වනාන්තර ගැන දැනගෙන ඒවා අනාගතය උදෙසා රැක ගනිමු

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම, ඉතින් මගේ අලුත්ම බ්ලොග් එකේ පළමුවෙනි ලිපිය ලියන්න හිතුවෙ වනාන්තර ගැන. ඉතින් මේ ලිපිය කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක් වේවි කියල මම හිතනවා. පාසල් යන නංගිලා මල්ලිලාගේ භුගෝල විද්යා විෂය සදහාත් අනෙකුත් මිතුරන්ගේ දැනුම උදෙසාත් මේ ලිපිය ඉතා පරිස්සමෙන් කියවන්නකො එහෙනම්.

මධ්යම පරිසර අධිකාරිය වනාන්තර කියන එක මේ විදියට අර්ථ දක්වලා තියෙනවා.



අසීමිත දයාවක් හා කරුණාවක් සහිත වූද, කිසිම මිලක් අය නොකර නිපදවන සියලුම දේ ලබා දෙන්නා වූද දෙයකි. එය හැකි උපරිමයෙන් සියලු සත්වයන් ආරක්ෂා කරයි. එය තමා විනාශ කිරීමට පොරවක් අතින් ගත් මිනිසාටද සෙවන ලබා දෙයි.

වනාන්තර ඉතින් සමන්විත වෙන්නෙ ස්වාභාවික වෘක්ෂලතා වලින්නෙ, ඉතින් එහෙනම් ස්වභාවික වෘක්ෂලතා කියන්නෙ මොනවද කියල බලමු.

ස්වභාවික පරිසරයට අනුකූලව ඉබේ වැවෙන ශාක ස්වාභාවික වෘක්ෂලතා වේ.”

ඉහත නිර්වචනයේ අර්ථ දැක්වීම අරන් බැලුවොත් ස්වභාවිකව වැඩෙන ගස් වැල් තෘණ පැළෑටි හා අනෙකුත් සියලුම ශාක විශේෂයන් ස්වභාවික වෘක්ෂලතා ලෙස හදුන්වන්න පුලුවන් කියල ඔයාලට තේරෙනවා ඇති. මේ වෘක්ෂලතා සදහා බලපාන ප්රධාන සාධක විදියට දේශගුණය, පස, භූමි ස්වභාවය වගේ දේවල් දක්වන්න පුලුවන්. නමුත් වර්තමානය වෙනකොට මානව ක්රියාකාරකම් මේ ස්වභාවික වෘක්ෂලතා වලට දැඩිව බලපාන ආකාරය දකින්නට පුලුවන්. බොහෝ වෙලාවට මිනිස් බලපෑම් වෘක්ෂලතා වලට අහිතකර විදියට තමයි බලපාන්නෙ.

කොහොම වුනත් මේ ස්වාභාවික වෘක්ෂලතා අතර ඉතා වැදගත් පරිසර පද්ධතියක් විදියට වනාන්තර හදුන්වලා දෙන්න පුලුවන්. මේ වනාන්තරවල ස්වරූපය හා හැඩය වෙනස්වීමට අක්ෂාංශ දේශාංශ ගත පිහිටීම හා ඒ අනුව ඇතිවී තියෙන දේශගුණික රටාවන් තදින්ම බලපාලා තියෙන බව ඔයාලට තේරුම් යාවි. කොහොම වුනත් අද වෙනකොට ලෝක භූමි පරිභෝජනය ගත්තොත් වනාන්තර වලින් වැසිලා තියෙන්නෙ 29% විතර කොටසක් විතරයි. මේ ප්රමාණය මානව වර්ගයාගේත් අනෙකුත් සතුන්ගේත් අවශ්යතා සපුරා ගන්නට වගේම පරිසරයේ තුලනාත්මක බව රැක ගැනීමට දක්වන දායකත්වය නම් කිසිසේත්ම මිල කල නොහැකි දෙයක්.

දේශගුණය හා වෘක්ෂලතාවල තිබෙන ලක්ෂණ සලකා බලා අපට ලෝකයේ වනාන්තර ප්රධාන වර්ග 3 කට බෙදා දක්වන්න පුලුවන් එනම්,

1. නිවර්තන වනාන්තර හෙවත් මෝසම් වනාන්තර 
2. පතනශීලී වනාන්තර 
3. කේතුධර වනාන්තර වශයෙනි.

ඉතින් එහෙනම් දැන් අපි මේ වනාන්තර වර්ග ගැන වෙන වෙනම දැන ගනිමු එහෙනම්,

නිවර්තන වනාන්තර 

සමකය හා නිවර්තන කලාපය අවට පැතිර පවත්නා මේ වනාන්තර වර්ගය නිවර්තන වර්ෂා(සමක), නිවර්තන මෝසම් විදියට වරග කරන්න පුලුවන්. දකුණු ඇමරිකානු කලාපයේ ඇමසන් අප්රිකාවේ කොංගෝ රාජ්ය අවට ප්රදේශයේද අග්නිදිග ආසියාවේ බෝර්නියා දූපත් කලාපයේද ඕස්ට්රේලියාවේ උතුරු දිග කොටසේද මධ්යම ඇමරිකාවේ මෙක්සිකෝ ප්රදේශවලද මෙම නිවර්තන වර්ෂා වනාන්තර පැතිරී තිබෙනවා.
මේ වනාන්තරවල ප්රධාන ලක්ෂණ මේ විදියට අපිට ගෙනහැර දක්වන්න පුලුවන්.
වසර පුරාම ඒකාකාර සූර්යය පතනයක් හා අධික වර්ෂාපතනයක් ලැබීම.
වෘක්ෂලතා හා අනෙකුත් ගස් කොළන් තද කොළ පැහැයෙන් යුක්ත වීම.
වසර පුරාම ලියලමින් දළු දමමින් හා වැඩෙමින් පැවතීම.
ශාක විශාල ප්රමාණයක් ඇති බැවින් ඇතුල්වීම ඉතා අපහසුය.
ගස් වැල් ස්ථර කිහිපයකින් යුතුය.
ප්රධාන ශාකයන් ලෙස කළුවර, බුරුත, නැදුන් මහෝගනී යන ශාක හදුනා ගන්න පුලුවන්.

මේ වනාන්තර අතර නිවර්තන මෝසම් වර්ගයට දැඩි වර්ෂාවක් පවතින කාලයක් වගේම අධික හිරු එලියෙන් යුක්ත නියග කාලයකුත් තියෙනවා. මේ වනාන්තර වර්ගය ඉන්දියාව, ලංකාව වගේම අග්නිදිග ආසියාවේ මියන්මාරය තායිලන්තය වගේ රටවලත් පැතිරී පවතිනවා. මේවායේ ශාක වර්ධනය වීම සිදුවන්නෙ වර්ෂා කාලයේදී විතරක් වීමත් විශේෂත්වයක්. ඒ වගේම පතනශීල වර්ගයේ නියග කාලයට කොළ හැලීමද සිදුවනවා.මේ මෝසම් වර්ගයේ ඉහතින් අපි කී නිවර්තන වර්ෂා වනාන්තර වල වගේ ගස් උසට වැඩීම සිදුවෙන්නෙත් නැහැ.

පතනශීල වනාන්තර 

ලෝකයේ උතුරු හා දකුණු අක්ෂාංශ 30’-50’ අතර පෙදෙස්වල මෙම වනාන්තර දැකගන්න පුලුවන්. උතුරු ඇමරිකාවේ නැගෙනහිර කොටසේත් බටහිර හා මධ්යම යුරෝපයේ සිට යූරල් කදුවැටිය දක්වා පෙදෙස්වලත් අනෙකුත් මධ්යධරණී දේශගුණය ඇති පෙදෙස්වලත් මෙම වනාන්තර පැතිරී තිබෙනවා. තද අරටු වගේම පළල් පත්ර තිබෙන නිසා ශීත කාලයේ දැඩි ශීත බව දරාගැනීමට මෙහි ශාක වලට පුලුවන්. ඒ වගේම ශීත කාලයට ගොඩක් ශාක වල කොළ හැලීමත් සිද්ධ වෙනවා. තවද මේවායේ ආර්ථික වශයෙන් වැදගත් ශාක බහුලව දකින්නත් පුලුවන්. ඒවා අතර ඕක්, බීච්, ඈෂ්, චෙස්නට් වගේ ශාක බහුල වෙනවා. බොහෝ කාර්මීකරණය වුනු පැතිවල පැතිරිල තියෙන නිසා මේවා විශාල වශයෙන් එලි වීමක්ද දකින්න පුලුවන්.

කේතුධර වනාන්තර 

උතුරු ඇමරිකාවේ කැනඩාව වගේම ඇලස්කාව වගේ පෙදෙස්වලත් රුසියාවේ ඉහල කොටස් වලත් ස්වීඩනය හා ෆින්ලන්තය වගේ රටවලත් කේතුධර වර්ගය පැතිරිල පවතිනවා. රුසියානුවන් මේ කේතුධර වර්ගය ටයිගා වනාන්තර ලෙස හැදින්වීම සිදු කරනවා. මේවායේ බොහෝ ගස් වර්ග කේතු රූපාකාර හැඩයකින්ද යුක්ත වෙනවා. ප්රධාන ශාක විදියට පයින්, ෆර්, ලාච්, ස්පයිකිස් වගේ ඒවා දක්වන්නත් පුලුවන්. වසරේ වැඩි කාලයක් වර්ෂාවෙන් තොර වියලි බවකින් යුක්ත නිසාත් පසේ ආම්ලිකතාව ඉහල මට්ටමකින් යුක්ත වේ. මේ නිසා ගස් වැඩීම ඉතා අවම වීමක් පෙන්නුම් කෙරෙනවා.

වනාන්තර වර්ග පිලිබදව ලෝක මට්ටමෙන් ගත්තොත් කියන්න තියෙන්නෙ මේ ටික තම්යි. ඊලග දවසක ඔයාලට ලංකාවේ වනාන්තර කොහොමද ව්යාප්ත වෙලා තියෙන්නෙ කියල කියන්නම්කො. හරි දැන් එහෙනම් බලමු වනාන්තර වලින් තියෙන ප්රයෝජන මොනවාද කියලා. කරුණු විදියට මම ඒ ගැන කියන්නම්කො.

වනාන්තර වලින් ඇති ප්රයෝජන විමසා බැලීම 

පාංශු ඛාදනය හා පසේ සාරවත් භාවය සුරැකීම.
පසේ සිසිල් භාවය හා භූගත ජල ගබඩාව සුරැකීම.
පරිසරයේ සමතුලනයට හා ආරක්ෂාවට උපකාරී වීම.
මිනිසාට දැව, ආහාර, බෙහෙත් හා ඉන්ධනත් සතුන්ට වාසස්ථාන හා ආහාරත් ලබා දීම.
ජෛව විවිධත්වය ආරක්ෂා වීම.
තුනී ලෑලි, දැවමය ගෘහ භාණ්ඩ හා කඩදාසි පල්ප වැනි කර්මාන්ත වලට අදාල අමුද්රව්ය ලැබීම වනි දේවල් මේ යටතේ ගෙනහැර දක්වන්න පුලුවන්.

වනාන්තර විනාශ වන්නේ කෙසේද?

අද වනවිට නම් මේ සදහා මූලිකම හේතුව විදියට මිනිස් ක්රියාකාරකම් පෙන්වා දෙන්න පුලුවන්. දැව, ඉන්ධන හා ඉඩම් වලටත් සල ගොවිතැන් වැනි සාම්ප්රධායික ගොවිතැන් ක්රම නිසාත් වනාන්තර විශාල වශයෙන් එලි පෙහෙලි වෙමින් පවතිනවා.. ඒ වාගේම කාර්මීකරණය වූ රටවල ඇතිවන අම්ල වැසි නිසාත් වනාන්තරවලට දැඩිව හානි වීම සිදුවනවා. එසේම ඕස්ට්රේලියාව වගේ රටවල ලැව් ගින්න නිසාත් විවිධාකාර ශාක රෝග නිසාත් මේ වනාන්තර විනාශ වීම සිදු වෙනවා.
එසේනම් විමසා බලමු ඉහත විනාශයට මොනාද හොදම විසදුම් කියලා.

වනාන්තර සංරක්ෂණයට ගත හැකි පියවර විමසා බැලීම.

ලැව් ගිනි හා විවිධාකාර ලෙස ඇතිවන ගිනිවලින් ආරක්ෂා කිරීම.
කෘමී රෝග හා අනෙකුත් ශාක රෝග වලකාලීමට කටයුතු කිරීම.
වන රෝපනය වැනි පරිසර සංරක්ෂණ ක්රම යෙදීම.
දැව පරිහරණයේදී ඇතිවන නාස්තිය අවම කිරීම.
රක්ෂිත වනාන්තර ඇති කරලීමට පියවර ගැනීම.
හේන් ගොවිතැන් වැනි සාම්ප්රධායික පැරණි ක්රම අත්හැරීම හා ඒකීය භුමියක ඵලදාව ඉහල නැංවීම.

අවසානය

ඔබ මෙම ලිපිය කියවනවා ඇත්තේ ඔබගේ විෂය දැනුම හෝ සාමාන්ය දැනීම උදෙසා විය හැකිය. නමුත් දැනුම පමනක් වර්ධනය කරගන්න එපා. මෙයින් යමක් ලබාගෙන හොද ආකල්ප තුලින් වනාන්තර සුරැකීමට අධිෂ්ඨාන කරගන්න අමතක කරන්න එපා.

එසේනම් මගේ ලිපිය අවසානයි. කියවපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. ඔයාලගෙ අදහස් කමෙන්ට් විදියට දාන්න අමතක කරන්න එපා. යෝජනා චෝදනා සියල්ලම ඉතා නිහතමානීව භාරගන්න අපි සූදානම්.









Share this

Related Posts

First

අපගේ ජනප්‍රියම ලිපි