උෂ්ණත්වය හා උෂ්ණත්වය වෙනස් වන ආකාරය ගැන දැන ගනිමු

උෂ්ණත්වය කියන දේ දේශගුණික හෝ කාලගුණික වාර්තාවක අනිවාර්‍යයෙන්ම අඩංගු වන දෙයක්. කලින් ලිපියකදී අපි ඔබට සදහන් කලා මතක ඇති දේශගුණය හා කාලගුණය අතර වෙනස පිළිබදව. අද මේ ලිපිය තුලින් මේ උෂ්ණත්වය පිලිබදවත් එය වෙනස්වන ආකාරය පිලිබදවත් ඔබට දැනුම ලබා දීමට බලාපොරොත්තු වනවා.

ඔබ මම මෙන්ම අපි හැමෝම දන්නවා පෘථිවියට ප්‍රධාන වශයෙන්ම රශ්මිය හා ආලෝකය ලැබෙන්නේ සූර්‍යයාගෙන් කියලා. මේ සූර්‍ය රශ්මිය නිසා පෘථිවි තලය වගේම ඒ වටා තිබෙන වායුගෝලයත් රත් වීම සිදු වනවා. එසේ ඇතිවන උණුසුමට තමයි අපි උෂ්ණත්වය විදියට සදහන් කරන්නේ. දහවල් කාලයේදී උෂ්ණත්වය වැඩිවීමක්ද රාත්‍රී කාලයේදී උෂ්ණත්වය අඩු වීමක්ද ඔබට පැහැදිලිවම දැනෙනවා ඇත. මීට හේතුව වන්නේ සුර්‍යයාගෙන් ඇතිවන බලපෑමයි.


උෂ්ණත්වය කෙරෙහි බලපාන සාධක


උෂ්ණත්වය කෙරෙහි බලපාන සාධක කිහිපයක්ම ඇත. ඉන් පළමුවැන්න වනුයේ අක්ෂාංශගත පිහිටීමයි. පෘථිවියේ ගෝලාකාර ස්වරූපය හේතුවෙන් සමකය දෙසට විහිදෙන කිරණ ලම්බකවද ධ්‍රැව දෙසට විහිදෙන කිරණ ඇලවද වැටෙන බව ඔබට වැටහෙනවා ඇති. සමක ප්‍රදේශයේදී හිරු කිරණ කෙලින්ම වැටෙන නිසා මෙන්ම වායුගෝලය හරහා යා යුතු දුර කෙටිවීම නිසාත් අනෙක් ප්‍රදේශවලට වඩා මෙහි උණුසුම වැඩිය. ධ්‍රැවය දෙසට යනවිට හිරු කිරණ ඇලව වැටීමත් වායුගෝලය හරහා යා යුතු දුර වැඩිවීමත් විශාල ප්‍රදේශයක පැතිරීමත් හේතුවෙන් ධ්‍රැවාසන්න ප්‍රදේශවල උෂ්ණත්වය අඩුය. මෙය බොහෝවිට අක්ෂාංශ අනුව තීරණය වීම සිදුවේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සමකය ආසන්නයේ උතුරු අක්ෂාංශ 5’ ත් 10’ ත් අතර බැවින් දිවයිනට අවුරුද්ද මුලුල්ලේම ඒකාකාරව සූර්‍ය තාපය ලැබේ. ඒ නිසා ඒකාකාරී උෂ්ණත්වයක් පවතී.





ඉහත සිතියම මගින් ශ්‍රී ලංකාවේ වාර්ෂික උෂ්ණත්ව ව්‍යාප්තිය දක්වා ඇත. රටක උෂ්ණත්ව ව්‍යාප්තිය දැක්වෙන්නේ සමෝෂ්ණ රේඛා වලිනි. සමාන උෂ්ණත්වයක් ඇති ස්ථාන යා කරමින් අදින රේඛා සමෝෂ්ණ රේඛා ලෙස හදුන්වනු ලබනවා.


උච්චත්වය හෙවත් උන්නතාංශය

ඔබ මහනුවර, නුවර එළිය හෝ ශ්‍රී පාදස්ථානය වැනි ස්ථානයකට ගොස් ඇත්නම් එබදු අවස්ථාවක් මතකයට නගා ගන්න. එම ප්‍රදේශවලට යන විට ඔබට උෂ්ණත්වයෙහි අඩු වීමක් පැහැදිලිවම දැනෙනවා ඇති.මෙයට හේතුව නම් මුහුදු මට්ටමේ සිට භූමියේ උස වැඩි වීමයි.
මුහුදු මට්ටමේ සිට ඉහල යන සෑම මීටර 100 කටම උෂ්ණත්වය 0.64C බැගින් අඩු වේ. මෙසේ උෂ්ණත්වය අඩුවීම පතන සීග්‍රතාවය ලෙස හදුන්වනු ලබනවා.


