර-පරාගණයෙන් ඇතිවන අලුත් ශාකයන්වල ස්ව-පරාගණයෙන් ඇතිවන ශාකවලට වඩා විවිධ ලක්ෂණ ඇතුලත් වීම දකින්නට පුලුවන්. නමුත් බොහෝ ශාක හැඩගැසී තිබෙන්නේ ස්ව-පරාගණය වලක්වා පර-පරාගණය සිදුවීමට වැඩි අවකාශයක් ලැබෙන පරිද්දෙනි.

ස්ව - පරාගණය වලක්වා පර - පරාගණය සිදුකිරීම සදහා ශාක දරන අනුවර්තන

·         ඒක ලිංගික පුෂ්ප ඇතිවීම - ජායාංගි පුෂ්ප ඇතිවීම -පොල්, බඩ ඉරිඟු, සාදික්කා

·         අසමපරිණතිය - පුෂ්පයේ පූමාංගය හා ජායාංගය එකවර පරිණත නොවීම - ට්‍රයිඩැක්ස්

·         යෝගබාධකතාව - පුෂ්පයේ රේණු හා කලංකය එකිනෙකට දුරස්ව පිහිටීම - මිනීමල්, ඕකිඩ්

·         විෂමකීලතාව - පුෂ්පයේ රේණු හා කලංක එකම මට්ටමේ නොපිහිටීම

·         ස්වවන්ධ්‍යතාව - වැල් දොඩම්

·         බාහිරාවර්තී රේණු- රේණු පිටතට නැමී පිහිටීම

ඉහත ස්වවන්ධ්‍යතාව යනු යම් ශාකයක පරාග එම ශාකයේම පුෂ්පයක කලංකය මත පතිතවූ විට පරාග ප්‍රෝහණය නොවීමයි.

සමහර ශාකයන් පැහැදිලිව ස්ව පරාගිත හෝ පර පරාගිත ලෙස දැක්වීම කල නොහැකිය. ස්වභාවිකව මෙම දෙයාකාරයෙන්ම පරාගණය සිදුවන බෝගද ඇත.

පරාගණ කාරක

එක් පුෂ්පයක පරාග තවත් පුෂ්පයක් කරා ගෙනයාමට පුෂ්පය හා ගැටෙන ජලය, සතුන් හා වාතය වැනි කාරකයන් හේතු වේ. මේවා පරාගණ කාරක ලෙස හැදින්වේ. ප්‍රධාන පරාගණ කාරක 3කි.
විවිධ වර්ණයන්ගෙන් යුක්ත විශාල දල පත්‍ර හා මධු කෝෂ පිහිටා ඇති ආකර්ෂණීය පුෂ්පවල පරාගණය සදහා බොහෝවිට උදව් වන්නේ සතුන්‍ය. එයිනුත් පුෂ්පවල පර පරාගණය සදහා වඩාත් දායක වන්නේ කෘමීන් ය.

·         වාතකාමී පුෂ්ප
වාතය මගින් පරාගණය සිදුකරන පුෂ්පවල බොහෝවිට පූමාංගී හා ජායාංගී ලෙස පුෂ්ප වෙන වෙනම පිහිටයි. පූමාංගී පුෂ්ප ශාකයේ ඉහලින්ම පිහිටන අතර පරාග ඉතා සැහැල්ලුය. ජායාංගී පුෂ්පවල කලංකය පිහාටු  ආකාර වේ. තෘණ කුලයේ ශාක බොහොමයක් වාතකාමී පුෂ්පවලින් යුක්තය.

·         ජලකාමී පුෂ්ප
මෙවැනි ශාකවල පූමාංගී හා ජායාංගී පුෂ්ප වෙන වෙනම පිහිටා ඇති අතර පරාගධානි පරිණත වූ විට පූමාංගී පුෂ්පය ශාකයෙන් ගැලවී වතුරේ පාවේ. එය ජායාංගී පුෂ්පයක කලංකය අසලට පැමිණි විට පරාගණය සිදුවේ. මීට හොදම නිදසුනක් ලෙස වැලිස්නේරියා ශාකය දැක්විය හැකිය.

·         කෘතීම පරාගණය
යම් පුෂ්පයක කලංකය මත එම විශේෂයේම වෙනත් පුෂ්පයක පරාග තැන්පත් කරවීම කෘතීම පරාගණය නම් වේ.

·         සංසේචනය

පරාගයක් තුළ ජනක න්‍යෂ්ඨියක් හා නාල න්‍යෂ්ඨියක් ඇත. ජායාංගය තුළ ඇති සීනි ද්‍රාවණය ස්වභාවික උත්තේජනයක් ලෙස ක්‍රියා කර පරාගය ප්‍රරෝහණය වීම ආරම්භ වේ. පරාග කණිකාවෙහි බිත්තියේ තුනී ස්ථානයකින් එහි සෛල ප්ලාස්මය පරාග නාලයක් ලෙස පිටතට පැමිණීම සිදුවේ. මෙම නාලය හරහා පරාගය තුළ ඇති ජනක න්‍යෂ්ඨිය ඩිම්බය වෙතට ගමන් කරයි.

පරාග නාලයේ බිත්තිය බිදී පරාගයේ ජනක න්‍යෂ්ඨිය ඩිම්බයේ ජායා න්‍යෂ්ඨිය සමග හාවේ. මෙය සංසේචනය ලෙස හදුන්වයි. ඩිම්බ සංසේචනයෙන් පසු පුෂ්පයේ වෙනස්කම් රැසක්ම සිදුවේ. සංසේචනයෙන් පසුව පුෂ්පයේ මුකුටය හා රේණු ක්‍රමයෙන් වියළී හැලී යයි. ඩිම්බාවරණ බීජාවරණ බවටත්, ඩිම්බය බීජය බවටත්, ඩිම්බ කෝෂය ඵලය බවටත් පත්වන අතර ඩිම්භ කෝෂ බිත්තිය ඵලාවරණ බවට පත්වේ.
ඇතැම් පුෂ්පවල මණිපත්‍ර සංසේචනයෙන් පසුවද හැලී නොයන අතර ඒවා මාංසල වී ඵලාවරණය හා බද්ධව පවතී. පේර හා ජම්බු මීට නිදසුන් ය.

සංසේචනය නොවන ඩිම්බ, සරු බීජ බවට වර්ධනය නොවේ. ඵලයක් තුළ ඇති පුහු බීජ එලෙස සංසේචනය නොවූ පුහු ඩිම්බ වේ. වර්තමානයේදී මිනිසා විසින් කෘතීම හෝමෝන භාවිතා කර සංසේචනය නොවූ ඩිම්බ සහිත පුෂ්පවලින් ඵල හටගැන්වීම සිදු කරයි. මෙලෙස ඵල හටගැන්වීම පාතනෝඵලය ලෙස හැදින්වේ.

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි