ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා: ෆර්නැන්ඩි මැගලන්



ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා ලෙස ඉතිහාසයට එක්වූයේ දේශ ගවේෂකයෙක් වූ ෆර්නැන්ඩි මැගලන්ය. ඔහු පෘතුගීසි ජාතික වංශවතෙක් විය. ක්‍රි.1480දී ඔහු උපන්නේය.
කොළොම්බස්ගේ මුහුදු චාරිකාවලින් පසුවද, බටහිරට යාත්‍රා කොට ඉන්දියාවට පිවිසීමට පුලුවන්ය යන මතයෙහිම සිටි ස්පාඤ්ඤ රජතුමා ෆර්නැන්ඩි ඇතුළු පිරිසක් එම කාර්‍ය සදහා යෙදවීය. මැගලන් මුලදී රජතුමා වෙත සේවයේ යෙදී සිට වරෙක නාවිකයෙකු හැටියට ඉන්දියාවට හා තවත් පෙරදිග රටවලට පැමිණීමෙන් ලබන ලද පලපුරුදුකම් ඇතිව සිටියේය.
ක්‍රි.1519 සැප්තැම්බර් 20 වන දින නාවිකයන් 2701 දෙනෙක් සමග නැව් 51කින් මැගලන් සිය ලෝක චාරිකාව ආරම්භ කළේය. ඔහු අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකාව දෙසට යාත්‍රා කළේය. මේ අවදිය වන විට දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි තුඩුවක් දක්වා යාත්‍රා කිරීමට කිසිම නැවියෙකු දැන නොසිටි අතර එයින් ඔබ්බට යාත්‍රා කළ හැකි බවත් කිසිවෙක් නොදත්හ. ගමනේ පරතෙරක් නොදුටු නාවිකයෝ තවත් ඔබ්බට යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කොට කැරළි ගැසූහ.
එක් නැවක් මැඩ පැවැත්වූ මැගලන් ධෛර්යය සම්පන්නව තව තවත් ඉදිරියට යාත්‍රා කොට, දකුණු ඇමරිකාවේ දකුණේම පිහිටි පෙදෙසේ උස් කුලුණු මුහුදුවලින් ගහණ (මෙකල මැගලන් සමුද්‍ර සංධිය) කපොල්ලෙන් ඔබ්බට යාත්‍රා කොට මහත් සාගරයට පිවිසියේය. එය පැසිපික් සාගරයයි.

ඉන්පසු තව තවත් වයඹ දෙසට යාත්‍රා කළ මැගලන් පිලිපීන් දූපත් වෙත ලඟාවිය. එහිදී ඔහු ස්වදේශිකයන් සමග කළ සටනින් මිය ගියේය. ඔහුගේ මරණින් පසුව ඩෙල්කානෝ නම් නාවිකයා කණ්ඩායමේ නායකත්වය ගෙන ඉදිරියට යාත්‍රා කළේය. මේ වනවිට ඔවුන්ට ඉතිරිව තිබුණේ නැව් 2ක් වූවද, එයින් එකක් බරපතල ලෙස අබලන් වූයෙන් මොලුක්කාස් දිවයින් අසලදී මුහුදුබත් කිරීමට සිදුවිය. ඉතිරි නැවෙන් ගමනේ යෙදුනු පිරිස් ඉන්දියන් සාගරය තරණය කොට සුභපැතීමේ තුඩුව වටා ගොස් අත්ලන්තික් සාගරයට පිවිස අප්‍රිකාවේ බටහිර වෙරළ ඔස්සේ ස්පාඤ්ඤයට ආපසු පැමිණියහ.
(මේ ලිපිය සැකසුනේ කේ.ආර්.ආරියසිංහ මහතාගේ “ලොවේ ශ්‍රේෂ්ඨයෝ” කෘතිය පාදක කරගෙනය)


වල් පැළ පාලනය සදහා රසායනික වල්නාශක භාවිතය

(Image Source - www.colombotoday.com )

වල්නාශක භාවිතය යනු ඕනෑම කෘෂිකාර්මික භූමියක වල් පැළෑටි මර්දනය කිරීම සදහා භාවිතා කළ හැකි සරලම හා පහසුම ක්‍රමවේදයයි. මේ නිසාම බොහෝ ගොවීන් කිසිම දැනුමක් හෝ පාලනයකින් තොරව මෙම වල්නාශක භාවිතා කිරීමට හුරුවී සිටිති. මීට හේතුව ලෙස දැක්විය හැකි වන්නේ ගැලපෙන වල්නාශක තේරීම හා යෙදීම පිළිබඳව ගොවීන්ගේ ඇති නොදැනුවත් කමයි.
එබැවින් අද දිනයේ කෘෂිකර්මය පාඩම යටතේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම වගා බිමට යොදන වල්නාශක නිවැරදිව තේරීම සිදුකරන ආකාරය පිළිබඳවයි.

වල්නාශක තේරීම කරන්නේ කෙසේද?

ක්‍රියාත්මක වන ආකාරය හා මර්දනය වන වල්පැළෑටි සළකා බලා වල්නාශක වර්ග කිරීම සිදුකළ හැක.

1) ස්පර්ශ වල්නාශක

මෙහිදී වල්නාශකය තැවරුණු ශාක කොටස් පමණක් විනාශ කරලීම සිදුවේ. මේවා නැවත කොටස් 2කට වර්ග කළ හැකිය.
                -සියල්ල නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය සියලුම පැළ විනාශ කරලීම සිදුකරයි.
උදා: පැරකොට්

                -තෝරා නසන වල්නාශක
මෙහිදී ස්පර්ශ වන වල්නාශකය තෝරාගත් පැළ පමණක් විනාශ කරලීම සිදුකරයි.
උදා: 3,4 DPA

2) සංස්ථානික වල්නාශක

මෙහිදී සිදුවන්නේ අදාල වල්නාශකය වල් පැළයේ තැවරුණු ස්ථානයෙන් ශාකයට ඇතුළු වී සෑමතැනටම ගමන් කර මුලු පැළයම විනාශ කරලීමයි. මෙයද නැවත සියල්ල නසන හා තෝරා නසන ලෙස වර්ග කළ හැකිය.
                -සියල්ල නසන - ග්ලයිෆොසෙට්
                - තෝරා නසන - MCPA

මෙම වර්ගීකරණයට අමතරව වල්නාශක යොදන අවස්ථාව අනුවද වර්ග කරලීම සිදුකළ හැකිය.

1) බෝගය සිටුවීමට පෙර යොදන වර්ග
                උදා: පැරකොට්

2) පූර්ව නිගමන වල්නාශක
බීජ හෝ පැළ සිටුවීමෙන් අනතුරුව වල්පැළෑටි මතුවීමට ප්‍රථමව පසේ තෙත සහිත අවස්ථාවල යෙදීම සිදුකරනු ලැබේ.
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

3) පශ්චාත් නිර්ගමන වල්නාශක
වගාවේ වල්පැළ මතුවීමෙන් අනතුරුව යෙදීම සිදුකරලයි.
උදා: 2,4 D , M.C.P.A , ග්ලයිෆොසෙට්

ඉහත ක්‍රම 2ට අමතරව වල්නාශක පසට යොදන වර්ග හා පත්‍රවලට යොදන වර්ග ලෙසද බෙදා දැක්විය හැකිය.

·         පසට යොදන වල්නාශක

බොහෝවිට මෙහිදී යොදනු ලබන්නේ පූර්ව නිගමන වල්නාශකයි
උදා: ඇලක්ලෝ, බියුටක්ලෝ

·         පත්‍රවලට යොදන වල්නාශක

උදා: 2,4 D, M.C.P.A

වගා භූමියකදී යෙදිය යුතු රසායනික වල්පැළෑටි නාශකය නිවැරදිව තෝරා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වන අතර ඉහත වර්ගීකරණ පිළිබඳ අවබෝධය ඒ සදහා වැදගත් වේ. එසේම වල්නාශක භාවිතයේ පහත කරුණු පිළිබඳවත් දැනසිටීම වැදගත් වේ.
* භූගත කදන් සහිත වල්පැළ පාලනය කරලීම සදහා සංස්ථානික වල්පැළෑටි නාශකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.
* භූගත කදන් රහිත වල්පැළ පාලනය සදහා ස්පර්ශ වල්නාශක යෙදීම ප්‍රමාණවත් වේ.
* බෝගය ස්ථාපනය කිරීමෙන් අනතුරුව වල්නාශක භාවිතා කරන්නේ නම් තෝරා නසන වල්නාශක වර්ගයක් තෝරා ගැනීම උචිතය
* බෝගයක් ස්ථාපනය නැති අවස්ථාවලදී හා බහුවාර්ෂික බෝගවල පැළ අතර ඇති වල්පැළ පාලනය කරලීම සදහා සියල්ල නසන වල්නාශකයක් යෙදීම උචිතය

මෙම රසායනික වල්නාශක භාවිතය පහසු වුවත් ඒවායේ ඇති අහිතකර ප්‍රථිපලද රැසකි. මේවා මිනිසාට, සතුන්ට හා පරිසරයට ගෙන දෙන්නේද විනාශකාරි ප්‍රථිපලයකි. එබැවින් මෙම වල්නාශක භාවිතා කරලීම හැකිතරම් අවම කර ඒකාබද්ධ වල්පැළ පාලනය වැනි ක්‍රමවේදවලට මූලික තැනක් දීමට ගොවීන්, සිසුන් හා වගාකටයුතු කරන සියලු දෙනා වග බලා ගැනීම කාලෝචිත වේ.

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න




රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - 6 වන ප්‍රශ්න පත්‍රය


රජයේ විභාග හා අනෙකුත් විභාග වලදී සාමාන්‍ය දැනීම යනු ඔබට මුහුණ දෙන්නට වන තවත් එක් අභියෝගතා ප්‍රශ්න පත්‍රයකි. එකී විභාග වලට සහභාගී වන ඔබ සැම වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට Sinhala Subjects Blog අප තීරණය කළේ මීට මාස කිහිපයකට ඉහතදීය.
ඒ අනුව ලිපි 5ක් යටතේ ගැටලු 125ක් හා ඒවායේ පිළිතුරු දැනටමත් අප ඔබ හමුවේ තබා අවසන්ය. අද දිනයේ අප ඔබ වෙත ගෙන එන්නේ එහි හයවන අදියරයි.
අපගේ පැරණි ලිපි අධ්‍යනය කිරීමට ඔබට නොහැකි වූයේ නම් පහතින් පිවිස එම ලිපි සියල්ල අධ්‍යනය කරන්න 


මෙම ප්‍රශ්න හා පිලිතුරු හොදින් අධ්‍යනය කර ඔබගේ දැනුම වැඩි කරගන්න. එසේම මෙම ලිපිය ඔබගේ අනෙකුත් මිතුරන්ටත් උපකාරී වන ලෙස Facebook, Twitter, Google Plus වල share කරන්න.

ගැටලු

1) "මස්කට්" යනු කිනම් රටක අගනුවරක්ද?

2) කුරුණෑගල අගනුවර කරගත් ප්‍රථම පාලකයා කවරෙක්ද?

3) ශ්‍රී ලංකාවේ පොල් පරියේෂණායතනය පිහිටා ඇත්තේ කොහේද?

4) ආර්ථික වගාවක් ලෙස ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින්ද?

5) ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වූයේ කවදාද?

6) ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට කුමක්ද?

7) ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සංගණනය පවත්වා ඇත්තේ කිනම් වසරකද?

8) මැරතන් ධාවන තරගයක සම්මත දුර ප්‍රමාණය කොපමණද?

9) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය කුමක්ද?

10) ශබ්දයේ තීව්‍රතාවය මනිනු ලබන ඒකකය කුමක්ද?

11) ලෝක ආහාර දිනය කවදාද?

12) සෝමාලියාවේ අගනුවර කුමක්ද?

13) ඉන්දියානු ජාතික ගීය කාගේ නිර්මාණයක්ද?

14) ප්‍රථම වරට පාර්ලිමේන්තු ක්‍රමය මෙරටට හිමිවුණේ කුමන කොමිසමෙන්ද?

15) නොබෙල් ත්‍යාගය ආරම්භ කළ පුද්ගලයා කවුරුන්ද?

16) එංගලන්තය හා ප්‍රංශය අතර ඇති සමුද්‍ර සන්ධිය කුමක්ද?

17) ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඇරඹුණේ කවදාද?

18) "තේසවලාමේ නීතිය" ක්‍රියාත්මක වන්නේ කිනම් ජන කොට්ඨාශයක් අතරේද?

19) බඹරකන්ද දියඇල්ල අයත් ගංගාව කුමක්ද?

20) ඔලිම්පික් වර්ණ මොනවාද?

21) කාර්මික විප්ලවය ආරම්භ වූයේ කුමන රටකින්ද?

22) මුල්ම සිංහල සංදේශ කාව්‍යය කුමක්ද?

23) ලෝක සෞඛ්‍යය දිනය කවදාද?

24) බ්‍රිතාන්‍යයේ ජාතික ක්‍රීඩාව කුමක්ද?

25) රේඩියම් සොයාගත් විද්‍යාඥයා කවුරුන්ද?



පිළිතුරු

1) ඕමානය
2) දෙවන බුවනෙකබාහු
3) ලුණුවිල
4) ජේම්ස් ටේලර්
5) 1875/04/13
6) චීනය
7) 1871
8) සැතපුම් 26 යාර 358
9) පෝක් සමුද්‍ර සන්ධිය
10) ඩෙසිබල්
11) ඔක්තෝබර් 16
12) මොගඩිෂු
13) රවින්ද්‍රනාත් තාගෝර්
14) සොල්බරි ආණ්ඩුක්‍රමය
15) ස්වීඩන් ජාතික ඇල්ෆ්රඩ් නොබෙල්
16) ඩෝමර්
17) 1979
18) උතුරේ දෙමළ ජනතාව අතර
19) වලවේ ගඟ
20) නිල්, කහ, කළු, කොළ, රතු
21) එංගලන්තය
22) මයුර සංදේශය
23) අප්‍රේල් 07
24) ක්‍රිකට්
25) මාරි කියුරි

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න

ජීවිතය හා මරණය පිළිබඳ ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කළ ප්‍රසිද්ධ දේශනය

ස්ටීව් ජොබ්ස් යනු ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ නිර්මාතෘවරයාය. අද "ඇපල්" යන වචනය ඇසෙන විට අපට මතක් වන්නේ කෑමට ගන්නා ඇපල් නොව Apple iPhone,iPod ආදියයි.
ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගම පටන් ගන්නේ සිය නිවසේ ගරාජය තුළිනි. පසුව ඩොලර් බිලියන ගණනක් වටිනා සමාගමක් දක්වා එය දියුණු කරන්නේ ඔහු තුළ වූ අප්‍රත්‍යත්ත ධෛර්‍යය හා අසීමිත කැපවීම තුළිනි.
මේ ගමන තුළ ඔහු මුහුණ දෙන කම්කටොලු එමටය. විටෙක ඔහු නිර්මාණය කළ සමාගමෙන්ම ඔහු නෙරපා දමයි. නමුත් ජොබ්ස් ගේ ගමන නැවතීමට ඒ කිසිවෙකට නොහැකි වෙයි. සැමවිටම නව දැක්මක් ඇතිව වෙනස් වෙනස් දේවල් කිරීමට ජොබ්ස් සෑමවිටම උනන්දු විය. මේ නිසාම ඇපල් සමාගමේ සමහර නිෂ්පාදන වලට සම කිරීමට අදටත් අලුත් සමාගම් වල නිෂ්පාදන වලට නොහැකි වී ඇත.
ආදරය,ජීවිතය හා මරණය පිළිබද ජොබ්ස්ගේ අදහස ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූයේ 2005දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහු කළ කතාව නිසාවෙනි. එම දේශනය තුළදී ඔහුගේ ළමා කාලය ගෙවුණු ආකාරය, ඇපල් සමාගම නිර්මාණය වූ ආකාරය සේම ඔහු ඇපල් සමාගමෙන් නෙරපා දැමූ ආකාරය ගැන ඔහු සදහන් කර ඇත. එසේම ආදරයේදී ඔහු පරාජය වූ හා ජයගත් අයුරු සේම මරණයේ අන්තයටම ඔහු ගමන් කළ ආකාරය ඔහු දක්වා ඇත.
මෙම දේශනයෙන් ජීවිතයට ගත හැකි දේ අසීමිත යැයි කීවොත් වරදක් නැතැයි සිතමු. මන්ද ඒ තරම් වටිනා අදහස් එහි ගැබ්ව ඇති නිසාය. පහතින් එම දේශනය නරඹන්න.....

 
මෙම ලිපිය හා මෙම වීඩියෝව ඔබගේ මිතුරන්ටත් නැරඹීමට හැකිවන ලෙස පහතින් Facebook,Twitter,Linkedin,Google Plus තුළට share කිරීමට අමතක නොකරන්න.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය ගැන සොයා බලමු


පිහිටීම හා ස්ථාපිත කිරීම

නුවරඑළිය - පට්ටිපොළ මාර්ගය ඔස්සේ කිලෝමීටර 32ක් පමණ පැමිණීමෙන්ද, හපුතලේ ඔහිය මාර්ගය ඔස්සේ කිලෝමීටර 38ක් පැමිණීමෙන්ද හෝර්ටන්තැන්නට පිවිසිය හැකිය.
ක්‍රි.1969 දෙසැම්බර් 05 දින දී ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්න 1988 මාර්තු 16 දින ජාතික උද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි විශාලත්වය හෙක්ටයාර 3,160 වේ. (වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්ෂිත බිම් ලැයිස්තුගත වාර්තාව)

භෞතික හා දේශගුණික ලක්ෂණ

හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර 2,300ක් උසින් පිහිටයි. වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 15ක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2,540 පමණ වේ.
උසම තැනිතලා ප්‍රදේශය වන හෝර්ටන් තැන්නේ කිරිගල්පොත්ත(මීටර 2,398), තොටුපළ කන්ද(මීටර 2,351) වේ පිහිටා ඇත. වළාකුළු වනාන්තර, ලෝකාන්තය, දිය ඇළි වන බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල මෙහි ඇති දර්ශනීය ස්ථාන වේ.
අධික සුළං හේතුවෙන් මෙම ශාක නිදහසේ නොවැඩෙයි. එබැවින් කුරුවී ඇත. හෝර්ටන් තැන්නේ වනාන්තරය ඇතුළත වාතය වැඩි සිසිල් බවකින් හා වැඩි ආර්ද්‍රතාවයකින් යුක්තය. මෙහි ඇති ශාකවලින් සෙවණ සලසා දෙන අතරම එබැවින් තණ බිමේ සිට වනාන්තරයට ඇතුළු වූ සැණින් සිසිලක් දැනෙන අතරම ජල වාෂ්ප රඳවා ගනිමින් හිරු රශ්මියෙන් පොළොව ආරක්ෂා කිරීමටත් උපකාර වෙයි.
මෙම භූමියෙන් මහවැලි, වලවේ, කැළණි යන ගංගාවල ශාඛාවන් වන බගවන්තලාව ඔය, බෙලිහුල් ඔය, ආගර ඔය ආරම්භ වේ.

ශාක විවිධත්වය

එකිනෙකට වෙනස් ශාක විශේෂ හා ස්ථරවලින් සෑදුණු සංකීර්ණ පරිසර පද්ධතියකි. කඳු හා නිම්නවලින් සෑදුණු මෙම පරිසර පද්ධතිය අර්ධ ඝර්ම කලාපීය පරිසර පද්ධතියකි. මෙහි තෙත් සදාහරිත වනාන්තරද පවතියි.
 හෝර්ටන් තැන්නේ වනාන්තර ඇතුළත අඳුරු ස්වභාවයක් උසුලන අතර ශාක ආලෝකය ලබා ගැනීම සදහා තරඟ වදියි. ඒ සදහා පොළොව මත නොවැඩී ශාක මත වැඩෙන අපි ශාක හෝ උඩවැඩියා විශේෂ හදුනාගත හැකිය. මෙම ශාකවලට වෙනත් ශාක මත වැඩීම නිසා ජලය ලබා ගැනීමේ දුෂ්කරතා පවතියි.
හෝර්ටන්තැන්න පුරා අපි ශාක බහුලව පැවතීමට හේතුව වළාකුළු මගින් ඒවාට අවශ්‍ය අධික ජල සැපයුමක් ලබාදෙන බැවිනි. කාෂ්ඨාරෝහක ශාක හෙවත් මුල් පොළොව මත පිහිටි නමුත් වෙනත් ශාකයක ආධාරයෙන් ඉහළට එතී වැඩෙයි.
නිරන්තරයෙන් පරිසරයේ දැකීමට නොහැකි ශාක විශේෂ කිහිපයක්ම හෝර්ටන්තැන්නේ දැකිය හැකිය. එවැනි වඩාත් කැපීපෙනෙන ශාක විශේෂයක් වන රොඩෝඩෙන්ඩ්‍රන් ශාකය(Rhododendron arboretum) මහරත්මල් යනුවෙන් හදුන්වයි. අප්‍රේල් සිට ජුලි මාසය දක්වා මෙම රතු පැහැයෙන් දැකිය හැකිය.
මෙයට අමතරව කීන, වල්කදුරු, බිනරමල්, වල්කපුරු, මහ මීවන, බෝවිටියා, නෙළුද, වගුරු බිම්වල කුරු උණ(Arundinariadensi folia) දැකිය හැකිය.

ආක්‍රමණික ශාක විශේෂ

හෝර්ටන්තැන්න පුරා ආක්‍රමණික ශාක විශේෂ දෙකක් පැතිර තිබෙනු දැකිය හැකිය.
1) කහ පැහැති මල් හටගන්නා පඳුරු විශේෂයක් වන Eulax ශාකය
2) වරැල්ල යනුවෙන් හදුන්වන දීප්තිමත් කොළ පැහැයෙන් යුතු පර්ණාංග ශාකයකි.

මෙකී ආක්‍රමණික ශාක දෙවර්ගයම ශාක දෙවර්ගයම දේශීය ශාක විශේෂයන්ට තර්ජනයක් වෙමින් භූමිය පුරා පැතිරෙයි. මෙම ආක්‍රමණිකයන් පාලනය කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
යුලෙක්ස් ශාකයේ ඉතා තියුණු කටු පවතින බැවින් මල් වල පැණි බීමට ඇදෙන මී මැස්සන්ගේ විලෝපිකයන් වන කළු කොපුල් කටුස්සන් සහ උකුස්සන්ගෙන් ආරක්ෂාව ලැබීම නිසාද යුලෙක්ස් ශාකයේ පරාගණය වේගවත්ව සිදුවේ. එබැවින් මෙම ආක්‍රමණික ශාකයන් පැතිරීම වේගවත්ව සිදුවෙයි.
හෝර්ටන්තැන්නේ සෑම වසර 07 සිට 12 දක්වා කාලයකදී අපූර්ව සුන්දරත්වයක් ඇති කිරීමට හේතුවන, රෝස-දම්, නිල් පැහැයෙන් අලංකාර ලෙස නෙලූ මල් විකසිත වෙයි. ඉතා කෙටි ජීවිත කාලයක් සහිතව පිපෙන මෙම නෙලු, මල් දරා බීජ හටගැනීමට වසර 08ක් 11ක් පමණ ගතවෙයි.

සත්ත්ව විවිධත්වය

පක්ෂීන් මගින් පරාගණය වේ. ආවේණික පක්ෂීන් විශේෂ 14ක් හමුවේ. එබැවින් හෝර්ටන්තැන්නේ මල් ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වන ශ්‍රී ලංකා සිතැතියා(Zosterops ceylonensis), ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා(Pycnonotus pennicillatus), ශ්‍රී ලංකා නිලන මැසිමාරා(Eumyias sordids) ශ්‍රී ලංකා වන රැවියා(Bradypterus palliseri) වැනි පක්ෂි විශේෂ දැකගැනීමට හා උන්ගේ හඩ ඇසීමට සුදුසුම ප්‍රදේශය හෝර්ටන් තැන්නයි. ගෝන රංචුද, දිවියා, වදුරා, වැලි මුවා, දඬුලේනා, බළල් දිවියා, හාවා වැනි ක්ෂීරපායින් හමුවෙයි.
දේශීය කුරුලු විශේෂ 50ක් ද, සංචාරක කුරුල්ලන් 11ක්ද ඇත. එමෙන්ම සමනළ වර්ග හා ආවේණික උරග විශේෂයක් වන අං කටුස්සා ද හමුවේ.(ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන,ටී.බී.අරංගල්ල,2004)
ශ්‍රී ලංකාවට ආවේණික වදුරු විශේෂයක් වන වලස් වඳුරා(Trachypithecus vetulus monticola) මෙම වනාන්තරවලදී දක්නට ලැබෙයි.
(Image Source: www.dreamislandtravels.com)

ක්‍රියාකාරී වළාකුළු වනාන්තර

මෙම වනාන්තර ලොවේ ඉපැරණිම වනාන්තරවලින් පැවත එයි. වසර මිලියන ගණනාවකට ඉහතදී ඇන්ටාර්ක්ටික් මහද්වීපය සමගින් ශ්‍රී ලංකා මහද්වීපය බැඳී පැවතුණු අතර මහාද්වීප තල පාවීමේ ප්‍රථිපලයක් ලෙස මෙම භූමිය සමකයෙන් උතුරට ගමන් කර ආසියාව හා නොගැටී පැවතියේය. එබැවින් ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය කඳු මුදුන්වල අදටත් නොනැසී පැවතීම තුළින් අතීතය හා පවතින දිගු සම්බන්ධතාවය පැහැදිලි කරයි. හෝර්ටන් තැන්නේ වළාකුළු වනාන්තර ලොවේ ඉපැරණිම වනාන්තරවලින් පැවත එයි.(වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හෝර්ටන්තැන්න කාර්‍යාලය)
හෝර්ටන් තැන්න ක්‍රියාකාරී වළාකුළු දැකගැනීමට ඇති සුදුසුම ස්ථානයයි. කඳුමුදුන්වල පහළ මට්ටමේ සිට ඉහළ නගින ජලවාෂ්ප රැගත් උණුසුම් වාතය කඳුමුදුන්වල ගැටී ඝනීභවනය වී වළාකුළු බවට පත්වන අතර වළාකුළු සවස් කාලයේදී කඳු ආවරණය කර ගැනීමෙන් වැස්ස ඇතිවේ.
ලෝකාන්තයේදී මෙසේ ඝනීභවනය වී ජලවාෂ්ප, ජලබිංදු වශයෙන් ශාක දිගේ වෑස්සීම සිදුවෙයි. මෙම ජල බිංදු වෙනත් ශාක මත වැඩෙන ශාක වර්ධනයට උදව් දෙන අතර මෙවැනි ශාක පිහිටීම හේතුවෙන් මෙම ශාක විසින් ජලය රදවා ගන්නා බැවින් මෙම ජලය පසට ලබා දීමෙන් ජනාවාස පෝෂණය කිරීමට වැදගත් වන ගංගා නිර්මාණය කරයි.

හෝර්ටන්තැන්නේ සුන්දර ස්ථාන


ලෝකාන්තය


මීටර 870ක් පමණ පහළ බෑවුමකි. එහි පහත බැලූවිට තේවතු යායක්ද උඩවලව ජාතික උද්‍යානය පෝෂණය කරනු ලබන්නා වූ වලවේ ගඟට දිවෙන කිරිකැටි ඔය දැකගත හැකිය. එමෙන්ම පරිසරය පැහැදිලි දිනයන්හිදී ඈතින් මුහුදද පෙනෙයි.

බේකර්ස් ඇල්ල

මනස්කාන්ත සිසිල් දිය බිඳිතිවලින් ඉවුරු අද්දර පෝෂණය වන අතර මෙම තෙතමනයට ලොල්වූ පාසි ඇල්ගී වැනි ශාක ප්‍රජාවන් මගින්ද මෙම භූමිය සශ්‍රීක වේ.
මීවන ශාකද ආවේණික කුරු කටුස්සන්ද මෙහිදී දැකගත හැකිය. මෙම දිය ඇල්ල මගින් බෙලිහුල් ඔය පෝෂණය කරයි.

(මෙම ලිපිය උපුටා ගත්තේ ජෛව විවිධත්ව ලේකම් කාර්‍යාලය,මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය-ජෛව විවිධත්වය හා බැදුණු රක්ෂිත බිම් කෘතිය අසුරෙන් බව සලකන්න)

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න


මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියවීමට පහතින් Facebook,Twitter,Google Plus වලට බෙදාගන්න )

අපගේ ජනප්‍රියම ලිපි