නගරය - මහනුවර
මුහුදු මට්ටමේ සිට උස - 447m
උෂ්ණත්වය - 24.4 C


නගරය - තලවකැලේ
මුහුදු මට්ටමේ සිට උස - 1375m
උෂ්ණත්වය - 18.6C

නගරය - නුවරඑලිය
මුහුදු මට්ටමේ සිට උස - 1882m
උෂ්ණත්වය - 15.4C

ප්‍රදේශය - පිදුරුතලාගල
මුහුදු මට්ටමේ සිට උස - 2524m
උෂ්ණත්වය - 11.5C

මුහුදු මට්ටමේ සිට උස වැඩිවන විට උෂ්ණත්වය අඩුවන බව මෙයින් ඔබට වැටහෙනවා ඇති.


සාගරයේ සිට ඇති දුර

උෂ්ණාධික වෙලාවක වැවක් අසලට හෝ මුහුදු වෙරළට ගිය අවස්ථාවක ඔබේ ගතට යම් සිසිල් බවක් දැනෙනවා ඇති. ඕනෑම ජලතලයක් ඒ අවට ප්‍රදේශයේ උෂ්ණත්වය පාලනය කිරීමට සමත් වෙයි. එයට හේතුව දහවල් කාලයේදී ජලය ගොඩබිමට වඩා සිසිල්ව පවතින අතර එය අවට ඇති වාතය සිසිල්ව තබා ගැනීමටද උපකාරී වීමයි. අප රට කුඩා දිවයිනක් වන අතර එහි ඕනෑම ස්ථානයක් මුහුදු වෙරළේ සිට 113km ක් නොයික්මයි. එබැවින් මුහුදු ප්‍රදේශවල බලපෑම නිසා උෂ්ණත්වය පාලනය වේ.

තවද අප රට ඉන්දීය මහා භූ ස්කන්ධයට ආසන්නව පිහිටීම එහි උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය වැඩිවීමට හේතු වී ඇත. මාර්තු හා අප්‍රේල් මාසවලදී යාපනයේ හා අනුරාධපුරයේ උෂ්ණත්වය ඉහල යන්නේ එම නගර උණුසුම් ඉන්දීය උප මහද්වීපයට ආසන්නව පිහිටීම නිසාය.

එමෙන්ම රිතුමය සුළං ද උෂ්ණත්ව ව්‍යාප්තියට බලපෑම් ඇති කරනු ලබයි. අප දිවයිනෙහි රිතු අනුව හමන සුළං රටාව වනුයේ මෝසම් සුළඟයි. ජලවාෂ්ප බහුල මෝසම් සුළං ගොඩබිම හරහා හමා යාමේදී එම මෝසම් සුළං මාර්ගයෙහි ඇති බිම් වල උෂ්ණත්වය අඩුවේ.



දේශගුණය හා කාලගුණය අතර වෙනස හදුනා ගනිමු



“දේශගුණය” වගේම “කාලගුණය” කියන්නේ අපට නිතර රූපවාහීනියෙන් අසන්නට ලැබෙන වචන දෙකක්. මේ ගැන ඉතින් ගොඩක්ම අසන්නට ලැබෙන්නේ කාලගුණ වාර්තාවෙන් තමයි ඉතින්.

“අද පස්වරු 2.30 ට ලැබුණු චන්ද්‍රිකා ඡායාරූපයට අනුව බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කේන්ද්‍රයක් වර්ධනය වෙමින් පවතී. මේ අනුව ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවේ අහස වළාකුලින් බරවන අතර වැසි සහිත කාළගුණයක් වර්ධනය වනු ඇත.”

ඉහත මා ගෙනහැර දැක්වූයේ එක්තරා රූපවාහිනී කාලගුණ වාර්තාවකින් උපුටා ගත්ත කොටසක්. එයින් කියැවෙන්නේ අද පවතින තත්වය වෙනස් වූ වැසි සහිත කාලගුණ තත්වයක් ඉදිරි දිනවල පැවතිය හැකි බවයි. දෛනිකව වායුගෝලයේ පවතින උෂ්ණත්වය, පීඩනය හා වර්ෂාව මේ වෙනස්කම්වලට පදනම් වී ඇති බව ඔබට වැටහෙනවා ඇති.

කෙටි කාලයකදී හෝ දෛනිකව සිදුවන කාලගුණික වෙනස්කම් ඕනෑම ප්‍රදේශයක මිනිස් කටයුතුවලට බලපෑම් කරන ආකාරය සොයා බැලීම ඉතා වැදගත් කටයුත්තක් වනවා මන්ද ගමන් බිමන් හා විනෝද චාරිකා, ගොවිතැන් කටයුතු, ධීවර කටයුතු හා ක්‍රීඩා වැනි අපේ දෛනික ජීවිතය සම්බන්ධ වැඩ කටයුතු වලදී කාලගුණයෙන් ඇතිවන බලපෑම් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය වනවා. දෛනික ජීවිතයට සම්බන්ධවන කාලගුණයත් එහි දිගුකාලීන තත්වයන් මත දේශගුණයත් පැහැදිලි අවබෝධයක් ලැබීම ඔබට ඉතා ප්‍රයෝජනවත් කටයුත්තක් වනවා නොඅනුමානයි.


කාලගුණය




කාලගුණය කියන්නේ කිසියම් මොහොතක කිසියම් ස්ථානයක වායුගෝලයේ ස්වභාවය ලෙස අර්ථ දක්වන්න පුලුවන්. මේ වායුගෝලයේ ස්වභාවය පිළිබද අදහස් කරන්නේ උෂ්ණත්වය, වර්ෂාපතනය ආර්ද්‍රතාවය, වළාකුළු, සුලගේ වේගය හා සුලං හමන දිශාව වගේ දේවල් තමයි. සමහර දවස්වල ඔබ දන්නවා දිගටම වහිනවා. එතකොට අපි කියනවා වැසි සහිත කාලගුණයක් කියලා, ඒ වගේම සමහර දවස්වල හොදට පායනවා. එතකොට අපි කියනවා උණුසුම් දිනයක් කියලා. ඒ කොහොම වුනත් කාලගුණය කියන දේ අපිට කෙටියෙන් මේ විදියට අර්ථ දක්වන්න පුලුවන්,

“කාලගුණය යනු කිසියම් මොහොතක කිසියම් ස්ථානයක පවතින වායුගෝලයේ තත්වයයි.”


දේශගුණය


කාලගුණික තත්වයන් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබා ගන්නා පොදු නිගමනයකට දේශගුණය ලෙස ව්‍යවහාර කෙරෙනවා. දිවයිනේ බොහෝ කාලයක් තිස්සේ රැස් කරනු ලැබූ දෛනික කාලගුණ වාර්තා ඇසුරු කරගෙන දේශගුණය ගැන පොදු නිගමනවලට එලැබීමට අපට පුලුවන්. ඒ අනුව මේ විදියට අපිට දේශගුණය කියන දේ අර්ථ දක්වන්න පුලුවන්.

“කාලගුණික තත්වයන් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා පොදු නිගමනය දේශගුණයයි.”

දේශගුණය සකස් වෙලා තියෙන්නේ වායුගෝලයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පීඩනය හා සුළං කියන අංග වලින්. ඒවා දේශගුණික මූල විදියට හදුන්වනු ලබනවා. ඒ වගේම දේශගුණික සාධක ගැන දැන ගැනීමත් ඉතා ප්‍රයෝජනවත් කටයුත්තක් වනවා.

දේශගුණික තත්වයන් තීරණය වීමේදී කරුණු රාශියක් බලපානු ලබනවා.

·         අක්ෂාංශගත පිහිටීම
·         උන්නතාංශය
·         මුහුදේ සිට ඇති දුර
·         ගොඩබිම්, ජලාශ
·         දියවැල්
·         කදු බාධක


දැන් ඔබට කාලගුණය හා දේශගුණය පිළිබදවත් ඒ දෙකෙහි වෙනස පිලිබදවත් හොදින් වැටහෙනවා ඇති. ඉදිරියේදීත් දේශගුණික සාධක පිළිබදව වෙන වෙනම ඔබට දැනුම ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. දිගටම අප හා රැදී සිටින්න කියලා මම මේ ලිපිය කියවන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

අපගේ ජනප්‍රියම ලිපි