වර්ධක ප්‍රචාරණය මගින් ශාක ප්‍රචාරණය කරන්නේ කෙසේද පිළිබද ඔබ දන්නවාද?



වර්ධක ප්‍රචාරණය කියන දේ වර්තමාන කෘෂිකර්මාන්තයේදී ශාක ප්‍රචාරණය කර ගැනීමට භාවිතා කරන්නා වූ ඉතා වැදගත් ක්‍රමවේදයක් විදියට දක්වන්න පුලුවන්. අපි බොහෝවිට නව ශාකයක් ලබා ගැනීමට සිදුකරන්නේ බීජයක් ප්‍රරෝහනය කිරීමනෙ, නමුත් බීජ හැරුණාම සමහර ශාකවල වර්ධක කොටස් නිසි ක්‍රමවේදයක් හරහා ප්‍රචාරණය කිරීම තුලිනුත් අපට නව ශාක ලබා ගැනීමට පුලුවන්. ශාකවල වර්ධක කොටස් මගින් නව ශාක බිහිකර ගැනීම වර්ධක ප්‍රචාරණය ලෙස හදුන්වනු ලබනවා.

සිටුවීමට ගන්නා ශාක වර්ධක කොටස්

Ø  දඬු කැබලි

මේරීමේ අවධිය අනුව සලකා බලා දඬු කැබලි කාණ්ඩ 3 කට වෙන්කර දක්වන්න පුලුවන්. දළ දඩු කැබලි, අඩ දළ දඩු කැබලි, ලා දඩු කැබලි මෙකී කොටස් තුන වනවා. සිටුවීම සදහා සුදුසු වන්නේ කුමන දඩු කැබලි කාණඩයද යන්න යොදා ගන්නා වර්ගය අනුව වෙනස් වනවා.

            දළ දඩු කැබලි - මුරුංගා
            අඩ දළ දඩු කැබලි - රෝස, වද
            ලා දඬු කැබලි - කෝලියාස්, බතල

මේරීම වැඩි වන විට අතු කැබලිවල සක්‍රීය භාවය අඩුවනවා. සංචිත ආහාර ප්‍රමාණය වැඩිවනවා.

Ø  මුල් කැබලි

ශාකයට ආසන්නයේ ලබාගත් මුල් කැබලි වැලි තවානක් තුල සිටුවීම තුලින් නව ශාක ලබා ගැනීම සිදු කරන්න පුලුවන්.
උදා: තේක්ක, බෙලි, කරපිංචා, දෙල්

Ø  ධාවක



ගොටුකොළ, ස්ට්‍රෝබෙරි වැනි ශාකවල පැළ දෙකක් සම්බන්ධ කරනු ලබන පොළොව මතුපිටින් ගමන් කරන කොටසක් ඔබ දැක ඇති. මේවා ධාවක ලෙස හැදින්වෙනවා. මෙම ධාවක සමග පැළයක් වෙන්කර සිටුවීම තුලින්ද නව ශාක ලබා ගැනීම කරන්නට පුලුවන්.


Ø  බල්බිල

පුෂ්ප අංකුර හෝ කක්ෂීය අංකුර වැනි වෙනත් වර්ධක අංකුර විකිරණය වීම තුලින් බල්බිල සෑදීම සිදුවනවා. මෙම බල්බිල ශාකයෙන් වෙන්කර සිටුවීම කරන්න පුලුවන්. උදාහරණ ලෙස කොඩොල් ශාකයේ වායව කොටසේ හටගන්නා අල වැනි කොටස්ද ගෝනි ගස්වල පුෂ්ප මංජරියේ ඇතිවන කුඩා පැළ ආදියත් දක්වන්න පුලුවන්.


Ø  භූගත කදන්


බල්බය



   කෝමය 


පොළොව තුල වර්ධනය වන කදන් භූගත කදන් ලෙස හැදින්වෙනවා. මෙම ශාකවල පොළොවෙන් ඉහල දක්නට ලැබෙනුයේ වායව කදකි. මෙම භූගත කද කොටස් කර සිටුවීම තුලින්ද නව ශාක ලබා ගැනීම සිදුකරන්නට පුලුවන්.
භූගත කදන් වර්ග 4 කින් යුක්ත වනවා.
1.      රයිසෝම - ඉඟුරු, කහ
2.      බල්බය - රතු ලූණු, සුදු ලූණු
3.      කෝමය - හබරල, කිරි අල
4.      ස්කන්ධ ආකන්දය - අර්තාපල්

Ø  මොරෙයියන්

කෙසෙල් හා අන්නාසි ශාකවල හටගන්නා මොරෙයියන් ඔබ දැක ඇතිවා නිසැකයි. මෙම මොරෙයියන් මගින්ද නව ශාක ලබා ගැනීම සිදු කරන්නට පුලුවන්.

Ø  පත්‍ර

සමහර ශාකවල පත්‍ර හරහා මුල් ඇද්දවීම තුලින් නව ශාක ලබාගැනීම සිදුකරන්න පුලුවන්. බිගෝනියා ඊට කදිම නිදසුනකි.




වර්ධක ප්‍රචාරණයේ වාසි

වර්ධක ප්‍රචාරණය හරහා ලැබෙන වාසි බොහෝමයි. මේ දැක්වෙන්නේ ඒවායින් කිහිපයකි.
Ø  මව් ශාකයට සමාන ශාක බිහිකර ගැනීමට පුලුවන
Ø  උසස් ලක්ෂණ සහිත ශාකවලින් නව ශාක ලබාගැනීමට පුලුවන
Ø  සමාන ලක්ෂණ සහිත ශාකවලින් ලබා ගැනීම සිදුකරන්නට හැකිවීම නිසා ඒකාකාරී වගාවක් ලබාගැනීමටද හැකිවනවා. එය පාලනයද පහසු කරවනවා.
Ø  වසරේ ඕනෑම කාලයකදී කල හැකිය
Ø  ඵල හට නොගන්නා හා බීජ රහිත අන්නාසි, කෙසෙල් වැනි ශාක ප්‍රචාරණයට හැකි වනවා.
Ø  බීජ හටගැනීමට අධික කාලයක් ගන්නා ඕකිඩ් වැනි ශාක ප්‍රචාරණයට සුදුසු වනවා
Ø  සාපේක්ෂව අඩු කාලයකින් නව ශාක ලබාගත හැකිවනවා
Ø  ලැබෙනුයේ සාපේක්ෂව කුඩා ශාක වේ.




වර්ධක ප්‍රචාරණයේ අවාසි

Ø  ඵල දරන කාලය සාපේක්ෂව අඩුය
Ø  අහිතකර පරිසර තත්වවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුය.
Ø  සමහර වර්ධක ප්‍රචාරණ ක්‍රමයන් වලදී එක් ශාකයකින් ලබාගත හැකිවන්නේ නව ශාක කිහිපයක් පමණි.
Ø  දිගින් දිගටම මව් ශාකයේ ලක්ෂණම පවත්වාගෙන යන නිසා නව ලක්ෂණ ඇතිවීම සිදු නොවේ. මෙය ශාකයේ පැවැත්මට ගැටලුවක්ද වන්නට පුලුවන.


නමුත් සමහර අවස්ථාවලදී වර්ධක ප්‍රචාරණයෙන් බිහිකරගත් ශාකවලද නව ලක්ෂණ දැකිය හැකිය. මෙය විකෘති වෙනස්කම් ලෙස හැදින්වෙනවා.

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි