පටක රෝපණය කියන්නෙ මොකක්ද කියලා ඔයාලා දන්නවද

පටක රෝපණය කියන තාක්ෂණය වර්තමාන කෘෂිකර්ම තාක්ෂණයේදී භාවිතා වන ඉතාම වැදගත් ක්‍රමවේදයක් විදියට දක්වන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ කිසියම් ශාකයක පටක කොටස් වර්ධනය කිරීමෙන් පසු ඉතාමත් ශක්තිමත් හා පරිසර තත්වවලට හොදින් මුහුණදෙන ශක්තිමත් පැළෑටි නිර්මාණය කර ගැනීමයි. එමගින් ගුණාත්මක බවින් ඉහල වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණ විදියට දක්වන්න පුලුවන්.


            “ජෛව තාක්ෂණය - Bio Technology” වර්තමානයේ බහුලවම කතා කරන හා අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක් විදියට දක්වන්න පුලුවන්. ශාක ප්‍රචාරණයට යොදා ගනු ලබන්නා වූ ජෛව තාක්ෂණික ක්‍රම ශිල්පය ක්ෂුද්‍ර ප්‍රචාරණය ලෙස හදුන්වනු ලබනවා.




            වර්ධනයට අවශ්‍ය සාධක තුලනාත්මකව ලබා දුන් විට පූර්ණ ජීවියෙකු බවට පත්වීමේ හැකියාව ඕනෑම ජීවී සෛලයකට තිබෙනවා. මෙය Totipotency ලෙස හදුන්වන අතර මෙම මූලධර්මය ජෛව තාක්ෂණයේදී ප්‍රායෝගිකව යොදාගත් අවස්ථාවක් ලෙස ක්ෂුද්‍ර ප්‍රචාරණය හදුන්වන්නට පුලුවන්. මේ ක්ෂුද්‍ර ප්‍රචාරණයට විවිධ ශාක කොටස් යොදා ගනු ලබනවා. එම යොදාගන්නා ශාක කොටස් අනුව ක්ෂුද්‍ර ප්‍රචාරණ ක්‍රම වෙන වෙනම නම් වලින් හැදින්වෙනවා.

·         පටක - පටක රෝපණය (Tissue Culture)
·         කලල - කලල රෝපණය (Embryo Culture)
·         පරාගධානි - පරාගධානි රෝපණය (Anther Culture)
·         ප්‍රාක්ප්ලාස්මය - ප්‍රාක්ප්ලාස්මය රෝපණය (Protoplast Culture)
·         කිනක - කිනක රෝපණය (Callus Culture)
·         පරාග - පරාග රෝපණය (Pollen Culture)
·         අංකුර - අංකුර රෝපණය (Meristrum Culture)

මේවා අතරින් වර්තමානයේ බහුලව භාවිතා කරන ක්‍රමවේදය ලෙස පටක රෝපණය හදුන්වන්න පුලුවන්. දැන් අපි මේ ගැන වැඩිදුර විමසා බලමු.

පටක රෝපණයේ මූලික අවශ්‍යතාවන්


රෝපණ මාධ්‍ය -

1.      ජලය
2.      ශක්ති ප්‍රභව ලෙස සුක්‍රෝස්
3.      අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය
4.      ශාක හෝර්මෝන
5.      විටමින
6.      ඇමයිනෝ අම්ල
7.      ඝණීකාරක (ජෙල් වැනි ද්‍රව්‍ය)

පාරිසරික තත්ව -

1.      දිනකට පැය 12-16 අතර ආලෝකය
2.      23C – 27C අතර උෂ්ණත්වය
3.      පිරිසිදු වාතය
4.      70%-80% අතර සාපේක්ෂ ආර්ද්‍රතාවයක්

ජීවානුහරිත තත්ව -
            මෙහිදී සියලුම උපකරණ ජීවානුහරණය කර භාවිතා කළ යුතුය


මෙහිදී සෛල වර්ධනය වේගවත් කිරීමට විවිධ සංයෝගයන් හා පෝෂණ මාධ්‍යකට එකතු කිරීම සිදුකරන්න පුලුවන්
            උදා: ළපටි කුරුම්බා වතුර, කෙසෙල් ගෙඩි යුෂ, නැදුන් පත්‍ර යුෂ , තක්කාලි යීස්ට් නිස්සාරක
මුල් වර්ධනය සිදුවන අවස්ථාවේදී මාධ්‍යයට සක්‍රීය අගුරු එක් කිරීම මගින් ඉක්මනින් මුල් ලබාගත හැකිවනවා. මෙහිදී බහුලවම යොදා ගන්නා ක්ෂුද්‍ර රෝපණ මාධ්‍ය ලෙස MS (Murashige & Skoos) මාධ්‍ය දක්වන්න පුලුවන්.

            පටක රෝපණය හා අනෙකුත් ක්ෂුද්‍ර ප්‍රචාරණවලදී ජීවානුහරිත තත්වයන් යටතේ සිදුකිරීම ඉතා වැදගත් කටයුත්තක් වනවා. ඒ නිසා විශේෂ පරියේෂණාගාරයක් තුලදී අනවරත ප්‍රවාහ කුටීරය (Laminar Flow Cabinet) තුළ ක්ෂුද්‍ර රෝපණයේ කටයුතු බොහොමයක් සිදු කරනු ලබනවා. ලංකාවේදී මෙම ජාන සම්පත් සංරක්ෂණයේ ලා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබන ආයතනයක් ලෙස ගන්නොරුවේ පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථානය (Plant Genetic Resources Centre – PGRC) හදුන්වන්න පුලුවන්.


පටක රෝපණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර



1.      මව් ශාකය තෝරා ගැනීම (Selection of ex-plant)
2.      මූලික පටකය (Ex-Plant)
3.      ස්ථාපන අවධිය (Establishment Stage)
4.      ගුණනය කිරීම (Multiplication Stage)
5.      මුල් හටගැනීමේ අවධිය (Rooting Stage)
6.      පරිසරයට හුරු කිරීම (Acclimatization Stage)
7.      සිටුවීමට යෝග්‍ය ලෙස දැඩි කළ පැළය

මෙම පටක රෝපණ ක්‍රියාවලියේදීත් වාසි මෙන්ම අවාසිත් දක්වන්න පුලුවන්. අපි දැන් හොයල බලමු ඒ මොනවාද කියලා,


පටක රෝපණයේ වාසි

·         මව් ශාකයට සමාන ලක්ෂණ සහිත ශාකයන් රැසක් ඉතා කෙටි කාලයකින් ලබා ගත හැකි වනවා
·         අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ශාකවලට විවිධත්වයක් ලබාදිය හැකි වනවා
·         පළිබෝධවලට ප්‍රතිරෝධි ශාකයන් සකස්කර ගත හැකි වනවා
·         වානිජ වැදගත්කමකින් යුතු ඖෂධ, සුවද විලවුන් වැනි ද්‍රව්‍ය නිස්සාරණය කරගත හැකිවනවා. මේවා ද්විතීයික පරිවෘතීය ඵල නම් වනවා.
·         වර්ෂය පුරාම පැළ ලබාගත හැකි වනවා.
·         ගබඩා කිරීම හා ප්‍රවාහනය පහසු වනවා


පටක රෝපණයේ අවාසි

·         මූලික වියදම් අධික ක්‍රමවේදයක් වනවා
·         තාක්ෂණික දැනුම බහුලව අවශ්‍ය වන ක්‍රමවේදයක් වනවා
·         දියුණු රසායනාගාර හා ස්ථාන අවශ්‍ය වනවා



දැන් ඔබට පටක රෝපණය යනු කුමක්ද, එය සිදුකරන්නේ කෙසේද හා එහි වාසි අවාසි පිළිබද වැටහෙන්නට ඇති. අප රටට වැදගත් වනුයේ ඉහල අස්වැන්නක් සදහා ගුණාත්මක පැළ ලබා ගැනීමේදීය. වැඩි අස්වැන්නක් සදහා භූමි ප්‍රමාණය වැඩි කිරීම ලංකාව වැනි කුඩා රටකට යෝග්‍ය නොවේ. කළ යුතු වන්නේ ඒකීය භූමියකින් ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ඉහල නංවාලීමයි. ඒ සදහා ඉතා සුදුසු ක්‍රමවේදයක් ලෙස මෙම පටක රෝපණය වැදගත් වෙයි. තවද වද වීමේ තර්ජනයක් ඇති ශාකවලට ජාන සංරක්ෂණය සිදුකිරීමද අත්‍යවශ්‍ය කටයුත්තකි. ඔබට මෙහිදී මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ කෘෂි උපදේශක, වානිජ තවාන් පාලකයන් වැනි පුද්ගලයන් හමුවන්න. එසේම පටක රෝපණ විද්‍යාගාර, විශ්ව විද්‍යාල හා වෙනත් පරියේෂණ ආයතනයන් මගින්ද ඔබට මේ පිළිබදව වැඩිපුර තොරතුරු ලබාගත හැකිය.



Share this

Related Posts

Previous
Next Post »

අපගේ ජනප්‍රියම ලිපි