ලංකාවේ භූ විෂමතාවය පිළිබද ගවේෂණය කරන්නට ඔබ සූදානම්ද?


ලංකාවේ භූ විෂමතාවය දැක්වෙන සිතියමක් ඉහත අප දක්වා ඇත. එහිදී ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති වෙරළබඩ කලාපයේ සිට රට මැදට යන විට ක්‍රම ක්‍රමයෙන් භූමියේ උස වැඩිවන ආකාරය.

මේ භූ විෂමතාවය උපයෝගී කරගෙන ලංකාව ප්‍රධාන භූ විෂමතා කලාප 3 කට බෙදා දක්වන්න පුලුවන්.

1.      වෙරළබඩ තැනිතලාව - මුහුදු මට්ටමත් මීටර 30 ත් අතර කලාපය
2.      අභ්‍යන්තර තැනිතලාව - මීටර 30 ත් මීටර 300 ත් අතර කලාපය
3.      මධ්‍යම කදුකරය - මීටර 300 ට ඉහල කලාපය

වෙරළබඩ තැනිතලාව


මුහුදු මට්ටමත් මීටර 30 සමෝච්ඡ රේඛාවත් අතර කලාපය වෙරළබඩ තැනිතලාව ලෙස හැදින්වෙනවා. මෙය රටේ උතුරු ප්‍රදේශයේදී 32km පුළුල් වන අතර සමහර දකුණේ ප්‍රදේශවලදී 3km දක්වා පටුවේ. මෙම වෙරළබඩ තැන්නේදී ප්‍රධාන භූ විෂමතා ලක්ෂණ කිහිපයක් අපට හදුනාගත හැකිය.

·         දූපත්

වෙරළට ආසන්න දූපත් මෙම කලාපයේ විශේෂ ලක්ෂණයකි.

·         ද්‍රෝණි මෝය

ද්‍රෝණි මෝයක් යනු ගංගාවක් කෙලින්ම මුහුදට ගලා නොගොස් විශාල ද්‍රෝණි සහිත ජලාශයකට සම්බන්ධ වී මුහුදට ගලා යන මුහුද සමග නිදහස් සම්බන්ධයක් ඇති ගොඩබිමින් වටවූ ජලාශයකි. එහි මුහුද දෙසට විවෘත පැත්ත කුඩා වෙයි. මීගමුව, මඩකලපුව, පුත්තලම එවැනි ද්‍රෝණි මෝයවලට නිදසුන් ලෙස දැක්විය හැකිය. රට මැද සිට ගලා එන ගංගා මෙවැනි ගංගා වලට ගලා බැසීම නිසා ඒවායේ ජලය කිවුල් ස්වභාවයකින් යුක්ත වේ.

·         කලපු

කලපුවක් ලෙස හැදින්වෙන්නේ වසරේ ඉතා සුළු කාලයකදී පමණක් මුහුදට සම්බන්ධ වන කරදිය පිරුණු ජලාශයකි. මූන්දල විල, කොග්ගල, කලමැටිය, ලුනාව මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.

·         තුඩු

තුඩුවක් යනු මුහුද දෙසට නෙරා ගිය බිම් කොටසකි. මීට නිදසුන් ලෙස දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, ඇත් තුඩුව හා රාක්ෂ තුඩුව දැක්විය හැකිය.

·         බොකු

බොක්කක් ලෙස හැදින්වෙන්නේ මුහුදට විවෘත වූ පැත්ත විශාල වූ ගොඩබිම දෙසට කා වැදුණු කරදිය පිරුණු සාගර ප්‍රදේශයකි. වැලිගම බොක්ක, ආරුගම් බොක්ක, කොඩ්ඩියාර් බොක්ක එවැනි බොකුවලට නිදසුන් ලෙස දැක්විය හැකිය. ගාල්ල හා ත්‍රීකුණාමලය යනු ඒ බොකුවල පිහිටි ස්වාභාවික වරායන්ය.


·         ඩෙල්ටා

ගංගා මගින් ගෙන එනු ලබන රොන්මඩ ද්‍රව්‍ය ගංමෝයේ දූපත් ලෙස තැන්පත් වූ ස්ථාන වෙරලාශ්‍රිතව දැකිය හැකිය. මේවා ඩෙල්ටා ලෙස හදුන්වනු ලැබේ. මහවැලි ගඟ, කළු ගඟ, කලා ඔය හා මී ඔය ආශ්‍රිත ඩෙල්ටා මේවාට නිදසුන් වේ.


·         වගුරු

වෙරළාශ්‍රිත වගුරු බිම් හා රට අභ්‍යන්තර වගුරුබිම් ලෙස කොටස් දෙකක් අපට හදුනා ගත හැකිය. ගංගාවලින් ගෙන එන ද්‍රව්‍ය වැලි ඉවුරු ලෙස තැන්පත් වීමෙන් මෝය ඇහිරීම නිසාත් ගංගා පිටාර ගැලීම නිසාත් ඇතිවූ තෙත් බිම්, වෙරළාශ්‍රිත වගුරුබිම් ලෙස හැදින්වේ. මුතුරාජවෙල හා දේද්දූව වගුරුබිම් ඒවාට නිදසුන් වේ.





අභ්‍යන්තර තැනිතලාව


සමෝච්ඡ රේඛා අතර මීටර 30 ත් මීටර 300 ත් අතර කලාපය මේ නමින් හැදින්වේ. මෙය රටේ උතුරේදී පළල්වත් දකුණේදී පටුවත් විහිදී පවතිනවා. මෙම කලාපය වෙරළබඩ තැනිතලාවට වඩා වෙනස් වන්නේ එහි තැනින් තැන පිහිටා තිබෙන ශේෂ කදු නිසාය. ශේෂ කදුවලට අමතරව වයඹ ගිනිකොණ අතට විහිදී ඇති කුඩා හෙල්වැටි සමූහයක් මෙහි භූ විෂමතාවයේ කැපී පෙනෙන ලක්ෂණ ලෙස දක්වන්න පුලුවන්.

ශේෂ කදු

දීර්ඝ කාලයක් තිස්සේ ඛාදනයට භාජනය වී ඉතිරි වී ඇති කදු ශේෂ කදු ලෙස හැදින්වෙනවා. මිහින්තලේ, සීගිරිය, ඇතුගල, දිඹුලාගල, අඳාගල එවැනි ශේෂ කදුවලට උදාහරණයන්ය. ඇතැම් ශේෂ කදු ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලයි.

ගල්ඔය  කදු

මධ්‍යම කදුකරයට නැගෙනහිරින් පිහිටි එයට ආසන්න හුදෙකලා කඳු මීට අයත් වේ. ගෝවින්ද හෙල, නුවරගල කන්ද, ඉඟිනියාගල කදු ඒ අතර වේ. ගල් ඔය, හැඩඔය හා කුඹුක්කන් ඔය වැනි ගංගා ආරම්භ වන්නේ මේ කදුවලිනි. ගල් ඔය ජලාශය ඉදිකර ඇත්තේද මේ කොටසේ ඇති ඉඟිනියාගල කන්ද ආධාරයෙනි.




ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය



මේ කලාපයේ සාමාන්‍ය උස මීටර 300ට වඩා වැඩිය. කදුවැටි හා සානු මේ කලාපයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් වේ. එබැවින් මේ කලාපය අනෙකුත් භූ විෂමතා කලාපවලට වඩා සංකීර්ණ බවක් උසුලයි.

මධ්‍යම කදුකරයේ පිහිටි කදු පන්ති
මෙහි නැංගුරමක හැඩය ගත් කදු පන්ති හතරකි. නැංගුරම් පාදයේ බටහිරින් ඇත්තේ සමනල කදු පන්තියයි. 2237 උස සමනල කන්ද එහි උසම කූටයයි. නැංගුරම් පාදයේ නැගෙනහිරින් ඇත්තේ හපුතලේ නමුණුකුල කදු පන්තියයි. 2035 ක් උස නමුණුකුල කන්ද එහි උසම කූටයයි.
කිරිගල්පොත්තේ සිට උතුරු දෙසට පිදුරුතලාගල දක්වා විහිදෙන කදු නැංගුරම් කඳ වශයෙන් හදුන්වනු ලබයි.
මීට අමතරව මධ්‍යම කදුකරයේ උතුරු දෙසින් නක්ල්ස් කදු පන්තියද බටහිරින් දොලොස්බාගේ කදුද නැගෙනහිරින් ලුනුගල කදු වැටිද පිහිටා තිබේ.

සබරගමු කදු

මධ්‍යම කදුකරයේ නිරිත දෙසින් මේ කදු පිහිටා ඇත. රක්වාන කදු, බුලුතොට හෙල් යනුවෙන්ද මේ කදු හදුන්වනු ලැබේ. මධ්‍යම කදුකරයෙන් මේවා වෙන්වී ඇත්තේ කළු හා වලවේ ගංගා නිම්න නිසාය. වයඹ ගිනිකොණ දෙසට විහිදෙන සමාන්තර හෙල් වැටි මෙහි විශේෂ ලක්ෂණ වේ. නිල්වලා, ගිං හා බෙන්තොට ගංගා මේ කදුවලින් ආරම්භ වේ.

සානු

සානුවක් යනු උස්බිමක පිහිටි සම භූමියකි. මධ්‍යම කදුකරයේ සානු කිහිපයක්ම පිහිටා ඇත. සමනල හා පිදුරුතලාගල කදුවලින් වටවූ හැටන් සානුව මීටර 900 – 1515 ත් අතර උසින් යුතුය. පිදුරුතලාගල හා හපුතලේ - නමුණුකුලින් කදු පන්තියෙන් වටවූ වැලිමඩ සානුව මීටර 900ක් පමණ උසින් පිහිටා ඇත.
සමනල කදුවලටත්, හපුතලේ කදුවලටත් දකුණු දෙසින් මීටර 300 ත් 900 ත් අතර උසින් යුතුව මහවලතැන්න හා කොස්ලන්ද සානු පිහිටා ඇත. හැටන් හා වැලිමඩ සානුවලට උතුරු දෙසින් මීටර 600- 900 ත් අතර මහනුවර සානුව පිහිටා ඇත. මේ සානු විවිධ උස මට්ටම් වලින් පිහිටා ඇත.

කපොලු

කපොල්ලක් යනු උස් කදු දෙකක් අතර පිහිටි පහත් ස්ථානයකි. මධ්‍යම කදුකරයේ ප්‍රධාන කපොලු කිහිපයකි.
·         ගලගෙදර කපොල්ල -     කුරුණෑගල - මහනුවර මහා මාර්ගය
·         බලන කපොල්ල -          කොළඹ - මහනුවර මහා මාර්ගය
·         ගිනිගත්හේන -               අවිස්සාවේල්ල -  නුවරඑලිය මහා මාර්ගය
·         බලකඩුව -                     මාතලේ - මහනුවර මහා මාර්ගය
·         හපුතලේ -                     බලංගොඩ - බණ්ඩාරවෙල මහා මාර්ගය
·         ඇල්ල -                         වැල්ලවාය - බදුල්ල මහා මාර්ගය


පටක රෝපණය කියන්නෙ මොකක්ද කියලා ඔයාලා දන්නවද

පටක රෝපණය කියන තාක්ෂණය වර්තමාන කෘෂිකර්ම තාක්ෂණයේදී භාවිතා වන ඉතාම වැදගත් ක්‍රමවේදයක් විදියට දක්වන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ කිසියම් ශාකයක පටක කොටස් වර්ධනය කිරීමෙන් පසු ඉතාමත් ශක්තිමත් හා පරිසර තත්වවලට හොදින් මුහුණදෙන ශක්තිමත් පැළෑටි නිර්මාණය කර ගැනීමයි. එමගින් ගුණාත්මක බවින් ඉහල වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණ විදියට දක්වන්න පුලුවන්.


            “ජෛව තාක්ෂණය - Bio Technology” වර්තමානයේ බහුලවම කතා කරන හා අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක් විදියට දක්වන්න පුලුවන්. ශාක ප්‍රචාරණයට යොදා ගනු ලබන්නා වූ ජෛව තාක්ෂණික ක්‍රම ශිල්පය ක්ෂුද්‍ර ප්‍රචාරණය ලෙස හදුන්වනු ලබනවා.




            වර්ධනයට අවශ්‍ය සාධක තුලනාත්මකව ලබා දුන් විට පූර්ණ ජීවියෙකු බවට පත්වීමේ හැකියාව ඕනෑම ජීවී සෛලයකට තිබෙනවා. මෙය Totipotency ලෙස හදුන්වන අතර මෙම මූලධර්මය ජෛව තාක්ෂණයේදී ප්‍රායෝගිකව යොදාගත් අවස්ථාවක් ලෙස ක්ෂුද්‍ර ප්‍රචාරණය හදුන්වන්නට පුලුවන්. මේ ක්ෂුද්‍ර ප්‍රචාරණයට විවිධ ශාක කොටස් යොදා ගනු ලබනවා. එම යොදාගන්නා ශාක කොටස් අනුව ක්ෂුද්‍ර ප්‍රචාරණ ක්‍රම වෙන වෙනම නම් වලින් හැදින්වෙනවා.

·         පටක - පටක රෝපණය (Tissue Culture)
·         කලල - කලල රෝපණය (Embryo Culture)
·         පරාගධානි - පරාගධානි රෝපණය (Anther Culture)
·         ප්‍රාක්ප්ලාස්මය - ප්‍රාක්ප්ලාස්මය රෝපණය (Protoplast Culture)
·         කිනක - කිනක රෝපණය (Callus Culture)
·         පරාග - පරාග රෝපණය (Pollen Culture)
·         අංකුර - අංකුර රෝපණය (Meristrum Culture)

මේවා අතරින් වර්තමානයේ බහුලව භාවිතා කරන ක්‍රමවේදය ලෙස පටක රෝපණය හදුන්වන්න පුලුවන්. දැන් අපි මේ ගැන වැඩිදුර විමසා බලමු.

පටක රෝපණයේ මූලික අවශ්‍යතාවන්


රෝපණ මාධ්‍ය -

1.      ජලය
2.      ශක්ති ප්‍රභව ලෙස සුක්‍රෝස්
3.      අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය
4.      ශාක හෝර්මෝන
5.      විටමින
6.      ඇමයිනෝ අම්ල
7.      ඝණීකාරක (ජෙල් වැනි ද්‍රව්‍ය)

පාරිසරික තත්ව -

1.      දිනකට පැය 12-16 අතර ආලෝකය
2.      23C – 27C අතර උෂ්ණත්වය
3.      පිරිසිදු වාතය
4.      70%-80% අතර සාපේක්ෂ ආර්ද්‍රතාවයක්

ජීවානුහරිත තත්ව -
            මෙහිදී සියලුම උපකරණ ජීවානුහරණය කර භාවිතා කළ යුතුය


මෙහිදී සෛල වර්ධනය වේගවත් කිරීමට විවිධ සංයෝගයන් හා පෝෂණ මාධ්‍යකට එකතු කිරීම සිදුකරන්න පුලුවන්
            උදා: ළපටි කුරුම්බා වතුර, කෙසෙල් ගෙඩි යුෂ, නැදුන් පත්‍ර යුෂ , තක්කාලි යීස්ට් නිස්සාරක
මුල් වර්ධනය සිදුවන අවස්ථාවේදී මාධ්‍යයට සක්‍රීය අගුරු එක් කිරීම මගින් ඉක්මනින් මුල් ලබාගත හැකිවනවා. මෙහිදී බහුලවම යොදා ගන්නා ක්ෂුද්‍ර රෝපණ මාධ්‍ය ලෙස MS (Murashige & Skoos) මාධ්‍ය දක්වන්න පුලුවන්.

            පටක රෝපණය හා අනෙකුත් ක්ෂුද්‍ර ප්‍රචාරණවලදී ජීවානුහරිත තත්වයන් යටතේ සිදුකිරීම ඉතා වැදගත් කටයුත්තක් වනවා. ඒ නිසා විශේෂ පරියේෂණාගාරයක් තුලදී අනවරත ප්‍රවාහ කුටීරය (Laminar Flow Cabinet) තුළ ක්ෂුද්‍ර රෝපණයේ කටයුතු බොහොමයක් සිදු කරනු ලබනවා. ලංකාවේදී මෙම ජාන සම්පත් සංරක්ෂණයේ ලා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබන ආයතනයක් ලෙස ගන්නොරුවේ පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථානය (Plant Genetic Resources Centre – PGRC) හදුන්වන්න පුලුවන්.


පටක රෝපණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර



1.      මව් ශාකය තෝරා ගැනීම (Selection of ex-plant)
2.      මූලික පටකය (Ex-Plant)
3.      ස්ථාපන අවධිය (Establishment Stage)
4.      ගුණනය කිරීම (Multiplication Stage)
5.      මුල් හටගැනීමේ අවධිය (Rooting Stage)
6.      පරිසරයට හුරු කිරීම (Acclimatization Stage)
7.      සිටුවීමට යෝග්‍ය ලෙස දැඩි කළ පැළය

මෙම පටක රෝපණ ක්‍රියාවලියේදීත් වාසි මෙන්ම අවාසිත් දක්වන්න පුලුවන්. අපි දැන් හොයල බලමු ඒ මොනවාද කියලා,


පටක රෝපණයේ වාසි

·         මව් ශාකයට සමාන ලක්ෂණ සහිත ශාකයන් රැසක් ඉතා කෙටි කාලයකින් ලබා ගත හැකි වනවා
·         අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ශාකවලට විවිධත්වයක් ලබාදිය හැකි වනවා
·         පළිබෝධවලට ප්‍රතිරෝධි ශාකයන් සකස්කර ගත හැකි වනවා
·         වානිජ වැදගත්කමකින් යුතු ඖෂධ, සුවද විලවුන් වැනි ද්‍රව්‍ය නිස්සාරණය කරගත හැකිවනවා. මේවා ද්විතීයික පරිවෘතීය ඵල නම් වනවා.
·         වර්ෂය පුරාම පැළ ලබාගත හැකි වනවා.
·         ගබඩා කිරීම හා ප්‍රවාහනය පහසු වනවා


පටක රෝපණයේ අවාසි

·         මූලික වියදම් අධික ක්‍රමවේදයක් වනවා
·         තාක්ෂණික දැනුම බහුලව අවශ්‍ය වන ක්‍රමවේදයක් වනවා
·         දියුණු රසායනාගාර හා ස්ථාන අවශ්‍ය වනවා



දැන් ඔබට පටක රෝපණය යනු කුමක්ද, එය සිදුකරන්නේ කෙසේද හා එහි වාසි අවාසි පිළිබද වැටහෙන්නට ඇති. අප රටට වැදගත් වනුයේ ඉහල අස්වැන්නක් සදහා ගුණාත්මක පැළ ලබා ගැනීමේදීය. වැඩි අස්වැන්නක් සදහා භූමි ප්‍රමාණය වැඩි කිරීම ලංකාව වැනි කුඩා රටකට යෝග්‍ය නොවේ. කළ යුතු වන්නේ ඒකීය භූමියකින් ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ඉහල නංවාලීමයි. ඒ සදහා ඉතා සුදුසු ක්‍රමවේදයක් ලෙස මෙම පටක රෝපණය වැදගත් වෙයි. තවද වද වීමේ තර්ජනයක් ඇති ශාකවලට ජාන සංරක්ෂණය සිදුකිරීමද අත්‍යවශ්‍ය කටයුත්තකි. ඔබට මෙහිදී මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ කෘෂි උපදේශක, වානිජ තවාන් පාලකයන් වැනි පුද්ගලයන් හමුවන්න. එසේම පටක රෝපණ විද්‍යාගාර, විශ්ව විද්‍යාල හා වෙනත් පරියේෂණ ආයතනයන් මගින්ද ඔබට මේ පිළිබදව වැඩිපුර තොරතුරු ලබාගත හැකිය.



E-Commerce හෙවත් ඉලෙක්ට්රොනික වානිජ්යය ගැන ඔබ දැනුවත්ද



E-Commerce එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය කියන්නෙ අන්තර්ජාලය හා සම්බන්ධ දෙයක් යාලුවනේ, ඉතින් මේ පාඩම ICT විෂයට වගේම Commerce විෂය ධාරාවටත් අදාලයි කියලා මම හිතනවා. ලංකාව වගේ රටකට නම් මේ E-Commerce කියන දේ එතරම් හුරු පුරුදු නැති දෙයක්. ඒ වුනාට මේක ඇමරිකාව, එංගලන්තය වගේ රටවල නම් වෙනමම අධ්‍යනය කරන විෂයක් බවටත් අද පත් වෙලා තියෙනවා. මොකද ඒ රටවල ආර්ථිකයට මේ E-Commerce  කියන දේ ගොඩක් ලොකුවට බලපාලා තියෙන නිසා. කොහොම වුනත් ලංකාවටත් අනාගතයේදී මේ E-Commerce කියන දේ ඉතාම වැදගත් එකක් වේවි කියලා මම හිතනවා. එහෙනම් අපි මේ ගැන අධ්‍යනය කරන්නට යොමුවෙමුකෝ…..



            අන්තර්ජාලය හරහා වෙළෙන්දන් හා පාරිභෝගිකයන් අතර භාණ්ඩ හා සේවාවන් හුවමාරුව හා ඊට අදාල ගණුදෙනු පියවීම තමයි ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය සංකල්පයේ පදනම වන්නේ, මෙය අද වන විට අන්තර්ජාලය තුළ ඉතා වැදගත් ක්‍රමවේදයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ලොව පුරා සිටින පුද්ගලයන්ට ඉතා ඉක්මනින් හා පහසුවෙන් තම භාණ්ඩ හා සේවාවන් දවසේ පැය විසිහතර පුරාම හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ ක්‍රියාවලියේදී පාර්ශවකරුවන් හතරක් දකින්නට පුලුවන්,

1.      වෙළෙන්දා (Merchant)
2.      මාර්ගගත ගණුදෙනුකරු (Online Consumer)
3.      වෙළෙන්දාගේ බැංකුව (Merchant’s Bank)
4.      ගණුදෙනුකරුගේ බැංකුව හෙවත් ණය පත් සමාගම (Consumer’s Bank or Credit Card Company)


මෙහිදී වෙළෙන්දා විසින් තමා අලෙවි කිරීමට යන භාණ්ඩ හා සේවාවන් පිළිබදව සියලුම විස්තර ඇතුලත් මාර්ගගත වෙළෙදසැලක් හෙවත් Online Shop එකක් වෙබ් අඩවියක් තුල පවත්වාගෙන යනු ලබනවා. එහිදී තමන් විකිණීමට යන භාණ්ඩ හා සේවාවල තත්වය , ගුණ ත්වය, මිල පිලිබදව වගේම ඒවායේ ඡායාරූප හා වීඩියෝ ආදියත් වෙළෙන්දන් විසින් ඊට ඇතුලත් කරනු ලබනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයකුට තමා තෝරන භාණ්ඩ හා සේවාවන් පිළිබදව ඉතා හොද අවබෝධයක් වගේම බුද්ධිමත් තීරණයකටත් එලැබීමට හැකි වනවා.

            මෙහිදී පාරිභෝගිකයා මාර්ගගත වෙළදසැලට පිවිස එහි තිබෙන තොරතුරු විමසා බලා යමක් මිලදී ගැනීමට තීරණය කළ පසු ඊට අදාල මුදල ගෙවීම සදහා තම ණය කාඩ්පත හෙවත් Credit Card එක භාවිතා කරනු ලබයි. එහිදී තම ණය කාඩ්පතේ අංකය, වර්ගය, කල් ඉකුත්වන දිනය ආදිය ලබාදුන් පසුව එම තොරතුරු ණය කාඩ්පත් සමාගමේ සර්වරය වෙත යොමු කරනු ලබනවා. එම ලබාදුන් තොරතුරු නිවැරදි නම් හා අදාල ගණුදෙනුව පියවීමට තරම් ප්‍රමාණවත් ණය සීමාවක් ගණුදෙනුකරුගේ ණය කාඩ්පත සතුවනවා නම් පමණක් එම මුදල ණය කාඩ්පත් සමාගම විසින් වෙළෙන්දාගේ බැංකුවේ ඇති වෙළෙන්දාගේ ගිණුමට බැර කරනු ලබයි. වෙළෙන්දාගේ බැංකුව විසින් අදාල මුදල ලැබුණු බව වෙළෙන්දා වෙත තහවුරු කිරීමෙන් පසුව අදාල භාණ්ඩය පාරිභෝගිකයා වෙත යැවීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුවෙනවා.

මෙහිදී E-Commerce වලද වාසි මෙන්ම අවාසිත් ගොඩාක් තිබෙනවා. ඒ ගැන දැනගන්න එකත් ගොඩාක් වටින දෙයක්.


E-Commerce වල වාසි -

·         ඉතා ඉක්මනින් භාණ්ඩ හා සේවාවන් අලෙවි කර ගැනීමටත් මිලට ගැනීමටත් හැකි වනවා
·         වෙළෙන්දාගේ මෙන්ම පාරිභෝගිකයාගේත් කාලය ඉතිරි වනවා
·         වේලාවක් රහිතව දවසේ පැය 24 පුරාම වූවද ගනුදෙණු කල හැකිවනවා
·         වෙළෙන්දා හා පාරිභෝගිකයා අතර මුණ ගැසීමක් සිදුවීම අනවශ්‍ය වනවා
·         ලෝකයේ ඕනෑම රටක පුද්ගලයකුට ගණුදෙනු කළ හැකි වනවා
·         කිසියම් පාරිභෝගිකයකුට ලොව ඕනෑම රටක අලුත් නිෂ්පාදනයක් වූවත් රටට ආනයනය කිරීමට පෙර ලබාගත හැකි වනවා

E-Commerce වල අවාසි -

·         පාරිභෝගිකයන් විව්ධ වංචාවලට මුහුණ දීමට ඇති හැකියාව ඉහල මට්ටමක පවතිනවා
·         අන් අයගේ ණය පත් හෙවත් Credit Card භාවිතා කර සිදුකරන ගණුදෙනු නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදීමට වෙළෙන්දන්ට සිදුවනවා
·         ගණුදෙනුව සිදුවූ බව ඔප්පු කිරීමට, නීතිමය වශයෙන් පිළිගත හැකි සාක්ෂි පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වෙනවා.


ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය ආකෘති

මෙහිදී අපට ප්‍රධාන ආකෘති 4 ක් හදුනාගත හැකිය

1.      B2C (Business to Consumer)
2.      B2B (Business to Business)
3.      C2C (Consumer to Consumer)
4.      G2C (Government to Citizen)


ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුව (Electronic Fund Transfer – EFT)



ලිපි ලේඛන භාවිතයක් රහිතව පරිගණක පද්ධති භාවිතයෙන් ස්වයංක්‍රීයව එක් ගිණුමක සිට වෙනත් ගිණුමකට මුදල් මාරු කිරීම මේ නමින් හදුන්වයි.
උදා: ණයපත් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවාවන් සදහා මුදල් ගෙවීම දැක්විය හැකිය


ගෝලීය අරමුදල් හුවමාරුව (Global Fund Transfer)





ලොව පුරා විවිධ රටවල සිටින පුද්ගලයින් සිදුවන මුදල් හුවමාරුව කර ගැනීමට ක්‍රමවේදය මේ නමින් හැදින්වෙනවා
            උදා: Money Gram, Western Union
මෙහිදී ගෝලීය අරමුදල් හුවමාරුව සිදුකරනු ලබන සමාගම විසින් ලෝකය පුරා නියෝජිත ජාලයක් පවත්වාගෙන යනු ලබන අතරම පරිගණක ජාලයක් ඔස්සේ එම සියලුම නියෝජිතයින් එකට සම්බන්ධ කොට තිබෙනවා. අරමුදල් ලබා ගැනීම හා යැවීම ඕනෑම නියෝජිතයකු හරහා සිදු කිරීමට පුලුවන්. කිසියම් නියෝජිතයකු වෙත ගොස් අදාල මුදල් ප්‍රමාණය ලබා දී එම මුදල් ලබා දිය යුතු පුද්ගලයාගේ නම, ලිපිනය හා අනන්‍යතාව ලබා දුන් විට එම දත්තයන් පරිගණක ජාලයට ඇතුලු කොට විශේෂ විමර්ශන අංකයක් ලබා දෙනු ලබනවා. මෙම විමර්ශණ අංකය මුදල් යවනු ලබන පුද්ගලයා විසින් මුදල් ලබා ගන්නා පුද්ගලයාට ලබා දිය යුතුයි. මුදල් ලබන්නා විසින් තම රටේ තිබෙන ඕනෑම නියෝජිතයකු වෙත ගොස් අදාල විමර්ශණ අංකය හා තමාගේ අනන්‍යතාව සනාථ කිරීමෙන් පසු එම මුදල් ඔහුට හෝ ඇයට ලබාගත හැකිවනවා.



දැන් ඔබට ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය හෙවත් E-Commerce හී මූලික දේ පිළිබදව පැහැදිලි වනවා ඇති. මේ දේවල් ඔබට හා ඔබගේ ජීවිතයට වටීවි යන්න මගේ හැගීමයි. ඉදිරියේදීත් මෙවැනි වැදගත් ලිපි සමගින් ඔබ හමුවීමට බලාපොරොත්තු මා බලාපොරොත්තු වෙමි.

භූමිකම්පා ගැන මෙන්න මේ දේවල් දන්නවා කියා විශ්වාසද

භූමිකම්පා කියන වචනය අපි කවුරුත් අසා ඇති දෙයක් වුනත් මේ දේ අපි ඇත්තටම අත්විදලා නැති තරම්. මොකද ලංකාව කියන්නේ එතරම් භූමිකම්පා වලට මුහුණ නොදෙන රටක් හින්ද, කොහොමවුනත් වෙන රටවලට බලපාන භූමිකම්පා නිසා අප රටට නම් කරදර වෙලා තියෙනවා. 2004 සුනාමියත් ඒකට හොදම උදාහරණයක්,


            ලෝකයේ ඇතිවන ස්වාභාවික විපත් අතර වැඩියෙන්ම හානි ගෙන දෙන්න පුලුවන් ව්‍යසනයක් තමයි මේ භූමිකම්පා, 2015 දී මුලු නේපාල දේශයම භූමිකම්පාවක් නිසා විනාශ වූ ආකාරය ඔයාලට මතක ඇති. අපිට මේ ව්‍යසනය එතරම් බලපෑම් එල්ල නොකලත් මේ දේ ගැන විමසා බැලීම කාලෝචිතයි කියලා මම හිතනවා. කවදා කොහොමහරි අපේ රටේත් භූමිකම්පා ඇතිවෙන්න බැරි කමක් නැහැ හොදද,

නේපාල භූමිකම්පාව 


පෘථිවි පෘෂ්ඨය තුල දීර්ඝ කාලීනව එක් රැස් වන්නා වූ ශක්තීන් ක්ෂණිකව මුදා හැරීම නිසා පොළොවේ චලනයන් ඇති වීම භූමිකම්පාවක් ලෙස හැදින්වෙනවා. මේවායේ තීව්‍රතාවය මැනීම සදහා “රික්තර්” නම් පරිමාණය තමා භාවිතා කරන්නේ, පෘථිවි අභ්‍යන්තරයේ හෝ සාගර අභ්‍යන්තරයේ සිදුවන භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් නිසා භූමිකම්පා සිදුවෙනවා.

පෘථිවි පෘෂ්ඨය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන තැටි හතකින් හා අප්‍රධාන තැටි ගණනාවකින්,
මේවායෙන් ප්‍රධාන තැටි හත අපට මේ විදියට දක්වන්න පුලුවන්.



1.      ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය
2.      යුරේෂියානු තැටිය
3.      අප්‍රිකානු තැටිය
4.      දකුණු ඇමරිකානු තැටිය
5.      උතුරු ඇමරිකානු තැටිය
6.      පැසිෆික් තැටිය
7.      ඇන්ටාර්ක්ටික් තැටිය


භූමිකම්පා ඇතිවීමට බලපාන හේතු

පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන විවිධ වෙනස්කම් හේතුකොටගෙන මෙම භූ තැටි චලනය වීම සිදුවනවා.එම නිසා එක් තැටියක් තවත් තැටියක් සමග ගැටීම හෝ එකක් එකක් මත ලිස්සා යාම සිදුවනවා. මේ නිසා එම තැටි මායිම් කලාපවල භූමිකම්පා හටගනු ලබනවා.




භූ චලන ඇතිවන ආකාරය



·         අපසාරී තැටි මායිම -
එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරන තැටි මායිම් අපසාරී තැටි නම් වනවා. භූ තලයේ කොටස් දෙපසට තල්ලු කරමින් අභ්‍යන්තරයේ ඇති උණුසුම් ද්‍රව්‍ය ඉහලට නැගීම සාගර තුල බහුලව දක්නට පුලුවන්.

·         අභිසාරී තල මායිම -
තැටි එකිනෙකට මුහුණලා ගමන් කිරීම මෙහිදී සිදුවනවා. එක් තලයක් අනෙක් තලය තුළට ගමන් කරන ප්‍රදේශ වල විශාල භූමිකම්පා දකින්නට පුලුවන්. මෙමගින් ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇතිවනවා. පසුගිය වසරේ නේපාලයේ ඇති වූ භූමිකම්පාවද මේ වර්ගයේ එකක් විදියට දක්වන්න පුලුවන්.


ලෝකයේ භුමිකම්පා පවතින කලාප


භූමිකම්පා සිදුවන ආකාරය හා ඒවායේ සීමා පදනම් කරගෙන ප්‍රධාන භූමිකම්පා කලාප හතරක් හදුනා ගන්නට පුලුවන්.


1.      පැසිපික් ගිනි වළල්ල
උතුරු ඇමරිකාවේ ඇලස්කාවේ සිට දකුණු ඇමරිකාව දක්වාත් නවසීලන්තයේ සිට උතුරට ගොස් ජපන් දූපත් හරහා නැවත ඇලස්කාව දක්වාත් විහිදෙනවා.

2.      හිමාලය කදු කලාපය
මධ්‍යධරණී මුහුදේ සිට කලු මුහුද ඇෆ්ගනිස්ථානය, පාමීර්, හිමාලය ඔස්සේ චීනයටත් ඉන් අනතුරුව පැසිෆික් කලාපයටත් මෙය විහිදෙනවා.

3.      අත්ලන්තික් සාගරයේ විහිදෙන මධ්‍යය සාගරික වැටි කලාපය
4.      අප්‍රිකානු සුවිභේද නිම්න කලාපය

සුළු චලනයන් පෙන්වන භූ චලන ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඇතිවිය හැකි නමුත් දරුණු භූමිකම්පා සිදුවන්නේ ඉහත සදහන් කළ කලාපවලය. ගොඩබිම පමණක් නොව සාගරයේද දරුණු භූමිකම්පා සිදුවේ.


ලෝකයේ මෙතෙක් සිදු වු දරුණු භූමිකම්පා


1.      1556 දී චීනයේ ශාංෂි නිම්නයේ සිදුවූ භූමිකම්පාවකින් 283,000 ක් දෙනා ආපදාවට පත් විය.
2.      1906 දී සැන්ෆ්රැන්සිස්කෝ වල ඇති වූ භූමිකම්පාවෙන් 3000 කට අධික ප්‍රමාණයක් මරණයට පත් විය.
3.      1923 දී ජපානයේ කන්ටෝ ප්‍රදේශයේ වු භූමිකම්පාවකින් 142000ක් දෙනා මරණයට පත් විය.
4.      1990 දී පිලිපීනයේ සිදුවූ භූමිකම්පාවෙන් 1084 දෙනෙකුට ජීවිත අහිමි විය.
5.      2004 දී සුමාත්‍රා දූපත් අසල වූ භූමිකම්පාවෙන් රටවල් කිහිපයකම ජනයා මරණයට පත් විය.
6.      2015 දී නේපාලයේ සිදුවූ භුමිකම්පාව නිසා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වු අතර මිලියන ගණනක් ජනයා අවතැන් විය.

භූමිකම්පා වලින් සිදුවන හානිය සුළු පටු නොවන බව ඔබට ඉහත ඉතිහාසය මගින් පැහැදිලි වනවා ඇති. ඇත්ත වශයෙන්ම දරුණු භූමිකම්පා නිසා රටකට සිදුවන හානිය අප්‍රමාණයි. අපි දැන් බලමු ඒ හානි මොනවාද කියලා,

භූමිකම්පා වලින් සිදුවන හානි

·         විශාල වශයෙන් ජීවිත හානි හා තුවාල සිදු වීම
·         සංවර්ධන කටයුතු ඇන හිටීම
·         විදුලිය, ජල නල, සන්නිවේදන පද්ධති හා මාර්ග පද්ධති අවහිර වීම හා විනාශ වීම.
·         භූමියේ විභේද හා පැලීම් හට ගැනීම

භූමිකම්පාවකදී ක්ෂණිකව කළ යුතු දේ මොනවාද?

·         ප්‍රදේශයෙන් හැකි ඉක්මනින් ඉවත් වීම
·         සන්නිවේදන මාධ්‍යවලට සවන් දී දැනුවත් වීම
·         ඉක්මනින් එලිමහන් තැනකට යාම
·         විදුලි රැහැන් හා ගොඩනැගිලි සහිත ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් වීම
·         තමා දැනගත් තොරතුරු අන් අයටත් කීම
·         නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලට නොයාම
·         බඩු මුට්ටු පිළිබද නොසිතා තම ජීවිතය පමණක් බේරා ගැනීමට කටයුතු කිරීම


භූමිකම්පා කළමනාකරණය හා එයින් වන හානි අවම කර ගැනීමට ගත යුතු පියවර මොනවාද?

·         සන්නිවේදන මාධ්‍ය වලට සවන් දී භූමිකම්පා පිළිබද දැනුවත් වීම හා සෙවිල්ලෙන් සිටීම
·         භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි හා නිවාස ඉදි කිරීම
·         සැහැල්ලු භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ භාවිතය
·         භූමිකම්පා නිසා සුනාමි තත්වයක් ඇති විය හැකි නිසා ඒ ගැන සැලකිළිමත් වීම
·         ව්රිතුමය වෙනස් වීම් පිළිබද දැනුවත් වීම
·         භූ කම්පන මාන සවි කිරීම
·         පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම



දැන් ඔයාලට පැහැදිලි වුනා ඇති භූමිකම්පා කියන්නෙ මොනවාද, ඒවා සිදුවන්නේ කෙසේද, ඒවායින් වන හානි හා භූමිකම්පා වලින් වැළකෙන්නේ කෙසේද කියා, ලංකාවේ අපිටත් කවදාහරි මේ දෙය අත්විදින්නට බැරි කමක් නැහැ. ඊට කලින් මේ දේවල් දැන ගැනීම කාලෝචිතයි කියා මා සිතමි.

අන්තර්ජාලයේ උපත හා එය මෙතරම් දුරට ව්යාප්ත වූයේ කෙසේද කියා ඔබ දන්නවාද



අන්තර්ජාලය ගැන ලොකු පොඩි නොදන්න කෙනෙක් දැන්නම් හොයන්නත් අමාරුයි. මොකද ඒ තරම් අද වන විට මේ දේ අපිට සමීප වෙලා තියෙනවා. ඒ වගේම කිසිදා නොවු විරූ ලෙස ලෝකය අතිශය සමීප වෙලා තියෙනවා මේ දේ නිසා. ඇත්තටම ඔයාලා දන්නවාද මේ අන්තර්ජාලය බිහිවුනේ කොහොමද කියලා? ඔයාලා ගොඩාක් විට ඒ ගැන නොදන්නවා ඇති. හරි කමක් නැහැ මම අද කියල දෙන්නම්කො අන්තර්ජාලය කොහොමද බිහිවුනේ හා එය මෙතරම් ව්‍යාප්ත වුනේ කොහොමද කියලා,



අන්තර්ජාලයේ උපත


හැටේ දශකයේදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආධාර ලැබූ ව්‍යාපෘතියක් වූ අපානෙට් (ARPA NET – Advanced Research Projects Agency Network) ජාලය පරිගණක අතර තොරතුරු සෙවීමේ අලුත් මං සොයමින් කටයුතු කළේය. එහිදී ඔවුන් අත්හදා බැලූ එක් ක්‍රමයක් වූයේ ඩේටා ග්‍රෑම් (data gram) ක්‍රමයට හෙවත් පැකට් ස්විච්ං ක්‍රමයට (Packet Switching data transfer method) තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේදයයි. වර්තමානයේද අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ මේ ඩේටා ග්‍රෑම් ක්‍රමයට අනුවය. එබැවින් ඩේටා ග්රෑම් ක්‍රමය අනුව මුලින්ම තොරතුරු හුවමාරු කල දිනය අන්තර්ජාලය තාක්ෂණයේ උපන් දිනය ලෙස සලකනු ලබයි. මෙසේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ සිට ස්ටැන්ෆර්ඩ් පරියේෂණ ආයතනය අතර මෙසේ ඩේටා ග්‍රෑම් ක්‍රමයෙන් තොරතුරු හුවමාරු කරනු ලැබූයේ 1969 වසරේ 29 වෙනිදායි. එනම් අන්තර්ජාලය උපන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේදී මීට වසර 47 කට පෙරය.



මෙම Interface Message Processor යන්ත්‍රය මුලින්ම අන්තර්ජාලය සම්බන්ධ කල යන්ත්‍රයයි.



            මෙම අපානෙට් ජාලය නිර්මාණය කරමින් එය මෙහෙය වූ කණ්ඩායමේ මූලිකත්වය ගනු ලැබූයේ දැනට 76 වැනි වියේ පසුවන ලැරී රොබට්ස් යන පුද්ගලයාය. ඉහත සදහන් කල ඩේටා ග්‍රෑම් ක්‍රමයට පසුබිම් වන ගණිතමය සොයාගැනීම කරනු ලැබූයේ දැනට 80 හැවිරිදි වියේ පසුවන ඇමරිකානු පරිගණක විද්‍යාඥයකු වන ලෙන් ක්ලෙයින්රොක් නම් පුද්ගලයාය. එබැවින් ඔහු අන්තර්ජාල තාක්ෂණයේ පියා ලෙස සැලකෙයි. ඔහු නොවන්නට අද අපට අන්තර්ජාල තාක්ෂණයක් නොමැති වන්නට ඉඩ තිබුණි. 1969 මෙම නව සොයාගැනීමත් සමග අන්තර්ජාලය කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් අද සිටිනා තත්වයට පත් විය.



ලෙන් ක්ලෙයින්රොක්




අන්තර්ජාලයේ ව්‍යාප්තිය

අන්තර්ජාලය මෙසේ 1969 දී උපත ලැබූවත් එය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කරණු ලැබූයේ 1973 වසරේ සිටයි. INTERNET යන වචනය භාවිතයට පැමිණියේ 1974 වසරේදීය. මුල්ම කාලයේ අන්තර්ජාල තාක්ෂණයේ වර්ධනය සිදු වූයේ ඉතාමත් සෙමිනි.

            වර්තමානයේදී අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ පොදු තාක්ෂණික සම්මුතියකට එනම් ප්‍රොටෝකෝලයකට අනුවය. ටීසීපී/අයිපී(TCP/IP – Transmission Control Protocol/Internet Protocol) යන මෙම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය 1983 ජනවාරි 01 වැනිදා අපානෙට් ජාලයේදී පළමුවරට භාවිතා කෙරිණි. මෙම TCP/IP ප්‍රොටෝකෝලය නිර්මාණය කරනු ලැබූයේ අපානෙට් ජාලයේ මෘදුකාංග කටයුතු පිළිබද ප්‍රධානියා වූද වර්තමානයේ ගූගල් සමාගමේ සේවය කරන 71 හැවිරිදි වින්ටන් සර්ෆ් විසිනි. මේ හේතුවෙන් ඔහු අන්තර්ජාල තොරතුරු සන්නිවේදනයේ පියා ලෙස හදුන්වනු ලැබේ. ඔහුද නොවන්නට මෙසේ අන්තර්ජාල ව්‍යාප්ත නොවන්නට ඉඩ තිබුණි.

            අන්තර්ජාලය බිහිවී වසර 20 කට පසුව එනම් 1989 වසරේ මාර්තු මාසයේදී ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් WWW (World Wide Web) බිහි වීම සිදු වුනි. අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස මෙම WWW නිර්මාණය කරනු ලැබූයේ ටිම් බර්නස්ලී මහතා විසිනි. ඒ සදහා උර දෙන වෙබ් පිටු සකසන භාෂාව html (hyper text markup language), විවිධ පරිගණක භාෂා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටෝකෝලය http (hyper text transfer protocol) සහ html අනුව ලියූ හෝ http හරහා වෙබ් පිටුවකට ගෙනා හෝ තොරතුරු ජාලයෙන් සොයා ගැනීමේ මේ ක්‍රමය url (universal resource locator) යනාදිය ටිම් බර්නස් ලී මහතා විසින් සොයා ගනු ලැබූ නිසා ඔහු විරුදාවලිය ලබනුයේ ලෝක ව්‍යාප්ත ජාලයේ පියා වශයෙනි.


ටිම් බර්නස් ලී 


            ටිම් බර්නස් ලී මහතාගේ මෙම නව සොයා ගැනීමෙන් පසුව අන්තර්ජාලයේ සුවිශේෂී වර්ධනයක් ඇතිවන්නට පටන් ගත්තා පමණක් නොව පොදු සමාජය තුල අන්තර්ජාලය සීඝ්‍රයෙන් ජනප්‍රිය වන්නටද විය. 1993 වසර වන විට අන්තර්ජාලය කෙරෙහි ව්‍යාපාරික අවධානය යොමු වන්නට පටන් ගත් අතර ඒ පිළිබදව විවිධ මතවාදයන්ද ඇති වන්නට විය. අන්තර්ජාලය මුල්ම අවධියේදී භාවිතා කරනු ලැබූයේ රාජ්‍ය හා ආරක්ෂක කටයුතු සදහා පමණි. කෙසේවෙතත් අන්තර්ජාලය වානිජ කටයුතු සදහා විවර කළ යුතු යැයි එකල මතවාද හා විවේචන බොහෝ එල්ල වන්නට විය. ඒ අනුව 1995 වසරේදී ව්‍යාපාරික ප්‍රජාව උදෙසා හා වානිජ කටයුතු සදහා අන්තර්ජාලයේ ඉඩ හසර විවර වුනි.

 



            ඒ අනුව yahoo.com හා amazon.com වැනි මුල්කාලීන අන්තර්ජාල දැවැන්තයන් තම අන්තර්ජාල සේවාවන් 1990 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ අතර එම රැල්ලත් සමග Alta Vista, Excite, Infoseek වැනි තවත් සෙවුම් යන්ත්‍ර රාශියක් තම සේවා කටයුතු අන්තර්ජාලය තුල ආරම්භ කරන්නට පියවර තැබුවේය. 1998 වසරේදී සෙවුම් යන්ත්‍ර ව්‍යාපාරයේ නව පිටුවක් පෙරලමින් ඉතා පහසු හා වඩාත් නිවැරදි තොරතුරු සොයා දෙන Google සමාගම ආරම්භ කළ අතර ebay වැනි වෙනත් වානිජ වෙබ් අඩවිද බහුල වන්නට පටන් ගත්තේය. ඒ සමගම ලෝක ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රයන් තුල විප්ලවීය වෙනස්කම් රැසක් ඇති වන්නට විය.



            2004 දී අන්තර් ක්‍රියාකාරී වානිජමය මුහුණුවරක් ගත් පාරිශීලකයන් කේන්ද්‍ර කරගත් (user – centric) වෙබ් 2.0 සංකල්පය සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමේ ප්‍රථිපලයක් ලෙස සමාජ ජාලකරණය බිහි වන්නට පටන් ගත්තේය. ඒ හේතුකොටගෙන පාරිශීලකයන් පහසුවෙන් තම තොරතුරු ඇතුලත් වෙබ් පිටු නිර්මාණය කිරීමට අවකාශ ලබා දෙන සමාජ වෙබ් අඩවිවල වැඩිවීමක් දකින්නට ලැබුණු අතර එය අන්තර්ජාලය අතිශයින් වානිජකරණයට යොමු කිරීමට දැඩිව බලපෑවේය.



 විශේෂයෙන්ම අන්තර්ජාල අලෙවිකරුවන්ට තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීම සදහා විශාල පාරිභෝගිකයන් පිරිසක් මේ තුලින් බිහිවිය. අද වන විට සමාජ ජාල භාවිතය අතිශය ජනප්‍රිය වී ඇත. ඒ අනුව බොහෝ දෙනෙකු Facebook,Twitter,Linkedin වැනි සමාජ ජාල නොයෙකුත් අවශ්‍යතා සදහා විශාල වශයෙන් භාවිතා කරති.

            1995 දී අන්තර්ජාලය පරිහරණය කළ පිරිස මිලියන 16 ක් වූ අතර එය ලෝක ජනගහනයෙන් 0.4% ප්‍රමාණයක් විය. 1998 මුල් කාලය වන විට එය මිලියන 100 දක්වා වර්ධනය වූ අතර එතැන් පටන් අන්තර්ජාලය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වූයේය. 2005 දෙසැම්බර් වන විට බිලියන 1 ක් පමණ පිරිසක් අන්තර්ජාලය පරිහරණය කළ අතර 2010 ජුනි වන විට එය බිලියන 2 ක් එනම් ලෝක ජනගහනයෙන් 30% ක් අන්තර්ජාල පාරිශීලකයන් බවට පත්වී තිබුණි.



අන්තර්ජාල තොරතුරු ගවේෂණය

            වර්තමාන ලෝකයේ අන්තර්ජාලය ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ තොරතුරු හා දැනුම ලබා ගත හැකි මූලාශ්‍රයක් ලෙසය. ඕනෑම විෂයකට ආදාල තොරතුරු ඔබට ඉතා ක්ෂණිකව අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. එහෙත් අන්තර්ජාලයෙන් තොරතුරු ගවේෂණයට ප්‍රථම, අන්තර්ජාලයේ තිබෙන තොරතුරු පිළිබදව පැහැදිලි අවබෝධයක් ඔබට තිබිය යුතුය.

            බොහෝ දෙනෙකු සිතන්නේ අන්තර්ජාලයේ ඇත්තේ 100% නිවැරදි තොරතුරු බවයි. මෙය සම්පූරණයෙන්ම වැරදි මතයකි. අන්තර්ජාලයේ තිබෙන තොරතුරු සම්බන්ධයෙන් කිසිදු විධිමත් පාලනයක් නොමැත. ඕනෑම අයෙකුට එයට තොරතුරු එකතු කළ හැකිය. එසේ එකතු කරන තොරතුරු වැරදි හෝ නිවැරදි වීමට පුලුවන, මේ නිසා සැමවිටම විශ්වාසදායී මූලාශ්‍රයන් ඔස්සේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඔබ නිරන්තර උත්සහා කළ යුතුය. යම් දෙයකට අදාල තොරතුරක් එක් මූලාශ්‍රයක් පරිහරණයෙන් පමණක් ලබා නොගන්න. වෙබ් අඩවි ගණනාවක් පරිහරණය කිරීමෙන් අනතුරුව ගැලපෙන නිවැරදිම තොරතුරු ලබා ගැනීමට වග බලා ගන්න.


විවිධ වර්ගයේ වෙබ් අඩවි

ඔබ අන්තර්ජාලයේ තොරතුරු සොයන විට, අන්තර්ජාලයේ තිබෙන විවිධ වර්ගයේ වෙබ් අඩවි හා ඒවායේ අඩංගු වන තොරතුරු පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්ය.

·         වානිජ වෙබ් අඩවි (commercial websites)



තමාගේ භාණ්ඩයන් හා සේවාවන්ට අදාල තොරතුරු ලබා දීමටත් ඒවා ප්‍රවර්ධනය කිරීමටත් බොහෝ සමාගම් අන්තර්ජාලය තුල වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. මේවා වැටෙනුයේ වානිජ වෙබ් අඩවි යන ගණයටය. මේවායේ බොහෝ විට අන්තර්ගත වනුයේ තම සමාගමට හෝ ආයතනයට වාසිදායක හා පක්ෂග්‍රාහී තොරතුරුය.

·         ආයතනික වෙබ් අඩවි (organization websites)


විවිධ සමාගම්, සමිති හා සමාජ සේවා ආයතන වැනි ලාභ නොලබන ආයතනයන් තම කටයුතු හා ඉදිරි වැඩකටයුතු පිළිබද ජනතාව දැනුවත් කිරීම උදෙසා වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. මේ ආයතනයන්ද ක්‍රියා කරනුයේ පක්ෂග්‍රාහීවය. එබැවින් මේවායේ අඩංගු වන්නේද එම ආයතනයට වාසිදායක තොරතුරුය.

·         ප්‍රවෘත්ති වෙබ් අඩවි (news sites)




වර්තමානය වන විට රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත් වලට අමතරව බොහෝ දෙනා ප්‍රවෘත්ති හා අනෙකුත් කාලීන තොරතුරු ලබා ගැනීම සදහා අන්තර්ජාලය භාවිතා කරති. මේ හේතුවෙන් විවිධ ජනමාධ්‍ය ආයතන හා විවිධ පාර්ශව විසින් පවත්වාගෙන යනු ලබන පුවත් වෙබ් අඩවි රාශියක් අන්තර්ජාලය තුල දැකිය හැකිවේ. මේවායෙහි තොරතුරු නිරන්තරයෙන්ම යාවත්කාලීන වේ. එසේම මේවායෙහි වසර ගණනාවකට කලින් ලියූ ලිපිද ඔබට කියවිය හැකිය. එබැවින් මේ අඩවිවලින් තොරතුරු ලබා ගැනීමට පෙර එම තොරතුරු පළ කල ඇති දිනයන් පිළිබද අවධානය යොමු කිරීම අනිවාර්‍ය කටයුත්තකි.


·         බ්ලොග් අඩවි (Blog or Web blogs)




බ්ලොග් යනු නිරන්තරයෙන්ම යාවත්කාලීන වන්නා වූ මූලාශ්‍රයකි. ඇතැම් බ්ලොග් දිනකට 3-4 වතාවක් යාවත්කාලීන වේ. එබැවින් යම් දෙයක් හෝ කරුණක් පිළිබදව ඉතාමත් අලුත් තොරතුරු බ්ලොග් අඩවි මගින් ලබා ගත හැකිය. කෙසේවෙතත් ඔබ තොරතුරු ලබා ගැනීමට පලමුව බ්ලොග් අඩවිය පවත්වාගෙන යන සමාගම හෝ එම පුද්ගලයාගේ කීර්ති නාමය පිළිබදව සොයා බැලීම අනිවාර්‍ය කටයුත්තකි.


·         විකි අඩවි (wiki sites)



පාරිශීලකයන්ට අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු ඇතුලත් කිරීමට මෙන්ම තිබෙන තොරතුරු වෙනස් කිරීමටත් අවසර ඇති වෙබ් අඩවිවලට විකි අඩවි කියා කියනු ලැබේ. බොහෝ දෙනෙකු තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන wikipedia වෙබ් අඩවිය මේ සදහා හොදම උදාහරණයකි. මෙහි තිබෙන තොරතුරු වල ගුණාත්මක බව හා විශ්වාසශීලී බවද බොහෝ විට වෙනස් වේ. බොහෝ විකී අඩවිවල එහි අඩංගු තොරතුරු වලට අදාල මූලාශ්‍ර සදහා Links අඩංගු කරනු ලැබේ. එබැවින් මේ අඩවිවලින් තොරතුරු ලබා ගැනීමේදී ඔබ ඊට අදාල මූලාශ්‍රයන් විමර්ශනය කොට විශ්වාසය තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත් කටයුත්තකි.

·         පාසල් වෙබ් අඩවි (School Sites)



බොහෝ පාසල් වලින්ද වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබයි. තමාගේ පාසල පිළිබද විස්තර වලට අමතරව පාසලේ ගුරුවරු විසින් ඇතුලත් කරන හෝ ඔවුන්ගේ ඉගැන්වීමේ කටයුතුවලට ආධාර වන අතිරේක තොරතුරුද මේ අඩවිවල අන්තර්ගත වේ. සමහර අවස්ථාවලදී පාසල් ළමුන් විසින්ද ගුණාත්මක බවින් අඩු තොරතුරු මේ වෙබ් අඩවිවලට ඇතුලත් කරන අවස්ථා ඇත. එබැවින් මේවායෙන් තොරතුරු ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුය.


·         ශාස්ත්‍රීය අඩවි (Scholary Sites)



විවිධ විෂයන් සම්බන්ධයෙන් ලිපි හා නිබන්ධන සැකසීම සදහා හෝ තොරතුරු ලබා දෙන වෙබ් අඩවි මේ යටතට වැටේ. අපගේ බ්ලොග් අඩවියද මේ යටතට දැක්විය හැකිය. Google Scholar  යනු මේ යටතේ ඇති හොදම උදාහරණයයි. (www.scholar.google.com)


·         දත්ත සමුදායන් (Databases)
මේවායේදී විවිධ මූලාශ්‍රයන්ට අදාල තොරතුරු එක් රැස් කර ඇති අතර පාරිශීලකයින්ට මේවා යොදාගෙන තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
උදා:     Internet Movie Database – www.imdb.com
            International Crime Database – www.internationalcrimedatabase.org



·         සාකච්ඡා මණඩප (Forums)



විවිධ ප්‍රශ්න හා ඒවාට අදාල තොරතුරු සාකච්ඡා කළ හැකි වෙබ් අඩවි මේ යටතට අයත්‍ය. ඕනෑම කෙනෙකුට තමන් කැමති කරුණක් පිළිබදව සාකච්ඡාව ආරම්භ කළ හැකි අතර එසේ ආරම්භ කරන සාකච්ඡාවට Thread එකක් යැයි කියනු ලැබේ. එම Thread එකක් සදහා ඕනෑම අයෙකුට ස්වාධීනව තම මතය ප්‍රකාශ කළ හැකිය. මෙලෙස ප්‍රකාශ කරන අදහස් වාරණය කිරීමේ හෝ වෙනස් කිරීමේ බලය වෙබ් අඩවි හිමිකරුට ඇත.
උදා: Elakiri Forum


·         ප්‍රශ්න හා පිළිතුරු අඩවි (Question & Answer Sites)



මෙම වෙබ් අඩවිද ඉහත සදහන් කළ Forum වලට බොහෝ සමානය. නමුත් මේවායේදී Forum වල මෙන් විවෘතව සාකච්ඡා නොවන අතර අසන ලද පැනයට කෙලින්ම පිළිතුරු ලබා දීම සිදුවේ.
උදා:     Yahoo Answer
            Answerbag


ඔබට දැන් අන්තර්ජාලයේ උපත, එහි ව්‍යාප්තිය හා එහි අඩංගු වෙබ් අඩවි පිළිබදව යම් දැනුමක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාස කරමි. වසර හතලිස් හතක් (1969 – 2016) පැරණි මේ තාක්ෂණය ඉදිරියට තවදුරටත් වෙනස් වෙමින් හා නව අංග එකතු වෙමින් තවත් පුළුල් වනු ඇත. ඉදිරියේදී ඔබට මෙම තාක්ෂණය ජීවිතයට නැතුවම බැරි අංගයක් බවට පත්වනු නොඅනුමානය. මෙම අරුම පුදුම තාක්ෂණය තවමත් පාලනය කරනු ලබනුයේ ඇමරිකානු බලවතුන් කියා කීවොත් ඉතා නිවැරදිය. අදටත් එහි සියලු මරමස්ථාන පාලනය කරනුයේ ඇමරිකානු වානිජ දෙපාර්තමේන්තුවට හා ජාතික විදුලි සංදේශ හා තොරතුරු පාලන අධිකාරියට කෙලින්ම වග කියනු ලබන අයිකෑන් ආයතනයයි. (ICANN – Internet Corporation for Assigned Names and Numbers)



(මෙම ලිපිය සැකසීමේදී විජය පරිඝනක සගරාව හා වෙනත් අන්තර්ජාල අලෙවිකරනය පිළිබද ග්‍රන්ථ උපයෝගී කරගෙන ඇති බව අවධාරණය කරමු)

අපගේ ජනප්‍රියම ලිපි