ලාංකීය තේ වගාව පිළිබද ඔබ දත් නොදත් කරුණු


Ceylon Tea යන වචනය ඔබත් මාත් හොදින් අසා ඇති වචනයක් කියලා මම හිතනවා. මේ වචනය ලංකාවේ අපි අතර විතරක් නෙමේ, මුලු ලෝකයේම මිනිස්සු අතර හුගක් ජනප්‍රිය වචනයක් ඒකට හේතුව තමයි ලෝකයේ ඉස්තරම්ම තේ නිෂ්පාදනය කරන රට ලංකාව වීමයි. මීට දශක දෙක තුනකට උඩදි නම් ලංකාවේ තේ වලට අභියෝග කරන්න ලෝකයේ කිසිම රටක් හිටියෙ නැහැ. නමුත් දැන් චීනය, ඉන්දියාව, කෙන්නියාව හා ටැන්සානියාව වාගේ රටවලුත් තේ වගාව කෙරෙහි ගොඩක් ලොකු උනන්දුවක් දක්වන හින්දා ලංකාවට ඒ හැම රටක් එක්කම තරග කරන්න සිදුවෙලා තියෙනවා.


අපි දැන් බලමු ලංකාවේ තේ වගාවේ ඉතිහාසය පැත්ත පොඩ්ඩක් විමසලා, මේ ඉතිහාසය වසර 140 කටත් වඩා ඈතට දිව යන එකක්.

ලංකාවට මුලින්ම තේ පැළය හදුන්වා දුන්නේ 1839 වසරේදී. එය චීනයෙන් ගෙන ආවක්. මේ මුල්ම තේ පැළ පේරාදෙණිය උද්භිත උද්‍යානයෙත්, නුවරඑලිය රජගෙදර උද්‍යානයෙත් හග්ගල උද්භිත උද්‍යානයේත් රෝපනය කරනු ලැබූවා.අදත් මේ මුල්ම තේ පැළවල ශේෂයන් ඔබට හග්ගල හා පේරාදෙණිය උද්භිත උද්‍යානවලදී දැක ගන්නට පුලුවන්.1867 වසරේදී ජේම්ස් ටේලර් නැමැති ඉංග්‍රීසි ජාතිකයා මහනුවර හේවාහැට ලූල්කදුර වතුයායේ ආර්ථික වගාවක් විදියට තේ වගාව ආරම්භ කළා. 1873 වසරේදී ලංකාව පළමුවරට තේ කිලෝග්‍රෑම් 10.5ක් අපනයනය කරලා රුපියල් 58 ක ආදායමක් ලබා ගනු ලැබූවා. තවත් වසර 10 ක් ගත වෙන්නත් කලියෙන් මේ වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වනවා දකින්නට ලැබුනා. 1875 දී අක්කර 500 පමණ තිබූ වගාව 1887 වන විට අක්කර 150,000 දක්වා ව්‍යාප්ත වූවා. 1890 වන විට බොහෝ කදුකර ප්‍රදේශවල මේ වගාව ව්‍යාප්ත වූවා පමණක් නොව තේ වගාවේ විශාල දියුණුවක්ද ඇති වුනා.

තේ වගාව මේ ආකාරයට ලංකාව ආක්‍රමණය කරන්නට කරුණු කිහිපයක්ම බලපානු ලැබූවා.අපි ඒවා කරුණු විදියට විමසලා බලමු එහෙනම්.

  • ·         එවකට ලොව විශාලතම වෙළදපොල වූ ලන්ඩන් වෙළදපලේ තේ මිල ඉහල යාම.
  • ·         නිෂ්පාදනයන් වැඩි වශයෙන් යන්ත්‍රානුසාර වීම.
  • ·         පොහොර වැඩි වශයෙන් භාවිතය.
  • ·         දුම්රිය මාර්ග හා වෙනත් පහසුකම් දියුණු වීම.
  • ·         කොළඹ වරාය දියුණුවට පත් වීම.
  • ·         තේ නිපදවීමට යෙදිය යුතු වියදම් ඉතා අඩු මට්ටමක පැවැතීම.
  • ·         ලන්ඩන් වෙළදපොලේ චීන තේ වල ඉල්ලුම අඩුවීම හා ශ්‍රී ලංකා හා ඉන්දියා තේ වලට ඇති ඉල්ලුම ඉහල යාම.
  • ·         දකුණු ඉන්දීය කුලීකරුවන් මගින් ශ්‍රමය පහසුවෙන් ලබා ගත හැකි වීම.


තේ වගාවට වැළදෙන රෝග පිළිබදවත් වැඩි ඵලදාවක් ලැබීම පිළිබදවත් පරියේෂණ පැවැත්වීමටත් 1925 දී තලවකැලේ තේ පරියේෂණාගාරයක් පිහිටුවනු ලැබිණි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව තේ වගා කරන රටවල් එකතු වී තිබූ තේ තොග ලන්ඩන් හා අනෙකුත් වෙළදපොළ වලට නිකුත් කිරීම නිසා තේ මිල විශාල ලෙස පහත බසින්නට වුනා. 1920 පමණ වන විට නැවත තේ මිල ඉහළ යාමට පටන් ගත් නිසා අලුතෙන් ඉඩම්වල තේ වගා කිරීම පටන් ගැනුණා. යලිත් 1929 දී ඇතිවූ ලෝක ආර්ථික පරිහානිය නිසා තේ අපනයනය අඩුවෙලා ලැබූ ආදායම බොහෝ සෙයින් අඩු වුනා. කොහොමවුනත් 1980 දශකය වනවිට ලංකාවේ අපනයන වෙළද ද්‍රව්‍ය අතර තේ වලට විශේෂ තැනක් හිමිවෙලා තිබුණා. 1997 වසරේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 258 දක්වා වැඩිවුනා විතරක් නොවේ එයින් ලැබූ ආදායම රුපියල් මිලියන 40425 වුනා.

ශ්‍රී ලංකාවේ තේ වගාවේ ව්‍යාප්තිය


තේ වගා කරන ප්‍රදේශ



තේ වගාවේ ඉතිහාසය හා තේ වගාවේ සංවර්ධනය වූ මග පිළිබද ඔයාලට දැන් හොද දැනුමක් ලැබුණා කියලා මම හිතනවා. දැන් බලමු තේ වගාවට හිතකර තත්ව මොනවාද කියලා.

තේ ගස සරුවට වැඩීමට නම්,

·         15.6’C – 27’C දක්වා උෂ්ණත්ව පරාසයක්
·         1900mm – 5460mm දක්වා වර්ෂාපතනයක්
·         මද බෑවුම් සහිත භුමි
·         ලෝම හා ලැටරයිට පස වැනි හොදින් ජලය බැස යන පස් වර්ග.

තේ ගස සරුව වැඩීමට නම් ඉහත සාධක අත්‍යවශ්‍ය වනවා. ලංකාවේ භූ විෂමතාවයේ පිහිටීම තේ වගාවට බොහෝම හිතකර විදියට පිහිටලා තියෙනවා. මොකද නුවරඑළිය, බදුල්ල, මහනුවර වගේ දිස්ත්‍රික්කවල ඉහත සාධක ඉතා මැනවින් පිහිටන නිසා. භූ විෂමතාවය අනුව ලංකාවේ තේ වගාව කොටස් 3 කට වෙන් කර දක්වන්න පුලුවන්.

            උඩරට තේ - උස 1220m ට වඩා ඉහල උස් බිම්
            මැදරට තේ - උස 610m ත් 1220m ත් අතර බිම්
            පහතරට තේ - උස 610m ට අඩු බිම්

වර්තමානය වන විට පහතරට තේ කර්මාන්තය විශාල ලෙස වර්ධනය වී ඇත. මීට විශාලතම හේතුව වන්නේ කුඩා තේ වතු හිමියන් තම තේ නිෂ්පාදනය වැඩි කිරීමයි.



“තේ වගා බිම් වලින් 56% ක් මහා පරිමාණ වතු ලෙසද 44% කුඩා තේ වතු ලෙස හදුනා ගැනේ. එහෙත් තේ නිෂ්පාදනවලින් 43% ම නිෂ්පාදනය වී ඇත්තේ මහා පරිමාණ වතුවලිනි. 57% ක් කුඩා තේ වතුවලින් නිෂ්පාදනය වී ඇත.”

තේ වගාවේදී කම්කරුවන් ඉතා වැදගත් වැඩ ප්‍රමාණයක් ඉටු කරනු ලබනවා. ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට අධික ජනතාවක් මේ තේ වගාව තුලින් සිය ජීවනෝපාය සලසා ගනු ලබනවා. බොහෝ දුරට මෙහි යෙදී සිටින්නේ උඩරට දෙමළ ජනතාවයි. තේ වත්තකදී කම්කරුවන් කල යුතු කාර්‍ය රැසක් තිබෙනවා.

·         වගා බිම් සැකසීම
·         ගල් වැටි හා කානු දැමීම
·         සෙවණ ගස් සිටුවීම
·         තවාන් පාලනය
·         පැළ හැඩ ගැන්වීම
·         දළු නෙලීම
·         කප්පාදු කිරීම
·         රෝග හා පළිබෝධ නාශක මර්දනය
තේ කර්මාන්තශාලාවක් 



මෙයින් ඔබට පැහැදිලි වනවා ඇති තේ වගාවේදී මිනිස් ශ්‍රමය කියන දේ කොතරම් වටිනවාද කියලා. කම්කරුවන් වගේම පරිපාලන කටයුතුවලදී පහත සදහන් නිළධාරීන්ද විශාල සේවයක් ඉටු කරනු ලබනවා.

·         ක්ෂේත්‍ර නිළධාරීන්
·         වතු අධිකාරීවරුන්
·         වැඩ පරීක්ෂකවරු
·         කළමානාකාරවරුන්

මේ හේතුවෙන් තේ වගාව ආශ්‍රිතව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙනවා. තේ දළු කර්මාන්තශාලාවකට ඇතුල් කිරීමේ සිට තේ පැකට් කිරීම දක්වා වැඩ කොටසත් හරිම අපූරුයි. එහිදී සිදුවන ක්‍රියාවලිය මේ විදියට දක්වන්න පුලුවන්.

·         තව් මැරීම - තේ දළුවල තෙතමනය අඩු කිරීම
·         ඇඹරීම හා කැබලි වෙන් කිරීම - යන්ත්‍ර මගින් සිදු කෙරේ
·         පැසවීම - ඇඹරුණු කොටස් වෙන් කිරීම හා තේ වල කහට ගතිය රස සංයෝග නිපදවීමට ඉඩ තැබීමට
·         වියළීම - ෆැරන්හයිඩ් 225 ක පමණ උෂ්ණත්වයකින් වේලනු ලැබේ.
·         වර්ග කිරීම - ඕ.පී.බී ඕ.වී යනාදී වශයෙන් වර්ග කිරීම
·         ඇසිරීම - ලෑලි පෙට්ටි, පොලිතීන් මලු හා කුඩා පෙට්ටිවල තේ ඇසිරීම

තේ වෙළදාම


  අප රටේ තේ වලට මම ඉස්සෙල්ලා කීවා වගේ ඉතා හොද විදේශීය වෙළදපොලක් තිබෙනවා. බ්‍රිතාන්‍යයන් මෙරට තේ වගාව පිහිටවනු ලැබුවේත් අපනයනය උදෙසාමයි. තේ පාරිභෝගිකයන්ගේ රුචිය බොහෝ විට තේ වෙළදපොල තීරණය වීමට බලපාලා තිබෙනවා.

ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන රටවල්
·         මැදපෙරදිග රටවල් - ඉරානය, කුවේට්, සවුදි අරාබිය, යේමනය, එක්සත් අරාබි එමීර්
·         යුරෝපීය රටවල් - ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, එංගලන්තය
·         අනෙක් කාර්මික රටවල් - ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය
·         වෙනත් රටවල් - ඇෆ්ගනිස්ථානය, චිලී, හොංකොං, පකිස්ථානය, තුර්කිය
ලංකාව අපනයන වෙළදපොලට විවිධාකාර තේ වර්ගයන් නිෂ්පාදනය කරනු ලබයි. එහිදී සමහර තේ වලට එක් එක් රටවලින් ඇති ඉල්ලුම විවිධාකාරය.

            හරිත තේ - පකිස්ථානය, ජපානය, මොරොක්කෝව
            කලු තේ - මැද පෙරදිග රටවල්
            ක්ෂණික තේ - ලෝක ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක්

අමුද්‍රව්‍ය වශයෙනුත් අපේ තේ වලට ඉහල ඉල්ලුමක් තියෙනවා. ලිප්ටන්, නෙස්ලේ, කොකා කෝලා වගේ බහුජාතික සමාගම් දියර තේ වර්ග නිෂ්පාදනය දැනටමත් අරඹලා ඉවරයි.


තේ නිෂ්පාදනයේ නව ප්‍රවනතා

දැන් අපි සොයල බලමු තේ නිෂ්පාදනයේ නව ප්‍රවනතා මොනවාද කියලා, තාක්ෂණික දියුණුවත් සමග නව සොයාගැනීම් හා නිෂ්පාදන රැසක් අද වනවිට දකින්නට පුලුවන් වෙනවා.
·         ඔතෝඩොක්ස් නම් ඇඹරුම් යන්ත්‍රය තේ දළු ඇඹරීමේදීද
·         ඊ.සී.පී හා එෆ්.බී.ඩී නම් යන්ත්‍ර තේ වියළීමේදීද
·         චෝටා හලනය තේ වර්ග කිරීමේදීද භාවිතා කරනු ලබනවා
·         ඇඹරීමේදී පොලිතීන් ඇසිරීම, කුඩා පෙට්ටිවල ඇසිරීම ආදී විවිධ ක්‍රම භාවිතා කරනු ලබනවා.
මේ සමගම නවීන තේ වර්ගයන්ද වෙළදපලට නිකුත් වී තිබෙනවා
            විවිධ රස කළ තේ - ඇපල් රස තේ, ලෙමන් රස තේ, ස්ට්‍රෝබෙරි රස තේ, අන්නාසි රස තේ
            ක්ෂණික තේ - සිසිල් ජලයේ දියවන තේ, උණු ජලයේ දියවන තේ, විවිධ කෝඩියල් වර්ග
තේ බීජයන් උපයෝගී කරගෙන පුන්නක්කු සාදන අතර අපතේ යන තේ රොඩු වලින් පොහොර නිපදවීමද සිදු වනවා.

දැන් අපි සොයා බලමු තේ නිෂ්පාදනය ආශ්‍රිතව ඇතිවී තිබෙන ගැටලු මොනවාද කියා,

මහා පරිමාණ තේ වතු හා එහි සේවකයන් මුහුණපාන ගැටලු

මහා පරිමාණ තේ වතු වලදී එකවර අක්කර 500 ක් හෝ 600 ක් වැනි ප්‍රමාණයක් අයත් වනවා. බොහෝ විට මේ තේ වතු වසර 50-60ක් හෝ ඊටත් වඩා පැරණි වනවා. මේ නිසා මේවා පාලනය කිරීමට විශාල සේවකයන් ප්‍රමාණයක් අවශ්‍ය වනවා වගේම සේවකයන් තමාගේ වැඩ ප්‍රමාණය නිසි පරිදි ඉටු කරන ආකාරයක්ද දැකිය නොහැකිය. එසේම සේවකයන්ට අඩු වේතන ලැබීම නිසා ඔවුන්ද විවිධාකාර ගැටලුවලට මුහුණ පා තිබෙනවා. මෙවැනි මහා පරිමාණ වතු වලදී දළු නෙළීම සිදුවන්නේද බොහෝවිට අක්‍රමවත් ආකාරයෙනි. ඒ නිසා නිෂ්පාදනවල අඩුවීමක් දැකිය හැකිය. මේ සියලු කාරණා නිසා නිෂ්පාදන වියදම ඉහල යාමෙන් වතු පාලකයන්ද අපහසු වන ආකාරය පසු ගිය කාලය තුල දැකිය හැකි වුනා. මෙහිදී බොහෝ කර්මාන්තශාලා වලද දැකිය හැකි වන්නේ අඩු පහසුකම් සහිත යන්ත්‍ර සූත්‍රයන්. ඒ වගේම ඒවා නඩත්තු කිරීමක්ද දැකිය නොහැකි වනවා.

