ලංකාවේ භූ විෂමතාවය පිළිබද ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද?


ලංකාවේ භූ විෂමතාවය දැක්වෙන සිතියමක් ඉහත අප දක්වා ඇත. එහිදී ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති වෙරළබඩ කලාපයේ සිට රට මැදට යන විට ක්‍රම ක්‍රමයෙන් භූමියේ උස වැඩිවන ආකාරය.

මේ භූ විෂමතාවය උපයෝගී කරගෙන ලංකාව ප්‍රධාන භූ විෂමතා කලාප 3 කට බෙදා දක්වන්න පුලුවන්.

1.      වෙරළබඩ තැනිතලාව - මුහුදු මට්ටමත් මීටර 30 ත් අතර කලාපය
2.      අභ්‍යන්තර තැනිතලාව - මීටර 30 ත් මීටර 300 ත් අතර කලාපය
3.      මධ්‍යම කදුකරය - මීටර 300 ට ඉහල කලාපය

වෙරළබඩ තැනිතලාව


මුහුදු මට්ටමත් මීටර 30 සමෝච්ඡ රේඛාවත් අතර කලාපය වෙරළබඩ තැනිතලාව ලෙස හැදින්වෙනවා. මෙය රටේ උතුරු ප්‍රදේශයේදී 32km පුළුල් වන අතර සමහර දකුණේ ප්‍රදේශවලදී 3km දක්වා පටුවේ. මෙම වෙරළබඩ තැන්නේදී ප්‍රධාන භූ විෂමතා ලක්ෂණ කිහිපයක් අපට හදුනාගත හැකිය.

·         දූපත්

වෙරළට ආසන්න දූපත් මෙම කලාපයේ විශේෂ ලක්ෂණයකි.

·         ද්‍රෝණි මෝය

ද්‍රෝණි මෝයක් යනු ගංගාවක් කෙලින්ම මුහුදට ගලා නොගොස් විශාල ද්‍රෝණි සහිත ජලාශයකට සම්බන්ධ වී මුහුදට ගලා යන මුහුද සමග නිදහස් සම්බන්ධයක් ඇති ගොඩබිමින් වටවූ ජලාශයකි. එහි මුහුද දෙසට විවෘත පැත්ත කුඩා වෙයි. මීගමුව, මඩකලපුව, පුත්තලම එවැනි ද්‍රෝණි මෝයවලට නිදසුන් ලෙස දැක්විය හැකිය. රට මැද සිට ගලා එන ගංගා මෙවැනි ගංගා වලට ගලා බැසීම නිසා ඒවායේ ජලය කිවුල් ස්වභාවයකින් යුක්ත වේ.

·         කලපු

කලපුවක් ලෙස හැදින්වෙන්නේ වසරේ ඉතා සුළු කාලයකදී පමණක් මුහුදට සම්බන්ධ වන කරදිය පිරුණු ජලාශයකි. මූන්දල විල, කොග්ගල, කලමැටිය, ලුනාව මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.

·         තුඩු

තුඩුවක් යනු මුහුද දෙසට නෙරා ගිය බිම් කොටසකි. මීට නිදසුන් ලෙස දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, ඇත් තුඩුව හා රාක්ෂ තුඩුව දැක්විය හැකිය.

·         බොකු

බොක්කක් ලෙස හැදින්වෙන්නේ මුහුදට විවෘත වූ පැත්ත විශාල වූ ගොඩබිම දෙසට කා වැදුණු කරදිය පිරුණු සාගර ප්‍රදේශයකි. වැලිගම බොක්ක, ආරුගම් බොක්ක, කොඩ්ඩියාර් බොක්ක එවැනි බොකුවලට නිදසුන් ලෙස දැක්විය හැකිය. ගාල්ල හා ත්‍රීකුණාමලය යනු ඒ බොකුවල පිහිටි ස්වාභාවික වරායන්ය.


·         ඩෙල්ටා

ගංගා මගින් ගෙන එනු ලබන රොන්මඩ ද්‍රව්‍ය ගංමෝයේ දූපත් ලෙස තැන්පත් වූ ස්ථාන වෙරලාශ්‍රිතව දැකිය හැකිය. මේවා ඩෙල්ටා ලෙස හදුන්වනු ලැබේ. මහවැලි ගඟ, කළු ගඟ, කලා ඔය හා මී ඔය ආශ්‍රිත ඩෙල්ටා මේවාට නිදසුන් වේ.


·         වගුරු

වෙරළාශ්‍රිත වගුරු බිම් හා රට අභ්‍යන්තර වගුරුබිම් ලෙස කොටස් දෙකක් අපට හදුනා ගත හැකිය. ගංගාවලින් ගෙන එන ද්‍රව්‍ය වැලි ඉවුරු ලෙස තැන්පත් වීමෙන් මෝය ඇහිරීම නිසාත් ගංගා පිටාර ගැලීම නිසාත් ඇතිවූ තෙත් බිම්, වෙරළාශ්‍රිත වගුරුබිම් ලෙස හැදින්වේ. මුතුරාජවෙල හා දේද්දූව වගුරුබිම් ඒවාට නිදසුන් වේ.





අභ්‍යන්තර තැනිතලාව


සමෝච්ඡ රේඛා අතර මීටර 30 ත් මීටර 300 ත් අතර කලාපය මේ නමින් හැදින්වේ. මෙය රටේ උතුරේදී පළල්වත් දකුණේදී පටුවත් විහිදී පවතිනවා. මෙම කලාපය වෙරළබඩ තැනිතලාවට වඩා වෙනස් වන්නේ එහි තැනින් තැන පිහිටා තිබෙන ශේෂ කදු නිසාය. ශේෂ කදුවලට අමතරව වයඹ ගිනිකොණ අතට විහිදී ඇති කුඩා හෙල්වැටි සමූහයක් මෙහි භූ විෂමතාවයේ කැපී පෙනෙන ලක්ෂණ ලෙස දක්වන්න පුලුවන්.

ශේෂ කදු

දීර්ඝ කාලයක් තිස්සේ ඛාදනයට භාජනය වී ඉතිරි වී ඇති කදු ශේෂ කදු ලෙස හැදින්වෙනවා. මිහින්තලේ, සීගිරිය, ඇතුගල, දිඹුලාගල, අඳාගල එවැනි ශේෂ කදුවලට උදාහරණයන්ය. ඇතැම් ශේෂ කදු ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලයි.

ගල්ඔය  කදු

මධ්‍යම කදුකරයට නැගෙනහිරින් පිහිටි එයට ආසන්න හුදෙකලා කඳු මීට අයත් වේ. ගෝවින්ද හෙල, නුවරගල කන්ද, ඉඟිනියාගල කදු ඒ අතර වේ. ගල් ඔය, හැඩඔය හා කුඹුක්කන් ඔය වැනි ගංගා ආරම්භ වන්නේ මේ කදුවලිනි. ගල් ඔය ජලාශය ඉදිකර ඇත්තේද මේ කොටසේ ඇති ඉඟිනියාගල කන්ද ආධාරයෙනි.




ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය



මේ කලාපයේ සාමාන්‍ය උස මීටර 300ට වඩා වැඩිය. කදුවැටි හා සානු මේ කලාපයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් වේ. එබැවින් මේ කලාපය අනෙකුත් භූ විෂමතා කලාපවලට වඩා සංකීර්ණ බවක් උසුලයි.

මධ්‍යම කදුකරයේ පිහිටි කදු පන්ති
මෙහි නැංගුරමක හැඩය ගත් කදු පන්ති හතරකි. නැංගුරම් පාදයේ බටහිරින් ඇත්තේ සමනල කදු පන්තියයි. 2237 උස සමනල කන්ද එහි උසම කූටයයි. නැංගුරම් පාදයේ නැගෙනහිරින් ඇත්තේ හපුතලේ නමුණුකුල කදු පන්තියයි. 2035 ක් උස නමුණුකුල කන්ද එහි උසම කූටයයි.
කිරිගල්පොත්තේ සිට උතුරු දෙසට පිදුරුතලාගල දක්වා විහිදෙන කදු නැංගුරම් කඳ වශයෙන් හදුන්වනු ලබයි.
මීට අමතරව මධ්‍යම කදුකරයේ උතුරු දෙසින් නක්ල්ස් කදු පන්තියද බටහිරින් දොලොස්බාගේ කදුද නැගෙනහිරින් ලුනුගල කදු වැටිද පිහිටා තිබේ.

සබරගමු කදු

මධ්‍යම කදුකරයේ නිරිත දෙසින් මේ කදු පිහිටා ඇත. රක්වාන කදු, බුලුතොට හෙල් යනුවෙන්ද මේ කදු හදුන්වනු ලැබේ. මධ්‍යම කදුකරයෙන් මේවා වෙන්වී ඇත්තේ කළු හා වලවේ ගංගා නිම්න නිසාය. වයඹ ගිනිකොණ දෙසට විහිදෙන සමාන්තර හෙල් වැටි මෙහි විශේෂ ලක්ෂණ වේ. නිල්වලා, ගිං හා බෙන්තොට ගංගා මේ කදුවලින් ආරම්භ වේ.

සානු

සානුවක් යනු උස්බිමක පිහිටි සම භූමියකි. මධ්‍යම කදුකරයේ සානු කිහිපයක්ම පිහිටා ඇත. සමනල හා පිදුරුතලාගල කදුවලින් වටවූ හැටන් සානුව මීටර 900 – 1515 ත් අතර උසින් යුතුය. පිදුරුතලාගල හා හපුතලේ - නමුණුකුලින් කදු පන්තියෙන් වටවූ වැලිමඩ සානුව මීටර 900ක් පමණ උසින් පිහිටා ඇත.
සමනල කදුවලටත්, හපුතලේ කදුවලටත් දකුණු දෙසින් මීටර 300 ත් 900 ත් අතර උසින් යුතුව මහවලතැන්න හා කොස්ලන්ද සානු පිහිටා ඇත. හැටන් හා වැලිමඩ සානුවලට උතුරු දෙසින් මීටර 600- 900 ත් අතර මහනුවර සානුව පිහිටා ඇත. මේ සානු විවිධ උස මට්ටම් වලින් පිහිටා ඇත.

කපොලු

කපොල්ලක් යනු උස් කදු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකි. මධ්‍යම කදුකරයේ ප්‍රධාන කපොලු කිහිපයකි.
·         ගලගෙදර කපොල්ල -     කුරුණෑගල - මහනුවර මහා මාර්ගය
·         බලන කපොල්ල -          කොළඹ - මහනුවර මහා මාර්ගය
·         ගිනිගත්හේන -               අවිස්සාවේල්ල -  නුවරඑලිය මහා මාර්ගය
·         බලකඩුව -                     මාතලේ - මහනුවර මහා මාර්ගය
·         හපුතලේ -                     බලංගොඩ - බණ්ඩාරවෙල මහා මාර්ගය
·         ඇල්ල -                         වැල්ලවාය - බදුල්ල මහා මාර්ගය


Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි