වර්ධක ප්‍රචාරණය මගින් ශාක ප්‍රචාරණය කරන්නේ කෙසේද පිළිබද ඔබ දන්නවාද?



වර්ධක ප්‍රචාරණය කියන දේ වර්තමාන කෘෂිකර්මාන්තයේදී ශාක ප්‍රචාරණය කර ගැනීමට භාවිතා කරන්නා වූ ඉතා වැදගත් ක්‍රමවේදයක් විදියට දක්වන්න පුලුවන්. අපි බොහෝවිට නව ශාකයක් ලබා ගැනීමට සිදුකරන්නේ බීජයක් ප්‍රරෝහනය කිරීමනෙ, නමුත් බීජ හැරුණාම සමහර ශාකවල වර්ධක කොටස් නිසි ක්‍රමවේදයක් හරහා ප්‍රචාරණය කිරීම තුලිනුත් අපට නව ශාක ලබා ගැනීමට පුලුවන්. ශාකවල වර්ධක කොටස් මගින් නව ශාක බිහිකර ගැනීම වර්ධක ප්‍රචාරණය ලෙස හදුන්වනු ලබනවා.

සිටුවීමට ගන්නා ශාක වර්ධක කොටස්

Ø  දඬු කැබලි

මේරීමේ අවධිය අනුව සලකා බලා දඬු කැබලි කාණ්ඩ 3 කට වෙන්කර දක්වන්න පුලුවන්. දළ දඩු කැබලි, අඩ දළ දඩු කැබලි, ලා දඩු කැබලි මෙකී කොටස් තුන වනවා. සිටුවීම සදහා සුදුසු වන්නේ කුමන දඩු කැබලි කාණඩයද යන්න යොදා ගන්නා වර්ගය අනුව වෙනස් වනවා.

            දළ දඩු කැබලි - මුරුංගා
            අඩ දළ දඩු කැබලි - රෝස, වද
            ලා දඬු කැබලි - කෝලියාස්, බතල

මේරීම වැඩි වන විට අතු කැබලිවල සක්‍රීය භාවය අඩුවනවා. සංචිත ආහාර ප්‍රමාණය වැඩිවනවා.

Ø  මුල් කැබලි

ශාකයට ආසන්නයේ ලබාගත් මුල් කැබලි වැලි තවානක් තුල සිටුවීම තුලින් නව ශාක ලබා ගැනීම සිදු කරන්න පුලුවන්.
උදා: තේක්ක, බෙලි, කරපිංචා, දෙල්

Ø  ධාවක



ගොටුකොළ, ස්ට්‍රෝබෙරි වැනි ශාකවල පැළ දෙකක් සම්බන්ධ කරනු ලබන පොළොව මතුපිටින් ගමන් කරන කොටසක් ඔබ දැක ඇති. මේවා ධාවක ලෙස හැදින්වෙනවා. මෙම ධාවක සමග පැළයක් වෙන්කර සිටුවීම තුලින්ද නව ශාක ලබා ගැනීම කරන්නට පුලුවන්.


Ø  බල්බිල

පුෂ්ප අංකුර හෝ කක්ෂීය අංකුර වැනි වෙනත් වර්ධක අංකුර විකිරණය වීම තුලින් බල්බිල සෑදීම සිදුවනවා. මෙම බල්බිල ශාකයෙන් වෙන්කර සිටුවීම කරන්න පුලුවන්. උදාහරණ ලෙස කොඩොල් ශාකයේ වායව කොටසේ හටගන්නා අල වැනි කොටස්ද ගෝනි ගස්වල පුෂ්ප මංජරියේ ඇතිවන කුඩා පැළ ආදියත් දක්වන්න පුලුවන්.


Ø  භූගත කදන්


බල්බය



   කෝමය 


පොළොව තුල වර්ධනය වන කදන් භූගත කදන් ලෙස හැදින්වෙනවා. මෙම ශාකවල පොළොවෙන් ඉහල දක්නට ලැබෙනුයේ වායව කදකි. මෙම භූගත කද කොටස් කර සිටුවීම තුලින්ද නව ශාක ලබා ගැනීම සිදුකරන්නට පුලුවන්.
භූගත කදන් වර්ග 4 කින් යුක්ත වනවා.
1.      රයිසෝම - ඉඟුරු, කහ
2.      බල්බය - රතු ලූණු, සුදු ලූණු
3.      කෝමය - හබරල, කිරි අල
4.      ස්කන්ධ ආකන්දය - අර්තාපල්

Ø  මොරෙයියන්

කෙසෙල් හා අන්නාසි ශාකවල හටගන්නා මොරෙයියන් ඔබ දැක ඇතිවා නිසැකයි. මෙම මොරෙයියන් මගින්ද නව ශාක ලබා ගැනීම සිදු කරන්නට පුලුවන්.

Ø  පත්‍ර

සමහර ශාකවල පත්‍ර හරහා මුල් ඇද්දවීම තුලින් නව ශාක ලබාගැනීම සිදුකරන්න පුලුවන්. බිගෝනියා ඊට කදිම නිදසුනකි.




වර්ධක ප්‍රචාරණයේ වාසි

වර්ධක ප්‍රචාරණය හරහා ලැබෙන වාසි බොහෝමයි. මේ දැක්වෙන්නේ ඒවායින් කිහිපයකි.
Ø  මව් ශාකයට සමාන ශාක බිහිකර ගැනීමට පුලුවන
Ø  උසස් ලක්ෂණ සහිත ශාකවලින් නව ශාක ලබාගැනීමට පුලුවන
Ø  සමාන ලක්ෂණ සහිත ශාකවලින් ලබා ගැනීම සිදුකරන්නට හැකිවීම නිසා ඒකාකාරී වගාවක් ලබාගැනීමටද හැකිවනවා. එය පාලනයද පහසු කරවනවා.
Ø  වසරේ ඕනෑම කාලයකදී කල හැකිය
Ø  ඵල හට නොගන්නා හා බීජ රහිත අන්නාසි, කෙසෙල් වැනි ශාක ප්‍රචාරණයට හැකි වනවා.
Ø  බීජ හටගැනීමට අධික කාලයක් ගන්නා ඕකිඩ් වැනි ශාක ප්‍රචාරණයට සුදුසු වනවා
Ø  සාපේක්ෂව අඩු කාලයකින් නව ශාක ලබාගත හැකිවනවා
Ø  ලැබෙනුයේ සාපේක්ෂව කුඩා ශාක වේ.




වර්ධක ප්‍රචාරණයේ අවාසි

Ø  ඵල දරන කාලය සාපේක්ෂව අඩුය
Ø  අහිතකර පරිසර තත්වවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුය.
Ø  සමහර වර්ධක ප්‍රචාරණ ක්‍රමයන් වලදී එක් ශාකයකින් ලබාගත හැකිවන්නේ නව ශාක කිහිපයක් පමණි.
Ø  දිගින් දිගටම මව් ශාකයේ ලක්ෂණම පවත්වාගෙන යන නිසා නව ලක්ෂණ ඇතිවීම සිදු නොවේ. මෙය ශාකයේ පැවැත්මට ගැටලුවක්ද වන්නට පුලුවන.


නමුත් සමහර අවස්ථාවලදී වර්ධක ප්‍රචාරණයෙන් බිහිකරගත් ශාකවලද නව ලක්ෂණ දැකිය හැකිය. මෙය විකෘති වෙනස්කම් ලෙස හැදින්වෙනවා.

පරිගණකයේ ඉතිහාසය හා වර්ගීකරණය පිළිබදව දැනගන්න කැමති ඔයාලටයි මේ

පරිගණකය යනු අද වන විට සෑම නිවසකම හා කාර්‍යාලයකම භාවිතා වන ඉතා වැදගත් මෙන්ම හුරුපුරුදු උපාංගයකි. එය හුදෙක් එකවරම නිපදවූවක් නොවේ. පරිගණකය නමැති අද අප භාවිතා කරන උපකරණය නිපදවීමට අදාල සංකල්ප බිහිවීමට පටන් ගත්තේ මීට සියවස් ගණනාවකට කලින් ය.

            ඉතින් මේ රසබර හා කුතුහල ජනක ඉතිහාසයත් පරිගණක වර්ගීකරණය පිලිබදවත් මේ ලිපිය තුලින් විමසා බලන්නට මා සූදානම්. අ.පො.ස උසස්පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ඔබටත් උසස් අධ්‍යාපන ආයතනවල ඩිප්ලෝමා හදාරන ඔබටත් මෙන්ම අනෙකුත් අයගේ දැනුම උදෙසා මේ ලිපිය ඉතා වැදගත් වේ යැයි මා විශ්වාස කරමි.

පරිගණකයේ ඉතිහාසය


පරිගණකය අද දක්වා දියුණු වීමේ ඉතිහාසය ප්‍රධාන වකවානු 4 ක් යටතේ සාකච්ඡා කරනු ලැබේ.

යාන්ත්‍රික යුගය (1450 – 1840)

ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය, සර්පණ රූල(slide rular), පැස්කලයින් යන්ත්‍රය(pascaline), වැඩිදියුණු කළ පැස්කලයින් යන්ත්‍රය, චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම(Analytical engine) යනාදී උපකරණ මේ යුගයට අයත්‍ ය. එසේම ජෝසප් ජැකාඩ් විසින් සිදුරු පත්‍රිකා ක්‍රමය ලොවට හදුන්වා දෙනු ලැබූයේ මේ යුගයේදීය. ප්‍රථම පරිගණක වැඩසටහන ලෙස සැලකෙන ඇඩා ඔගස්ටා ලව්කේස් මැතිනිය සිදුරු පත්‍රිකා යොදාගෙන සකස් කරන ලද වැඩසටහන අයත් වන්නේද මේ යුගයටයි. එය චාල්ස් බැබේජ්ගේ පරිගණකය සදහා සැලසුම් සකස් කරන ලදී.

චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම

 විද්යුත් යාන්ත්‍රික යුගය (1840 – 1940)

විද්යුත් යාන්ත්‍රික යුගයේ ආරම්භක අවස්ථාව විද්යුත් චුම්බක පණිවුඩ ක්‍රමයයි. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොයා ගැනීම, 1897 දී ගුග්ලි ඇල්මෝ මාර්කෝනි විසින් ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීම ආදිය තොරතුරු තාක්ෂණයේ වැදගත් අවස්ථා ලෙස දැක්විය හැකිය.

විද්යුත් යුගය (1940 සිට අද දක්වා)

ඉලෙක්ට්‍රොනික වෑල්වය හෙවත් රික්ත නලය(Vaccum Tube) සොයාගැනීමෙන් පසුව ඒවා මේ යුගයේ තොරතුරු තාක්ෂණ උපාංග සෑදීමට පාදක විය. පලමු ස්වයංක්‍රීය පරිගණකය වන මාක් 1 නිර්මාණය කිරීම සදහා, පලමු පොදුකාර්‍ය අංකිත පරිගණක වන එනියැක්(ENIAC – Electronic Numerical Integrator And Computer) පරිගණකය නිර්මාණය කිරීමට හා ගබඩා කල ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකය වන එඩ්වැක්(EDVAC – Electronic Discrete Variable Automatic Computer) පරිගණකය නිර්මාණය කිරීමට රික්ත නල යොදා ගන්නා ලදි. පසුව ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමද, එයිනුත් පසුව අනුකලිත පරිගණක යොදා ගැනීමද සමග පරිගණක තාක්ෂණය තවදුරටත් දියුණු වූයේය. අනුකලිත පරිපථ තාක්ෂණය තවදුරටත් දියුණු වීමත් සමග මයික්‍රෝ ප්‍රොසෙසරයන්ද අද දක්වාම පරිගණකවල භාවිතා වේ.







පරිගණක වර්ගීකරණය

වර්ගීකාරක කිහිපයක්ම යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට පුලුවන. ප්‍රධාන පරිගණක වර්ගීකරණ ක්‍රමයක් වන්නේ පරිගණකය තුළ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණික උපාංග යොදාගෙන කරන වර්ගීකරණයයි.මෙහිදී පරම්පරා 4 කට බෙදා දක්වයි.

පළමු පරම්පරාව (1940 – 1956)

රික්ත නළ භාවිතයෙන් තැනූ පරිගණක මීට අයත් වේ. ENIAC,UNIVAC -1, යන පරිගණක නිපදවූයේ මෙම රික්ත නල  යොදාගෙනය. මේ පරිගණක කාමරයක එක්ලස් කර තැබිය යුතු තරමේ විශාල විය. විදුලි බලය ඉතා අධිකව වැයවිය. දත්ත ඇතුල් කිරීමට යොදාගනු ලැබූයේ යාන්ත්‍රික භාෂාවයි. ආදාන උපක්‍රමය ලෙස යොදාගන්නේ පන්ච්ඩ් කාඩ් තාක්ෂණයයි. භාවිතා කරන විට අධික තාපයක් පිටවිය. කාර්‍යක්ෂමතාවය හා විශ්වාසනීයත්වය ඉතා අඩු වූ අතර මිල ඉතා අධික විය.


රික්ත නලයක් ලෙස හැදින්වෙන්නේ විදුලි බුබුලක් බදු වෑල්වයකි. මේ තුල බල්බයක මෙන් සූත්‍රිකාවක් ඇත. එමෙන්ම ඉලෙක්ට්‍රෝඩද වේ. මෙය සකසා ඇත්තේ වීදුරු නලය තුල ඇති වායුව ඉවත් කිරීම සදහාය. රික්ත නලය ක්‍රියාකිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපයෙන්නේ එහි සූත්‍රිකාව ලෙස ඇති කැතෝඩයෙනි. මේ සදහා කැතෝඩය රත් කරයි. කැතෝඩය රත් කරන විට ඒ තුල ඇති ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේගයෙන් චලනය වන අතර ඇතැම් ඉලෙක්ට්‍රෝන පිටතට යොමු වෙයි. එසේ පිටතට විහිදෙන ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිත ඇනෝඩයට ආකර්ෂණය වෙයි.
සාමාන්‍යයෙන් රික්ත නලයේ මෙම ඇනෝඩය හැදින්වෙන්නේ ප්ලේට් ලෙසය. රික්ත නලයක් හැදින්වෙන්නේ ඩයෝඩයක් ලෙසය. එනම් එහි ඉලෙක්ට්‍රෝඩ දෙකක් පමණක් ඇති බැවිනි. මෙවැනි ඩයෝඩයක සූත්‍රිකාව අසල ඇත්තේ කැතෝඩයයි. මුල් කාලයේ පරිගණක සදහා භාවිතා කරන ලද්දේ ට්‍රයෝඩ වර්ගයේ රික්ත නලයි. ඇනෝඩය හා කැතෝඩය අසල තවත් ඉලෙක්ට්‍රෝඩයක් තබා ට්‍රයෝඩය සකසා තිබේ. කැතෝඩය මගින් නිකුත් කරන ලද ඉලෙක්ට්‍රෝන ධාරාව ඇනෝඩය වෙත ආකර්ෂණය වන ස්වරූපය පාලනය කරන්නට මෙම අමතර ඉලෙක්ට්‍රෝඩය යොදා ගැනේ. එනිසා මෙම ඉලෙක්ට්‍රෝඩය කන්ට්‍රෝල් ග්‍රිඩ් ලෙස හැදින්වේ.
කන්ට්‍රෝල් එකට විභවයක් ලබාදුන් විට ඇනෝඩය විසින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන කන්ට්‍රෝල් එකට ලබා ගනී. එහෙත් කන්ට්‍රෝල් එක වෙත ඍණ විභවයක් ලබා දුන්විට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරයි. මේ අනුව ධන හෝ ඍණ කුමන විභවයක් ලබාදුන්නද මෙමගින් ඇනෝඩය හා කැතෝඩය අතර පාලනයක් ඇතිකල හැකිය. මෙහිදී කන්ට්‍රෝල් එකවෙත කැතෝඩයේ විභවයට සමාන විභවයක් ලබාදුන් විට කන්ට්‍රෝල් එක අක්‍රීය වෙයි.

දෙවැනි පරම්පරාව (1956 – 1963)

ට්‍රාන්සිස්ටරයේ සොයාගැනීමත් සමගම ඉලෙක්ට්‍රොනික පරිගණකවල දෙවැනි පරම්පරාව ආරම්භ විය. රික්ත නල හා සාපේක්ෂව ගත් කල මේවා සදහා අවශ්‍ය වන්නේ ඉතා අඩු විදුලි බලයකි. මිලෙන්ද ඉතා අඩු විය. ට්‍රාන්සිස්ටර ප්‍රමාණයෙන් කුඩා වන අතර බරින්ද අඩුය. ක්‍රියාත්මක වීමට කලින් රත්වීම අනවශ්‍ය වූ අතර එබැවින් හානිවන ශක්ති ප්‍රමාණයද අඩු විය. මෙම පරිගණකවල දත්ත ගබඩා කිරීම සදහා චුම්බකිත පටි හා චුම්බකිත තැටි භාවිතා කරන ලදි. මේ පරිගණකවල භාවිතා වූ පරිගණක භාෂාවන් වූයේ Cobol හා Fortran යන පරිගණක භාෂාය. පලමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව කාර්‍යක්ෂම විශ්වාසනීය හා මිල අතින් අඩුද විය.
සන්නායක යනු හොදින් විදුලිය ගමන් කරන තඹ, යකඩ, ඊයම් වැනි ද්‍රව්‍යයන් වන අතර පරිවාරක යනු විදුලිය ගමන් නොකරන ප්ලාස්ටික්, වීදුරු වැනි ද්‍රව්‍යයයි. අර්ධ සන්නායකවල සන්නායක හා පරිවාරක යන දෙකටම අදාල පොදු ගුණාංග වේ. කිසියම් කොන්දේසියක් සත්‍ය වූ විට විදුලිය ගමන් කිරීමද කොන්දේසිය අසත්‍ය වූ විට විදුලිය ගමන් නොකිරීමද මෙහි ස්වභාවය වේ. ජර්මේනියම් යනු එවැනි අර්ධ සන්නායක ලෝහයකි.
ට්‍රාන්සිස්ටරයක පාද තුනක් ඇත. එනම් පාදය(base), සංග්‍රාහකය(Collector), හා විමෝචකය(emitter) යන ඒවාය. රික්ත නලය සමග සැසදීමේදී පාදය රික්ත නලයේ ඇති කන්ට්‍රෝල් ග්‍රිඩ් එකටද, සංග්‍රාහකය ඇනෝඩයටද, විමෝචකය කැතෝඩයටද සමාන කළ හැකිය.

තුන්වැනි පරම්පරාව (1964 – 1971)

සමෝධානික හෙවත් අනුකලිත පරිපථ තාක්ෂණය(IC – Integrated Circuits) භාවිතා විය. ඔබ ට්‍රාන්සිස්ටර දෙකක ක්‍රියාකාරකම එක්කර තනි ට්‍රාන්සිස්ටරයක් සෑදූවේ යැයි සිතමු. එවිට ඒ හරහා ට්‍රාන්සිස්ටර දෙකේම ක්‍රියාකාරීත්වය ලබාගැනීමට පුලුවන. මෙලෙස ට්‍රාන්සිස්ටර වැඩි ගණනක් එකතු කර අනුකලිත පරිපථ නිපදවනු ලැබීය. මෙම යුගයේදී මේන්ෆ්රේම් පරිගණක නිපදවීම ආරම්භ විය. මෙතෙක් භාවිතා කරන ලද ආදාන හා ප්‍රතිදාන අතුරු මුහුණත් වෙනුවට වර්තමානයේ භාවිතාවන පරිගණකවලට තරමක් හෝ සමාන අතුරු මුහුණත්, යතුරු පුවරු, සංදර්ශක තිර භාවිතය ආරම්භ විය. පරිගණකයේ අන්තර්ගත මෙහෙයුම් පද්ධතියකින් වැඩ කිරීම ආරම්භ වූයේ මේ යුගයේදීය. මෙම ට්‍රාන්සිස්ටර ක්‍රියාත්මක වන්නට වැය වූයේ අඩු විදුලි බලයකි. දෙවැනි පරම්පරාවේ පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා පරිගණක නිර්මාණය කරන්නට හැකිවිය. භාවිතා කරන විට තාපය පිටවීම අවම විය. මෙහිදී දත්ත ගබඩා කිරීමට චුම්බකිත පටි හා තැටි(Magnetic Tape/Magnetic Disk) භාවිතා විය. ට්‍රාන්සිස්ටර යොදා සැකසූ පරිගණකවලට වඩා මිලෙන් අඩුවූ අතර කාර්‍යක්ෂමතාව හා විශ්වාසනීයත්වය කලින් පරම්පරාවලට වඩා වැඩි විය.

 හතරවන පරම්පරාව (1971 – අද දක්වා)

නූතන පරම්පරාව එනම් හතරවන පරම්පරාවේ පරිගණකවල යොදා ගැනෙන්නේ ක්ෂුද්‍ර සකසන හෙවත් මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණයයි. මෙම පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් කුඩා මෙන්ම මිලෙන්ද ඉතා අඩු විය. එසේම මෙම පරිගණක ජාලගත කල හැකිය. චිත්‍රක අතුරු මුහුණත් සහ ඒවා හැසිරවීමට ඔවුන් ටච් පෑඩ් වැනි උපකරණ යොදා ගැනිණි.
මෙම යුගයේ පරිගණක විශ්වාසනීයත්වයෙන් ඉතා ඉහල අතර කාර්‍යක්ෂමතාවයෙන්ද ඉතා වැඩිය. අනුකලිත පරිගණක තාක්ෂණය වැඩි දියුණු කර ප්‍රොසෙසර නිර්මාණය කර තිබේ. වර්තමාන පරිගණකවල යොදා ගැනෙන්නේ මෙම ප්‍රොසෙසරයි.
 මේ අයුරින් පරිගණකවල භාවිතා කළ තාක්ෂණය වර්ගීකාරක පදනම ලෙස යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට අමතරව තවත් වර්ගීකාරක උපයෝගී කරගෙන පරිගණක වර්ගීකරණය කෙරේ. දැන් අපි ඒවා පිලිබදවත් වෙන වෙනම අධ්‍යනය කරමු.

 



ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය

ප්‍රමාණය අනුව පරිගණක වර්ග කරනුයේ සුපිරි පරිගණක(super computer), මහා පරිගණක(Mainframe), මධ්‍ය පරිගණක(Mini computers) සහ ක්ෂුද්‍ර පරිගණක(Micro Computer) ලෙසටය. අප වර්තමානයේ භාවිතා කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි කුඩා ප්‍රමාණයේ පරිගණක අයත් වන්නේ ක්ෂුද්‍ර පරිගණකවලටයි.





කාර්‍ය අනුව පරිගණක වර්ගීකරණය

මේ ක්‍රමයට අනුව පරිගණක ආකාර දෙකකට වර්ග කරනු ලැබේ. එනම් සාමාන්‍ය කටයුතු සදහා භාවිතා කරන පරිගණක(General purpose Computer) හා තනි කාර්‍යයක් වෙනුවෙන් භාවිතා කරන පරිගණක(Special purpose computer) ලෙසය.

නිර්මාණ තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය

මේ ක්‍රමවේදය අනුව පරිගණක වර්ග කරන්නේ එය නිර්මාණය කර ඇති ප්‍රධාන තාක්ෂණික ක්‍රමය අනුවය. එහිදී අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි පරිගණකයන්හි සිට සුපිරි පරිගණකය දක්වා ඇති විව්ධ වර්ගයේ පරිගණක අංකිත පරිගණක(Digital Computer) ලෙස හැදින්වේ. වෝල්ටීයතාවය, උෂ්ණත්වය, වේගය වැනි යම්කිසි ප්‍රභවයක් අඛණ්ඩව මැනීම සදහා යොදා ගන්නේ ප්‍රතිසම පරිගණකයි(Analog Computer). මෙම පරිගණක තාක්ෂණ දෙකම එකතු කොට තැනූ පරිගණක මිශ්‍ර හෙවත් දෙමුහුම් පරිගණක ලෙස හැදින්වේ.


දැන් ඔබට පරිගණකවල ඉතිහාසය හා පරිගණක වර්ග කරන්නේ කෙසේද යන්න පිළිබදව යම් දැනුමක් මේ හරහා ලැබෙන්නට ඇතැයි සිතමි. ඉදිරියේදීත් තොරතුරු තාක්ෂණ විෂයට අදාල ඉතා වැදගත් ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. දිගටම අපගේ බ්ලොග් අඩවිය සමග සම්බන්ධ වන්න. 

ලංකාවේ වර්ෂාපතන රටාව අධ්‍යයනය කරන්නට පිවිසෙමු



වර්ෂාපතනය එහෙමත් නැතිනම් වර්ෂාව කියන වචනය අපි හැමෝටම පුරුදු අපි හැමෝම අත් විදින දෙයක්. ඉතින්  මේ වර්ෂාව තමයි අපට ජලය ලබාදෙන ප්‍රධාන ප්‍රභවය. උදාහරණයක් විදියට කෘෂිකර්මානතයේදී බෝග වගාවට ජලය ලබා දෙන ප්‍රධාන මාධ්‍ය විදියට වර්ෂාපතනය වැදගත් වනවා.
කෘෂිකර්මාන්තයේදී ගොවීන් කෙලින්ම වර්ෂා ජලය උපයෝගී කරගනිමින් හෝ වර්ෂා ජලයෙන් පෝෂණය වන ගංගා ඇලදොල වැව් අමුණු හරහා ජලය ලබා ගනිමින් බෝග වගා කටයුතු පවත්වාගෙන යනු ලබනවා. ඉතින් ඔබ ලංකාවේ කෘෂිකාර්මික හෝ බෝග වගාව පිළිබද අධ්‍යනය කරන හෝ එහි නියැලෙන කෙනෙක් නම් ඔබට වර්ෂාපතන ප්‍රමාණය, ව්‍යාප්තිය හා එහි තීව්‍රතාව පිළිබද දැන සිටීම අත්‍යවශ්‍ය කරුණක් වනවා නිසැකයි. ඉතින් මේ ලිපිය තුලින් මා ලංකාවේ ලංකාවේ වර්ෂාපතන රටාව ආදී වර්ෂාපතනය සම්බන්ධ සෑම කරුණක්ම අධ්‍යනය කරන්නට බලාපොරොත්තු වනවා.
අපි මුලින්ම බලමු වර්ෂාපතනය කියන්නෙ මොකක්ද කියලා

“වර්ෂාපතනය යනු කිසියම් ප්‍රදේශයක නිශ්චිත කාලයක් තුලදී ලැබෙන මැනගත හැකි වර්ෂා ජල ප්‍රමාණයයි.”

වර්ෂාපතනය පිළිබඳව අධ්‍යනයේදී අපට ඇසෙන වචන අතර වර්ෂාපතන ප්‍රමාණය, වර්ෂාපතන තීව්‍රතාවය වගේ ඒවා ප්‍රධාන වනවා. අපි බලමු මේ එක් එක් වචනයේ තේරුම් මොනවාද කියලා.

·         වර්ෂාපතන ප්‍රමාණය
යම් කාල සීමාවක් තුළ ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය

·         වර්ෂාපතන ව්‍යාප්තිය
යම් කාල සීමාවක් තුල ලැබෙන වර්ෂාපතනයේ පැතිරීම

·         වර්ෂාපතන තීව්‍රතාව
පැයකට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය


ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රම
ලංකාවට ප්‍රධාන ක්‍රම 3ක් මගින් වර්ෂාව ලැබේ.
1.      මෝසම් වර්ෂාව
2.      සංවහන වර්ෂාව
3.      වාසුළි වර්ෂාව

ලංකාවේ වාර්ෂික වර්ෂාපතන සිතියම 




·         මෝසම් වර්ෂාව

අප රටට වැඩිපුරම වැසි ලැබෙන්නේ මේ ක්‍රමය හරහාය. මෝසම් වර්ෂාවේ කොටස් 2කි.
        I.            නිරිත දිග මෝසම් වර්ෂාව
     II.            ඊශාන දිග මෝසම් වර්ෂාව

නිරිත දිග මෝසම් වර්ෂාව


නිරිත දිග මෝසම් වර්ෂා සිතියම 

නිරිත දිග මෝසම් සුළං නිසා ඇතිවේ. මෙම සුළං ලංකාවේ නිරිතදිග පෙදෙසින් රටට ඇතුළු වේ. රටේ නිරිතදිග ප්‍රදේශයට මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවලට වැඩි වර්ෂාවක් ලබා දෙයි. මේ කාලය තුල දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවලට වියලි සුලං හමා යයි. මැයි සිට සැප්තැම්බර් කාලය තුල බල පවත්වයි.


ඊශාන දිග මෝසම් වර්ෂාව


ඊශානදිග මෝසම් වර්ෂා සිතියම 

රටේ ඊශාන දෙසින් ඇතුල් වන ඊශානදිග මෝසම් සුලං නිසා ඇතිවේ. රටේ වැඩි ප්‍රදේශයකට මේ මෝසම් වර්ෂාව නිසා වැසි ලැබේ. ඒ අතර උතුරු, නැගෙනහිර, උතුරුමැද ප්‍රදේශ කැපී පෙනේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා බල පවත්වයි.

 ·       සංවහන වර්ෂාව

තද හිරු රැස් ඇති දිනවල දහවල් කාලයේදී ඇතිවන සංවහන වායු ධාරා නිසා අහස වලාකුලින් බරවී සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි සංවහන වැසි ලෙස හැදින්වේ. මේ වැසි ප්‍රධාන කාල වකවානු දෙකකදී ඇතිවේ. එනම් මාර්තු සිට අප්‍රේල් කාල වකවානුව හා සැප්තැම්බර් සිට ඔක්තෝබර් කාල වකවානු දෙකයි.

·       වාසුළි වර්ෂාව

සාගරවල ඇතිවන පීඩන අවපාතන නිසා වාසුළි ඇතිවේ. මේ සමග ඇතිවන තද වැසි වාසුළි වැසි නම් වේ. ප්‍රධාන වශයෙන්ම වාසුලි හරහා වැසි ලැබෙන්නේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාල වකවානුවේය.






වගා කන්න


 ලංකාවේ වර්ෂාපතන රටාවේ පැහැදිලිව වෙන්වූ කලාප දෙකක් දක්නට ලැබේ. මේ රටාව ද්විමාණ(bio-model) වර්ෂාපතන රටාවක් ලෙස හදුන්වනු ලැබේ.
ඒ අනුව යල හා මහ ලෙස වෙන්වුනු ප්‍රධාන වගා කන්න දෙකක් හදුනාගත හැකිය.

යල කන්නය (මාර්තු - සැප්තැම්බර්)

පලමු අන්තර් මෝසම හා දෙවන අන්තර් මෝසම අවසානයේ වියළි කලාපයට හා අතරමැදි කලාපයේ බොහෝ ප්‍රදේශවලට නිරිතදිග මෝසම බල නොපැවැත්වෙන බැවින් යල කන්නය ඉතා කෙටිය. තෙත් කලාපය තුල නිරිතදිග මෝසම සක්‍රීයව බල පැවැත්වෙන බැවින් සම්පූර්ණ කාල සීමාවම අයත්‍ය.
පලමු අන්තර් මෝසම් වැසි වලින් වගාව ආරම්භ වේ.
අගෝස්තු වියළි කාලගුණයේදී ධාන්‍ය හා පාංශු භෝග අස්වනු නෙලා ගැනේ. වියලි කලාපය තුල කෙටිකාලීන බෝග වැඩීම හෝ ජල සම්පාදන තත්ව යටතේ බෝග වගා කරනු ලබයි.

මහ කන්නය (ඔක්තෝබර් - පෙබරවාරි)

දෙවන අන්තර් මෝසම හා ඊශානදිග මෝසම් වලින් වර්ෂාව ලැබේ. මහ කන්නයේ වගා කටයුතු දෙවන අන්තර් මෝසම් වැසි වලින් ආරම්භ වේ. ඊශානදිග මෝසම් වැසිවලින් බෝග වගාවට අවශ්‍ය ජලය ලැබේ. බෝග වගාවට අවශ්‍ය ජලය ලබා ගැනීම මාර්තු-ජනවාරි කාලය තුල සිදුවේ.


වර්ෂාපතනය මැනීම

වර්ෂාපතනය මැනීම සදහා වර්ෂාමානය උපයෝගී කරගනු ලබයි. මේ උපකරණයට එක් රැස්වන වර්ෂා ජලය මැන වර්ෂාපතනය උසක් ලෙස සටහන් කරනු ලැබේ. වර්ෂාපතනය මනින සම්මත ඒකකය මිලිමීටර්(mm) වේ. මෙසේ ලබා ගන්නා දෛනික වර්ෂාපතන අගයන් මාසික හා වාර්ෂික වර්ෂාපතන අගයන් බවට පත් කරනු ලැබේ.

වර්ෂාමාන ප්‍රධාන ආකාර 2කි.


·         සරල වර්ෂාමානය


එක් රැස්වන ජලය ක්‍රමාංකනය කරන ලද මිනුම් සරාවකට දමා උසක් ලෙස මැන ගැනීම කෙරේ. වර්ෂාපතනය මැනීම පොළොව මට්ටමේ සිට 30cm උසකින් සිදු කෙරේ.


·         ස්වයංක්‍රීය වර්ෂාමානය

උපකරණයේ ඇති ප්‍රස්තාර කඩදාසියේ ස්වයංක්‍රීයව වර්ෂාපතනය සටහන් වේ.


 දැන් ඔබට ලංකාවේ වර්ෂාපතන රටාව, වගා කන්න හා වර්ෂාපතනය මනින ආකාරය ඇතුලු සියලු දේ පිලිබදව දැනුම ලැබෙන්නට ඇතැයි කියා මා සිතමි. ඉදිරියේදීත් මෙවැනි ලිපියකින් ඔබහට දැනුම ලබා දීමට මා අදහස් කරමි.




අපගේ ජනප්‍රියම ලිපි