මස්කෙලිය තේ කර්මාන්තශාලාව 

කුඩා තේ වතු හා එහි සේවකයන් මුහුණපාන ගැටලු

බොහෝවිට මේවා දකින්නට හැකි වන්නේ පහතරට තේ නිෂ්පාදන කලාපය තුලයි. වතු බොහෝ විට අක්කර 5 ක් හෝ 6 ක් වනවා. තේ වත්තක් වගා කොට එයින් ආදායමක් ලැබීමට වතු හිමියන්ට වසර පහක් හයක් බලා සිටීමටද සිදුවනවා. මෙහිදී තේ පැළ, තේ රිකිළි හා සෙවණ ගස් හිගවීම නිසා ඔවුන් නොයෙක් අපහසුතාවට ලක්වන ආකාරයක්ද දැකිය හැකිය. බොහෝවිට පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් සොයා ගැනීමද අද වන විට අපහසු කටයුත්තක් බවට පත්වී තිබෙනවා. ඒ වාගේම තේ කර්මාන්තශාලාද පිහිටා තිබෙන්නේ එකිනෙකට හුගක් ඈතින්. මේ හේතුකොටගෙන ප්‍රවාහනයේදී තේ දළු තැලෙනවා පමණක් නොව ප්‍රවාහන වියදමද ඉහල යාමෙන් වතු හිමියන පීඩාවට පත් වනවා. බොහෝවිට පහතරට තේ වලට නියමිත මිලක් ද නොලැබීම දකින්න පුලුවන්. එසේම සේවකයන්ගේ මෙන්ම වතු පාලකයන්ගේ තේ නිෂ්පාදන දැනුමද අඩු මට්ටමක පවතිනවා.

මේ මහා පරිමාණ හා කුඩා පරිමාණ තේ නිෂ්පාදකයන් මුහුණපාන ගැටලු විසදාලීමට රජය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නොයෙකුත් අයුරින් නව විසදුම් සොයමින් සිටිනවා. ඒ අනුව ඔවුන් නව වැඩ පිලිවෙලවල් රැසක් හදුන්වා දී තිබෙනවා
·         තේ නැවත වගාවට හා අලුත් වගාවට දිරි දීමනා හා ණය ලබා දීම.
·         උසස් වර්ගයේ තේ පැළ ලබාදීම
·         රසායන ද්‍රව්‍ය ඉසීම සදහා දියර ඉසින යන්ත්‍ර සහන මිලට ලබා දීම
·         තේ දළු රැස් කිරීමට දළු මධ්‍යස්ථාන පිහිටුවීම.


කෙසේ වුවද අද වන විට ලංකාවට මේ සියලු ගැටලු විසදාගෙන ලෝකය තුල තබාගත් ගෞරවය එලෙසම රැක ගැනීමට සටන් කිරීමට සිදුවී ඇත. ලංකාව තුල තේ කර්මාන්තය තවදුරටත් නංවාලීමට හා ඉදිරියට ඇතිවන අවශ්‍යතා සපුරාලීමට එහි ගුණාත්මක බව අනිවාර්‍යයෙන්ම වැඩි කළ යුතුය. ඒ සදහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ ඒකීය භුමියකින් ලැබෙන අස්වැන්න ඉහල නංවාලීමට හා එහි අගය වැඩි කිරීමයි. 

Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි