අන්තර්ජාලයේ උපත හා එය මෙතරම් දුරට ව්යාප්ත වූයේ කෙසේද කියා ඔබ දන්නවාද



අන්තර්ජාලය ගැන ලොකු පොඩි නොදන්න කෙනෙක් දැන්නම් හොයන්නත් අමාරුයි. මොකද ඒ තරම් අද වන විට මේ දේ අපිට සමීප වෙලා තියෙනවා. ඒ වගේම කිසිදා නොවු විරූ ලෙස ලෝකය අතිශය සමීප වෙලා තියෙනවා මේ දේ නිසා. ඇත්තටම ඔයාලා දන්නවාද මේ අන්තර්ජාලය බිහිවුනේ කොහොමද කියලා? ඔයාලා ගොඩාක් විට ඒ ගැන නොදන්නවා ඇති. හරි කමක් නැහැ මම අද කියල දෙන්නම්කො අන්තර්ජාලය කොහොමද බිහිවුනේ හා එය මෙතරම් ව්‍යාප්ත වුනේ කොහොමද කියලා,



අන්තර්ජාලයේ උපත


හැටේ දශකයේදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආධාර ලැබූ ව්‍යාපෘතියක් වූ අපානෙට් (ARPA NET – Advanced Research Projects Agency Network) ජාලය පරිගණක අතර තොරතුරු සෙවීමේ අලුත් මං සොයමින් කටයුතු කළේය. එහිදී ඔවුන් අත්හදා බැලූ එක් ක්‍රමයක් වූයේ ඩේටා ග්‍රෑම් (data gram) ක්‍රමයට හෙවත් පැකට් ස්විච්ං ක්‍රමයට (Packet Switching data transfer method) තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේදයයි. වර්තමානයේද අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ මේ ඩේටා ග්‍රෑම් ක්‍රමයට අනුවය. එබැවින් ඩේටා ග්රෑම් ක්‍රමය අනුව මුලින්ම තොරතුරු හුවමාරු කල දිනය අන්තර්ජාලය තාක්ෂණයේ උපන් දිනය ලෙස සලකනු ලබයි. මෙසේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ සිට ස්ටැන්ෆර්ඩ් පරියේෂණ ආයතනය අතර මෙසේ ඩේටා ග්‍රෑම් ක්‍රමයෙන් තොරතුරු හුවමාරු කරනු ලැබූයේ 1969 වසරේ 29 වෙනිදායි. එනම් අන්තර්ජාලය උපන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේදී මීට වසර 47 කට පෙරය.



මෙම Interface Message Processor යන්ත්‍රය මුලින්ම අන්තර්ජාලය සම්බන්ධ කල යන්ත්‍රයයි.



            මෙම අපානෙට් ජාලය නිර්මාණය කරමින් එය මෙහෙය වූ කණ්ඩායමේ මූලිකත්වය ගනු ලැබූයේ දැනට 76 වැනි වියේ පසුවන ලැරී රොබට්ස් යන පුද්ගලයාය. ඉහත සදහන් කල ඩේටා ග්‍රෑම් ක්‍රමයට පසුබිම් වන ගණිතමය සොයාගැනීම කරනු ලැබූයේ දැනට 80 හැවිරිදි වියේ පසුවන ඇමරිකානු පරිගණක විද්‍යාඥයකු වන ලෙන් ක්ලෙයින්රොක් නම් පුද්ගලයාය. එබැවින් ඔහු අන්තර්ජාල තාක්ෂණයේ පියා ලෙස සැලකෙයි. ඔහු නොවන්නට අද අපට අන්තර්ජාල තාක්ෂණයක් නොමැති වන්නට ඉඩ තිබුණි. 1969 මෙම නව සොයාගැනීමත් සමග අන්තර්ජාලය කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් අද සිටිනා තත්වයට පත් විය.



ලෙන් ක්ලෙයින්රොක්




අන්තර්ජාලයේ ව්‍යාප්තිය

අන්තර්ජාලය මෙසේ 1969 දී උපත ලැබූවත් එය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කරණු ලැබූයේ 1973 වසරේ සිටයි. INTERNET යන වචනය භාවිතයට පැමිණියේ 1974 වසරේදීය. මුල්ම කාලයේ අන්තර්ජාල තාක්ෂණයේ වර්ධනය සිදු වූයේ ඉතාමත් සෙමිනි.

            වර්තමානයේදී අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ පොදු තාක්ෂණික සම්මුතියකට එනම් ප්‍රොටෝකෝලයකට අනුවය. ටීසීපී/අයිපී(TCP/IP – Transmission Control Protocol/Internet Protocol) යන මෙම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය 1983 ජනවාරි 01 වැනිදා අපානෙට් ජාලයේදී පළමුවරට භාවිතා කෙරිණි. මෙම TCP/IP ප්‍රොටෝකෝලය නිර්මාණය කරනු ලැබූයේ අපානෙට් ජාලයේ මෘදුකාංග කටයුතු පිළිබද ප්‍රධානියා වූද වර්තමානයේ ගූගල් සමාගමේ සේවය කරන 71 හැවිරිදි වින්ටන් සර්ෆ් විසිනි. මේ හේතුවෙන් ඔහු අන්තර්ජාල තොරතුරු සන්නිවේදනයේ පියා ලෙස හදුන්වනු ලැබේ. ඔහුද නොවන්නට මෙසේ අන්තර්ජාල ව්‍යාප්ත නොවන්නට ඉඩ තිබුණි.

            අන්තර්ජාලය බිහිවී වසර 20 කට පසුව එනම් 1989 වසරේ මාර්තු මාසයේදී ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් WWW (World Wide Web) බිහි වීම සිදු වුනි. අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස මෙම WWW නිර්මාණය කරනු ලැබූයේ ටිම් බර්නස්ලී මහතා විසිනි. ඒ සදහා උර දෙන වෙබ් පිටු සකසන භාෂාව html (hyper text markup language), විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටෝකෝලය http (hyper text transfer protocol) සහ html අනුව ලියූ හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා හෝ තොරතුරු ජාලයෙන් සොයා ගැනීමේ මේ ක්‍රමය url (universal resource locator) යනාදිය ටිම් බර්නස් ලී මහතා විසින් සොයා ගනු ලැබූ නිසා ඔහු විරුදාවලිය ලබනුයේ ලෝක ව්‍යාප්ත ජාලයේ පියා වශයෙනි.


ටිම් බර්නස් ලී 


            ටිම් බර්නස් ලී මහතාගේ මෙම නව සොයා ගැනීමෙන් පසුව අන්තර්ජාලයේ සුවිශේෂී වර්ධනයක් ඇතිවන්නට පටන් ගත්තා පමණක් නොව පොදු සමාජය තුල අන්තර්ජාලය සීඝ්‍රයෙන් ජනප්‍රිය වන්නටද විය. 1993 වසර වන විට අන්තර්ජාලය කෙරෙහි ව්‍යාපාරික අවධානය යොමු වන්නට පටන් ගත් අතර ඒ පිළිබදව විවිධ මතවාදයන්ද ඇති වන්නට විය. අන්තර්ජාලය මුල්ම අවධියේදී භාවිතා කරනු ලැබූයේ රාජ්‍ය හා ආරක්ෂක කටයුතු සදහා පමණි. කෙසේවෙතත් අන්තර්ජාලය වානිජ කටයුතු සදහා විවර කළ යුතු යැයි එකල මතවාද හා විවේචන බොහෝ එල්ල වන්නට විය. ඒ අනුව 1995 වසරේදී ව්‍යාපාරික ප්‍රජාව උදෙසා හා වානිජ කටයුතු සදහා අන්තර්ජාලයේ ඉඩ හසර විවර වුනි.

 



            ඒ අනුව yahoo.com හා amazon.com වැනි මුල්කාලීන අන්තර්ජාල දැවැන්තයන් තම අන්තර්ජාල සේවාවන් 1990 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ අතර එම රැල්ලත් සමග Alta Vista, Excite, Infoseek වැනි තවත් සෙවුම් යන්ත්‍ර රාශියක් තම සේවා කටයුතු අන්තර්ජාලය තුල ආරම්භ කරන්නට පියවර තැබුවේය. 1998 වසරේදී සෙවුම් යන්ත්‍ර ව්‍යාපාරයේ නව පිටුවක් පෙරලමින් ඉතා පහසු හා වඩාත් නිවැරදි තොරතුරු සොයා දෙන Google සමාගම ආරම්භ කළ අතර ebay වැනි වෙනත් වානිජ වෙබ් අඩවිද බහුල වන්නට පටන් ගත්තේය. ඒ සමගම ලෝක ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රයන් තුල විප්ලවීය වෙනස්කම් රැසක් ඇති වන්නට විය.



            2004 දී අන්තර් ක්‍රියාකාරී වානිජමය මුහුණුවරක් ගත් පාරිශීලකයන් කේන්ද්‍ර කරගත් (user – centric) වෙබ් 2.0 සංකල්පය සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමේ ප්‍රථිපලයක් ලෙස සමාජ ජාලකරණය බිහි වන්නට පටන් ගත්තේය. ඒ හේතුකොටගෙන පාරිශීලකයන් පහසුවෙන් තම තොරතුරු ඇතුලත් වෙබ් පිටු නිර්මාණය කිරීමට අවකාශ ලබා දෙන සමාජ වෙබ් අඩවිවල වැඩිවීමක් දකින්නට ලැබුණු අතර එය අන්තර්ජාලය අතිශයින් වානිජකරණයට යොමු කිරීමට දැඩිව බලපෑවේය.



 විශේෂයෙන්ම අන්තර්ජාල අලෙවිකරුවන්ට තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීම සදහා විශාල පාරිභෝගිකයන් පිරිසක් මේ තුලින් බිහිවිය. අද වන විට සමාජ ජාල භාවිතය අතිශය ජනප්‍රිය වී ඇත. ඒ අනුව බොහෝ දෙනෙකු Facebook,Twitter,Linkedin වැනි සමාජ ජාල නොයෙකුත් අවශ්‍යතා සදහා විශාල වශයෙන් භාවිතා කරති.

            1995 දී අන්තර්ජාලය පරිහරණය කළ පිරිස මිලියන 16 ක් වූ අතර එය ලෝක ජනගහනයෙන් 0.4% ප්‍රමාණයක් විය. 1998 මුල් කාලය වන විට එය මිලියන 100 දක්වා වර්ධනය වූ අතර එතැන් පටන් අන්තර්ජාලය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වූයේය. 2005 දෙසැම්බර් වන විට බිලියන 1 ක් පමණ පිරිසක් අන්තර්ජාලය පරිහරණය කළ අතර 2010 ජුනි වන විට එය බිලියන 2 ක් එනම් ලෝක ජනගහනයෙන් 30% ක් අන්තර්ජාල පාරිශීලකයන් බවට පත්වී තිබුණි.



අන්තර්ජාල තොරතුරු ගවේෂණය

            වර්තමාන ලෝකයේ අන්තර්ජාලය ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ තොරතුරු හා දැනුම ලබා ගත හැකි මූලාශ්‍රයක් ලෙසය. ඕනෑම විෂයකට ආදාල තොරතුරු ඔබට ඉතා ක්ෂණිකව අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. එහෙත් අන්තර්ජාලයෙන් තොරතුරු ගවේෂණයට ප්‍රථම, අන්තර්ජාලයේ තිබෙන තොරතුරු පිළිබදව පැහැදිලි අවබෝධයක් ඔබට තිබිය යුතුය.

            බොහෝ දෙනෙකු සිතන්නේ අන්තර්ජාලයේ ඇත්තේ 100% නිවැරදි තොරතුරු බවයි. මෙය සම්පූරණයෙන්ම වැරදි මතයකි. අන්තර්ජාලයේ තිබෙන තොරතුරු සම්බන්ධයෙන් කිසිදු විධිමත් පාලනයක් නොමැත. ඕනෑම අයෙකුට එයට තොරතුරු එකතු කළ හැකිය. එසේ එකතු කරන තොරතුරු වැරදි හෝ නිවැරදි වීමට පුලුවන, මේ නිසා සැමවිටම විශ්වාසදායී මූලාශ්‍රයන් ඔස්සේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඔබ නිරන්තර උත්සහා කළ යුතුය. යම් දෙයකට අදාල තොරතුරක් එක් මූලාශ්‍රයක් පරිහරණයෙන් පමණක් ලබා නොගන්න. වෙබ් අඩවි ගණනාවක් පරිහරණය කිරීමෙන් අනතුරුව ගැලපෙන නිවැරදිම තොරතුරු ලබා ගැනීමට වග බලා ගන්න.


විවිධ වර්ගයේ වෙබ් අඩවි

ඔබ අන්තර්ජාලයේ තොරතුරු සොයන විට, අන්තර්ජාලයේ තිබෙන විවිධ වර්ගයේ වෙබ් අඩවි හා ඒවායේ අඩංගු වන තොරතුරු පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්ය.

·         වානිජ වෙබ් අඩවි (commercial websites)



තමාගේ භාණ්ඩයන් හා සේවාවන්ට අදාල තොරතුරු ලබා දීමටත් ඒවා ප්‍රවර්ධනය කිරීමටත් බොහෝ සමාගම් අන්තර්ජාලය තුල වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. මේවා වැටෙනුයේ වානිජ වෙබ් අඩවි යන ගණයටය. මේවායේ බොහෝ විට අන්තර්ගත වනුයේ තම සමාගමට හෝ ආයතනයට වාසිදායක හා පක්ෂග්‍රාහී තොරතුරුය.

·         ආයතනික වෙබ් අඩවි (organization websites)


විවිධ සමාගම්, සමිති හා සමාජ සේවා ආයතන වැනි ලාභ නොලබන ආයතනයන් තම කටයුතු හා ඉදිරි වැඩකටයුතු පිළිබද ජනතාව දැනුවත් කිරීම උදෙසා වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. මේ ආයතනයන්ද ක්‍රියා කරනුයේ පක්ෂග්‍රාහීවය. එබැවින් මේවායේ අඩංගු වන්නේද එම ආයතනයට වාසිදායක තොරතුරුය.

·         ප්‍රවෘත්ති වෙබ් අඩවි (news sites)




වර්තමානය වන විට රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් වලට අමතරව බොහෝ දෙනා ප්‍රවෘත්ති හා අනෙකුත් කාලීන තොරතුරු ලබා ගැනීම සදහා අන්තර්ජාලය භාවිතා කරති. මේ හේතුවෙන් විවිධ ජනමාධ්‍ය ආයතන හා විවිධ පාර්ශව විසින් පවත්වාගෙන යනු ලබන පුවත් වෙබ් අඩවි රාශියක් අන්තර්ජාලය තුල දැකිය හැකිවේ. මේවායෙහි තොරතුරු නිරන්තරයෙන්ම යාවත්කාලීන වේ. එසේම මේවායෙහි වසර ගණනාවකට කලින් ලියූ ලිපිද ඔබට කියවිය හැකිය. එබැවින් මේ අඩවිවලින් තොරතුරු ලබා ගැනීමට පෙර එම තොරතුරු පළ කල ඇති දිනයන් පිළිබද අවධානය යොමු කිරීම අනිවාර්‍ය කටයුත්තකි.


·         බ්ලොග් අඩවි (Blog or Web blogs)




බ්ලොග් යනු නිරන්තරයෙන්ම යාවත්කාලීන වන්නා වූ මූලාශ්‍රයකි. ඇතැම් බ්ලොග් දිනකට 3-4 වතාවක් යාවත්කාලීන වේ. එබැවින් යම් දෙයක් හෝ කරුණක් පිළිබදව ඉතාමත් අලුත් තොරතුරු බ්ලොග් අඩවි මගින් ලබා ගත හැකිය. කෙසේවෙතත් ඔබ තොරතුරු ලබා ගැනීමට පලමුව බ්ලොග් අඩවිය පවත්වාගෙන යන සමාගම හෝ එම පුද්ගලයාගේ කීර්ති නාමය පිළිබදව සොයා බැලීම අනිවාර්‍ය කටයුත්තකි.


·         විකි අඩවි (wiki sites)



පාරිශීලකයන්ට අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු ඇතුලත් කිරීමට මෙන්ම තිබෙන තොරතුරු වෙනස් කිරීමටත් අවසර ඇති වෙබ් අඩවිවලට විකි අඩවි කියා කියනු ලැබේ. බොහෝ දෙනෙකු තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන wikipedia වෙබ් අඩවිය මේ සදහා හොදම උදාහරණයකි. මෙහි තිබෙන තොරතුරු වල ගුණාත්මක බව හා විශ්වාසශීලී බවද බොහෝ විට වෙනස් වේ. බොහෝ විකී අඩවිවල එහි අඩංගු තොරතුරු වලට අදාල මූලාශ්‍ර සදහා Links අඩංගු කරනු ලැබේ. එබැවින් මේ අඩවිවලින් තොරතුරු ලබා ගැනීමේදී ඔබ ඊට අදාල මූලාශ්‍රයන් විමර්ශනය කොට විශ්වාසය තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත් කටයුත්තකි.

·         පාසල් වෙබ් අඩවි (School Sites)



බොහෝ පාසල් වලින්ද වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. තමාගේ පාසල පිළිබද විස්තර වලට අමතරව පාසලේ ගුරුවරු විසින් ඇතුලත් කරන හෝ ඔවුන්ගේ ඉගැන්වීමේ කටයුතුවලට ආධාර වන අතිරේක තොරතුරුද මේ අඩවිවල අන්තර්ගත වේ. සමහර අවස්ථාවලදී පාසල් ළමුන් විසින්ද ගුණාත්මක බවින් අඩු තොරතුරු මේ වෙබ් අඩවිවලට ඇතුලත් කරන අවස්ථා ඇත. එබැවින් මේවායෙන් තොරතුරු ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුය.


·         ශාස්ත්‍රීය අඩවි (Scholary Sites)



විවිධ විෂයන් සම්බන්ධයෙන් ලිපි හා නිබන්ධන සැකසීම සදහා හෝ තොරතුරු ලබා දෙන වෙබ් අඩවි මේ යටතට වැටේ. අපගේ බ්ලොග් අඩවියද මේ යටතට දැක්විය හැකිය. Google Scholar  යනු මේ යටතේ ඇති හොදම උදාහරණයයි. (www.scholar.google.com)


·         දත්ත සමුදායන් (Databases)
මේවායේදී විවිධ මූලාශ්‍රයන්ට අදාල තොරතුරු එක් රැස් කර ඇති අතර පාරිශීලකයින්ට මේවා යොදාගෙන තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
උදා:     Internet Movie Database – www.imdb.com
            International Crime Database – www.internationalcrimedatabase.org



·         සාකච්ඡා මණඩප (Forums)



විවිධ ප්‍රශ්න හා ඒවාට අදාල තොරතුරු සාකච්ඡා කළ හැකි වෙබ් අඩවි මේ යටතට අයත්‍ය. ඕනෑම කෙනෙකුට තමන් කැමති කරුණක් පිළිබදව සාකච්ඡාව ආරම්භ කළ හැකි අතර එසේ ආරම්භ කරන සාකච්ඡාවට Thread එකක් යැයි කියනු ලැබේ. එම Thread එකක් සදහා ඕනෑම අයෙකුට ස්වාධීනව තම මතය ප්‍රකාශ කළ හැකිය. මෙලෙස ප්‍රකාශ කරන අදහස් වාරණය කිරීමේ හෝ වෙනස් කිරීමේ බලය වෙබ් අඩවි හිමිකරුට ඇත.
උදා: Elakiri Forum


·         ප්‍රශ්න හා පිළිතුරු අඩවි (Question & Answer Sites)



මෙම වෙබ් අඩවිද ඉහත සදහන් කළ Forum වලට බොහෝ සමානය. නමුත් මේවායේදී Forum වල මෙන් විවෘතව සාකච්ඡා නොවන අතර අසන ලද පැනයට කෙලින්ම පිළිතුරු ලබා දීම සිදුවේ.
උදා:     Yahoo Answer
            Answerbag


ඔබට දැන් අන්තර්ජාලයේ උපත, එහි ව්‍යාප්තිය හා එහි අඩංගු වෙබ් අඩවි පිළිබදව යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාස කරමි. වසර හතලිස් හතක් (1969 – 2016) පැරණි මේ තාක්ෂණය ඉදිරියට තවදුරටත් වෙනස් වෙමින් හා නව අංග එකතු වෙමින් තවත් පුළුල් වනු ඇත. ඉදිරියේදී ඔබට මෙම තාක්ෂණය ජීවිතයට නැතුවම බැරි අංගයක් බවට පත්වනු නොඅනුමානය. මෙම අරුම පුදුම තාක්ෂණය තවමත් පාලනය කරනු ලබනුයේ ඇමරිකානු බලවතුන් කියා කීවොත් ඉතා නිවැරදිය. අදටත් එහි සියලු මරමස්ථාන පාලනය කරනුයේ ඇමරිකානු වානිජ දෙපාර්තමේන්තුවට හා ජාතික විදුලි සංදේශ හා තොරතුරු පාලන අධිකාරියට කෙලින්ම වග කියනු ලබන අයිකෑන් ආයතනයයි. (ICANN – Internet Corporation for Assigned Names and Numbers)



(මෙම ලිපිය සැකසීමේදී විජය පරිඝනක සගරාව හා වෙනත් අන්තර්ජාල අලෙවිකරනය පිළිබද ග්‍රන්ථ උපයෝගී කරගෙන ඇති බව අවධාරණය කරමු)

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි